2013-05-18

සිංහල විවාහ චාරිත්‍ර විකාශය (ශාස්ත්‍රීය අධ්‍යයනයක් නොවේ)

මීට වසර හතළිහකට පමණ පෙර, කුඩා දරුවකු ලෙස මගේ මාමාගේ විවාහ මංගල්‍යය දුටුවෙමි. 

ඒ කාලයේ හැටියට හොඳ මට්ටමේ මඟුල් ගෙයක් වූ එහි හරක් මස් කන්නට දුන්නේ ය. ඒ කාලයේ සාමාන්‍ය මඟුල් ගෙදරක දුන්නේ මාළු ය. මට මතක පරිදි මම මුල් වරට කුකුළු මස් කෑවේ හැත්තෑව දශකයේ අගභාගයේදී ය. ඒ දවස්වල බොහෝ ගෙවල්වල කුකුළන් සිටිමුත්, ඒ ගෙදරම අය උන්ව මරාගෙන කෑමක් ගැන මට මතකයක් නැත. උගුඩුවන් වැනි සතුන්ගෙන් කුකුළන් බේරා ගැනීම සඳහා උන්ගේ කූඩුව හදා තිබුණේ ගස් දෙකක් අතර බඳින ලද කම්බිවල එල්ලී තිබෙන පරිදි ය. දවල් දවස පුරා ම ගෙවතුවල ඇහිඳ කන කුකුළෝ හැන්දෑ වූ විට ස්වේච්ඡාවෙන් ම කූඩුවට පියෑඹූ හ. ඒ වන විට සිංහල බෞද්ධයෝ දඩ මස් ඇතුළු විවිධ මස් වර්ග කෑ හ. බ්‍රොයිලර් කුකුළු මස් ජාතික මාංශ ආහාරය වී නො තිබුණි.

මේ මඟුල් ගෙදර සීල් අරක්කු ද බොන්නට දුන්නේ ය. ඒ පිටුපස කාමරයක හොර රහසේ වගේ ය. අප්පුහාමිලා, රාළහාමිලා හොරුන්‍ මෙන් එහි රිංගා විග විගහට අසෝක වීදුරුවෙන් දෙක තුනක් ළඟ නමාගෙන 'ක්‍රාස්, ථු:' ගා කෙළ ගසා බත් මේසයට ගිය හ. 

බත් මේසය විවිධ කෑම වර්ග පළංගාන, දීසි ආදියෙන් සමන්විත විය. බුෆේ ක්‍රමයට නොව, බෙදාගෙන කෑමට තිබුණු කෑම මේසය වටේ ගමේ ඉලංදාරි සිටගෙන අඩු පාඩු පිරිමසා දුන් හ. බත් බෙදූ හ. මේ ඉලංදාරි අතරින් ඇතැමෙක් අර කාමරය පැත්තේ ගොස් පැමිණ සිටි බැවින් වැඩිපුර බත් බෙදීම, බලෙන් බත් කැවීම වැනි කරදර තිබිණි. මට තිබුණු ලොකුම ප්‍රශ්නය අත හෝදන කෝප්පයයි. කීප දෙනෙකු අත සේදීමෙන් පසු ඒ කෝප්පයට අත එබීම මට ඔක්කාරය ගෙන දෙන වැඩක් විය. ඒ නිසා මෙවැනි මඟුල් ගෙවලදී මම කෙ‍සේ හෝ කලින් කා නිමවා අත හෝදන බඳුනේ වතුර ඉඳුල් වීමට පෙර අත දොවා ගන්නට වග බලා ගතිමි. 

මාමාගේ මඟුල් ගෙදර ඉවීම පිණිස මුස්ලිම් කෝකීන් පිරිසක් කැඳවා තිබිණි. ඔවුහු ගමේ මිනිස්සු පුස් හැලට් යයි හැඳින්වූ පලතුරු සලාදයක් සැකසූහ. පලතුරු කැබලි කුඩාවට කපා සකසන ලද ඒ චොහොරයට ටිංකිරි ද මුසු කර තිබිණි. 'තම්බි මිනිස්සු' අතින් චොහොර කරන ලද ඒ 'ජරාව' අපේ අම්මා නම් කටේ තිබ්බේ නැත. 

මඟුල් ගෙදරට සූදානම් වුණේ මාස ගණනාවක සිටයි. මඟුල් ගෙදරට සතියකට පමණ පෙර සිට පුවක් ගස් කපා ගෙනැවිත් මඟුල් මඩුවක් සාදන ලදී. ඒ කාලයේ මඟුල් ගෙදර 'දෙන' එකක් නම් ගමේ කලාකාරයෙක් ලෑලි, ගොක් කොළ ආදිය පාවිච්චි කර පෝරුවක් ද සාදයි. අපේ මාමාගේ මඟුල දෙන එකක් නොව ගේන එකකි. 

මඟුල් ගෙදරට පුටු, පිඟන්, කෝප්ප ආදිය ගෙන ආවේ අහළ පහළ ගෙවල්වලිනි. නිතර මඟුල් ගෙවල්වලට මෙසේ දෙන්න සිදු වන නිසා අපේ ගෙදර පිඟන් ‍කෝප්පවල යට පැත්තේ ඉංග්‍රීසි ජේ අකුරක් සූරා කොටා තිබිණි. මේ විවිධ වැඩවලට ගමේ තරුණයෝ හා ළමයි විශාල පිරිසක් උදව් වූහ. මඟුලට දවස් කීපයක් කලින් සිට උදව්වට පැමිණෙන ගැහැනු අය කෙළින්ම යන්නේ කුස්සිය පැත්තට ය. වැඩ කරනවාට වඩා එතැන ඇත්තේ ඕපාදූප, කෙළි කවටකම් ආදියයි. පොඩි ළමයි එහි ගොස් කටවල් දිහා බලා සිට හොඳ හොඳ දේ උගනිති.

මඟුල් ගෙදර හැන්දෑවේ අර උදව් කළ තරුණයෝ මාමා විසින් දෙන ලද අරක්කු බෝතල් කීපය හිස් කරමින් ඩොල්කියක් වයමින් සාජ්ජයක් දැමූ හ. 

අර මාමාගේ බාල පුතා මේ ළඟදී කසාද බැන්දේ ය. මම මඟුල් ගෙවල් දෙකට ම ගියෙමි. ඒ වා තිබුණේ හෝටල්වල ය. වායු සමනය කරන ලද පාසල් පංති කාමර තුනක් පමණ ලොකු වූ ශාලාවල සුදු රෙදි දැමූ මේස, සුදු කවර දැමූ පුටු, ප්ලාස්ටික් මලින් සකසන ලද පෝරු, ආසන ආදිය තිබිණි. හැඳි ගෑරුප්පු තබා දිවා ආහාරයට සකසන ලද ඒ මේසවල අපි උදේ සිට වාඩි වී සිටියෙමු. දොර ඇරගෙන එළියට යන්නට පුළුවන් මුත්, ඇඳගෙන සිටින ටයි, කෝට්, සාරි, ඔසරි ආදිය හේතුවෙන් අධික දාහයක් දැනුණු බැවින් වැඩි දෙනෙක් අර තදබදය මැද්දේ ශාලාව තුළ ම රැඳී සිටින්නට කැමති වූ හ. 

පෝරුවේ චාරිත්‍ර අවසන් වූ පසු හා මනාල යුවල කේක් කපා කති. රිජිෆෝම්වලින් හැදූ තට්ටු කීපයක් අයිසිං කර කේක් ගෙඩියක් සේ පෙනෙන අන්දමින් හදා ඇති එහි කොණක පොඩි කේක් කෑල්ලක් තිබේ. කේක් එක හැදූ අය එතැන පෙන්වා දෙති. නැතිනම් මනමාලයා මනමාලියට කවන්නේ රිජි‍ෆෝම් ය. ඉන්පසු වෙනදාත් හමු වන ඒ පවුලේ නැන්දා පැමිණ අප පිළිගත්තේ සිප වැළඳගෙනයි. වෙනදා එහෙම ක්‍රමයක් අප අතර නැති මම නම් දෑත් එක් කර ආයුබෝවන් කීවෙමි. ජීවිතේ කවදාවත් පොඩි එකෙක් වත් සිප වැළඳ නො ගන්නා අය මඟුල් ගෙදරදී නුහුරු ලෙස එකිනෙකා සිප වැළඳ ගනිති. 

මනාලයාත්, මනාලියත් සියල්ල කරන්නේ කැමරාවට ය. ඔවුහු ජීවිතේ පළමු හා අවසන් ටෙලි නාට්‍යයේ රඟ පා පසුව ටික කාලයක් යනතුරු මේ ටෙලිය ඥාති මිත්‍රාදීන්ට පෙන්නා සතුටු වෙති. එය බලන්නේ ද එහි චරිත රඟපෑ ළඟම නෑයින් පමණි. ටික කාලයකට පසු ‍මේ බාල වීඩියෝවලට මොනවා වෙනවාදැයි සොයා බැලිය යුතු ය. 

එතැන් සිට ඩී.ජේ. හෝ සංගීත කණ්ඩායම වැඩ පටන් ගනියි. අමුත්තෝ දන්නා අඳුනන කීපදෙනා බැගින් මේස වටා වාඩි වී අර සංගීත රාවය යටපත් වන අන්දමින් ළඟ සිටින අයෙකුගේ කණට කට තබා ගිරිය පුප්පා කතා කරති. 

ඔය අතර ශාලාවෙන් පිටත බීම සූදානම් කරනු ලැබේ. බොන්නෝ වෙන වැඩකුත් නැති නිසා කරටි කැඩෙන්න ගහති. එතනත් බයිට් එක ජාතික මාංශාහාරය වන චිකන් ම ය. ඇතැම් විට බීලා වැඩි වූ එකෙක් පුටු පෙරළාගෙන වැටේ. වලි ද ඇවිළෙන වෙලාවල් තිබේ. නැතිනම් ඉතින් සිංදු හා නැටුම් ෆන් එක ය.

උදේ පටන් වෙල්කම් ඩ්‍රින්ක් එක හැර වතුරවත් නැතිව බඩ පණුවන් මරමින් සිටි ගැහැනු අය හා නො බොන්නෝ මනාල යුවල බත් බෙදා ගත් සැණින් බුෆේ මේසය ළඟ පෝලිම් ගැසෙති. අමුත්තෝ පිඟන් අරන් පෝලිම්වල යන්නේ හරියට හිරකාරයන් පිරිසක් ‍සේ ය. පිඟානළඟ ඉඳගෙන මඟුල් ගෙදර ගෑනු ළමයෙක් පිඟන් මතින් කේක් පෙට්ටියක් තබයි. ගමේ හෝටලේකින් රුපියල් 20කට පමණ මිළ දී ගත හැකි සාමාන්‍ය කේක් කෑල්ලක් දැමූ මේ පෙට්ටි කවුරුහරි සොරකම් කර ගනියි කියා බයෙන් ය එසේ බෙදා දෙන්නේ.
.
මඟුල් ගෙවල්වලට එන අපේ සිංහලයෝ වැඩිදෙනෙක් දන්නා ඉංග්‍රීසියක් හෝ මේස චාරිත්‍රයක් හෝ නැත. බත් කන්නට පෙර හෝ පසු හෝ අත සෝදා ගන්නට පහසුකම් නැති නිසා ඔවුහු බාත්රූම් සොය සොයා ඒවායේ රිංගති. සමහරු හැමදාම අත් සෝදන නිසා අද නැතුවට මොකද කියා කිළිටි අතින් බත් කති. නැතිනම් නුහුරු ලෙස හැඳි ගෑරුප්පු ලෙලවති. බොහෝ හෝටල්වල කෑම ජාති රැසක් තිබෙනමුත් ඒවා මෙලෝ රහක් නැත. ඒ නිසා පෙරේතකමට බෙදාගත්තත් වැඩිහරියක් ආපසු කුණු බඳුන්වලට ම යයි. 

කෑමෙන් පසු බීපු තරුණයෝ නැටුම පටන් ගනිති. තරුණියෝ පිරිසක්ද එයට හවුල් වෙති. ශබ්ද විකාශන දැන් ෆුල් ම වොලියුම් ය. ශබ්දයේ අධිකකම නිසා දෙදෙනෙකුට කතා කරන්නත් බැරි බැවින් සෙස්සෝ නිදි කිරමින් නැටුම් බලති. මේ නැටුම් වනාහි කිසිදු නැටුම් කලාවකට අයත් නො වන පිරිසිදු සිංහල ජවුසන් වේ. මේ නටන අතර, මනාලයා හා මනාලිය ද මෙතැනට බලෙන් මෙන් ගෙනවුත් වට කරගෙන නටවති. ඔවුන් එන්නේ වදෙන් පොරෙන් වගේ ය. යන්නේ ඉක්මණින් ඇඟ බේරාගෙන යන්නා වගේ ය. ඒත්, හැම මඟුල් ගෙයකම පාහේ මෙය සිදු වේ. මනාලයා ත්‍රිවිධ හමුදාවෙන් එකක නම් යාළුවෝ මනාලයාත්, මනාලියත් උඩ දමා අල්ලති.

මනාලයාගේ යාළුවන්ට දැන් ඉස්සර මෙන් කරන්නට උදව් නැති නිසා, හෝම් කමිංවලදී කරන්නේ අතරමගදී මනාලයාත්, මනාලියත් කාරයෙන් බස්සාගෙන ඔය කරත්තයක, අත් ට්‍රැක්ටරයක හෝ විල්බැරෝවක හෝ රැගෙන ඒමයි. සමහර මනාලයෝම යාළුවන්ට කියා මෙය සංවිධානය කර ගනිති. ඉස්සර නම් මේ ගොන්පාට් පත්තරවල ද පළ කරන ලදී. 

ඔය විදියට කාලය ගත වී අයිස් කෝපි ද බීමෙන් අනතුරුව පිටත් වන වේලාව එළඹේ. එතකල් කෙරෙන්නේ ෆොටෝ ඇල්ලිල්ල හා ලියුම් කවර අත මිට මෙළවිල්ලයි. ඉස්සර නම් මඟුල් ගෙවල්වල මංගල සභා පැවැත්වේ. ඒවායේ කතා පැවැත්වීමට විශාරදභාවයක් ඇති අය කතා පවත්වා මනාල යුවලට අවවාද අනුශාසනා පවත්වති. දැන් එහෙම කතා බතා නැත. පිටත් වන්නේ ද කැමරාවට ය. බොහෝ විට මනාලිය කලින් ඇඳගෙන සිටි ඇඳුම ගලවා ගොයිං අ‍වේ නමින් හැඳින්වෙන වෙන ඇඳුමක් ඇඳගෙන එයි. පි‍ටත් වීම සිදු වන්නේ ද කැමරාකරුවන් කියන හැටියට ය. මනාලයාගේ යාළුවෝ වටේ ඉඳගෙන දෙපැත්ත කැපෙන කතා කියති.

මඟුල් ගෙදරට ටයි කෝට් මසා ගැනීමෙන් මනාලයාට ලාභයක් සිදු වේ. ඒ වනාහි ඉන්පසු එළඹෙන සිය යාළු මිත්‍රයන්ගේ මඟුල්වලට අර කෝට් බෑය අඳින්නට පුළුවන. ඇඳලා, ඇඳලා හම්පඩ වනතුරු පරම්පරාවක් ම මේ කෝට් බෑය මඟුල් ගෙවල්වල යයි. ගැහැනු අය මඟුල් ගෙවල්වලදී කරන ප්‍රධාන කාර්යයක් වන්නේ අනෙක් ගැහැනුන්ගේ ඇඳුම් නැරඹීමයි. එසේ බලා මතක තබා ගන්නේ වෙනත් මඟුල් ගෙවල්වලට ද ඒවා අඳිනවා ද කියා ය. මඟුල් ගෙවල්වලට යාම සඳහා අඳින ගැහැනු නියපොතුවල හා තොල්වල සායම් ගැම ද කරති. නියපොතු ගෙවෙන, කැඩෙන, ඇඟිලිවල කහට බැ‍ඳෙන වැඩපළ කරන ගැහැනු ඒ නිය මත රතු පාට ආලේපන ගා ගත් විට 'සුන්දරත්වය' කියලා වැඩක් නැත.

මේ විස්තරය කියවන විට සිංහලයකු ලෙස ඔබට ලජ්ජා සිතේ ද? ඔබ වටහා ගත යුතු දෙයක් වන්නේ සිංහලකම යනු දෙමළ හා මුස්ලිම් ජාතීන්ට එරෙහි වීම පමණක් නො වන බවයි. ජාතියක් ලෙස අප අපගේ සංස්කෘතික අනන්‍යතාව ගැන මීට වඩා සැලකිලිමත් විය යුතු නො වේ ද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

33 comments:

  1. මේ නැටුම් වනාහි කිසිදු නැටුම් කලාවකට අයත් නො වන පිරිසිදු සිංහල ජවුසන් වේ.

    අම්මපා ඇත්ත, ඊයෙත් දැක්කා....

    ReplyDelete
  2. මේ ලිපියට හුඟ දෙනෙකු කැමති වෙනු ඇත.

    ඟෙය කියවා ලජ්ජා විය යුතු නැත. මේවා අපේ වත්මන් සංස්කෘතියේ කොටස්ය.

    අපේ ආච්චිලා ගේ කාලයේ මගුල් ගෙවල්වල විස්තර සහිත අපුරු නවකතා පොතක් "සිංහල මංගල සූත්තර" නමින් බොරැලස්ගොමුවේ ජී.ඇච්. පෙරේරා විසින් ලියා තිබේ. මේ පොතේ නව මුදුණ ඇත. කියවා බැලිය යුතු පොතකි.

    අපි පොඩි කාලේ මගුල් ගෙදරක විස්තරක් මං කාලෙකට කලින් ලිව්වා. මෙන්න ඒකට පාර.

    http://kathandara.blogspot.com/2011/09/classes-of-fish.html

    අද කාලෙට වඩා ඒ දිනවල එක් වෙනසක් නම් මගුල් උත්සව දෙකක් නොව තුනක්ම තිබීමයි.

    ReplyDelete
  3. ඒ කාළේ කුකුල් මස් නොතිබුනේ, අධි සුඛෝපභෝගී කෑමක් නිසා මිස, ඒවා නොකෑ නිසා නොවේ. මගුල් ගෙවල් වල ගොස් කතා කලේද කුකුල් මස් වල රහ පිළිබඳවය. අයිස්ක්‍රීම් වල තත්වයද එසේමය. (ශත 5 පොප්සිකල් නොවේ.) ඩී ජේ හෝ ටකරන් ගෲප් එකක් ගෙනත් නටන්නේ, අප වැඩි යුගයට යලිත් ගමන් කරනා බව පෙන්වන්නය. ඒයින් තව හොඳ දෙයක්ද සිඳුවේ. ඒ ඕපා දූප කතා කිරීමට නොලැබීමයි. බොන එකනම්, අද කෑම මේසයට ආපු එක ලොකු දෙයක්ය. පිරිමි වගේම ගෑණුත් බොති. මේ මගුල් කෙරුවාව නිසා ජීවත් වන්නෝ බොහෝය.
    හෝටල් හා උත්සව සම්බාශණ ශාලා.
    වේටර්වරු හා කෝකියෝ,
    ජොනී මුදලාලි වැනි රේන්ද කාරයෝ
    මේකප් දාන පොන්නයෝ
    අන්දන්නෝ (ඇඳුම්)
    සාරි වෙළෙන්දෝ
    රිජිෆෝම් කේක් කාරයෝ
    ඉවේන්ට් මැනේජර්ලා
    මේකප් ආටිස්ලා
    කොන්ඩා සැකසුම් කරුවෝ
    බැංකු
    උගස් කඩ කාරයෝ
    කුලී රත සපයන්නෝ
    කේක් පෙට්ටි කාරයෝ
    ඉන්විටෙසන් කාඩ් කාරයෝ
    පුටු මේස සපයන්නෝ
    නිලමේ ඇදුම් සපයන්නෝ
    කැමටාකාරයෝ
    ඇල්බම්කාරයෝ
    ටී වී කාරයෝ
    සති අන්ත පත්තරවල කැමරා කාරයෝ
    ගායකයෝ
    මියුසික් ගෲප්
    ඩී ජේ
    ඩාන්සින් ගෲප්
    උඩරට නැට්ටුවෝ
    බෙරකාරයෝ
    පාවඩ දමන්නෝ
    අලි සපයන්නෝ
    මල් වෙඩි කාරයෝ
    ඇන්ලොප් විකුනන්නෝ
    කෝට් හයර් කරන්නෝ
    සාරි හයර් කරන්නෝ
    ජය මංගල ගෲප් සපයන්නෝ
    අස්ටක කාරයෝ
    රෙජිස්ටාර්වරු

    එහෙම බැලුවාම හතර අතේ ණය වී, මේ කරන්නේ හතර වරිගයම නිවන් දකිනා මහා පුණ්‍ය කර්මයක්ය.
    එදා සිටි අයගෙන් කෙල උනේ. කපුවාට පමණය. එය අද ෆේස්බුක් කපුවා බාරගෙන ඇත.හැබයි ඇමරිකාවෙන් ගෙනාවත් "රෙදි නැන්දාගේ" රැකියාව බේරී තිබීම අප සැමගේ ප්‍රීතියටම කාරනාවක් වන්නේමය.

    මෙන්න මහාචාර්ය මාතලන් දුටු "මොඩර්න් වෙඩින්"

    http://maathalan.blogspot.com/2012/04/verginity-test.html

    ReplyDelete
    Replies
    1. මල් සපයන්නෝ අමතක විය.. ගංජා නෙමෙයි වදේ.. ඩැකරේෂන් වලට දාන මල්...

      Delete
    2. http://maathalan.blogspot.com/2012/04/verginity-test.html

      ලින්ක් එකක් දාන කොට ඒක කෙලින්ම ක්ලික් කරන්න පුළුවන් වෙන විදියට දාන්න.

      Delete
    3. Thanks Katho...
      අපි දන්න පොරෝග්‍රෑමීන්.. තේරෙන්නම නෑ කතෝ. කීප සැරයක් නෑවා..

      Delete
    4. පන්සල්/අසපු සේවා සපයන තැන නොමිලේද කොරන්නෙ.

      Delete
    5. කැලණිය පැත්තෙ තියනව ජපන් ටයිප් එකට හදපු පන්සලක්.. ඒකෙ වෙඩින් ෂුට් එකක් කරන්න රුපියල් 2000/= යි.. පෝරුව ඇතුලුව සියලුම කාරණා අවශ්‍යනම් රුපියල් 8000/= යි. කෝමද හම්බ කිරිල්ල. හැබැයි රජෝ මේ සේරම පන්සලේ නඩත්තුවට. අපි ගිය දවසෙ වෙඩින් කාර් 42 යි.. එක පැත්තක 21 ගානෙ දෙපැත්තෙම..

      Delete
  4. දෙයියන්ගෙ පිහිටෙන් පල්ලිවල තියෙන මගුල් වල පොඩි හරයක් වත් තියනවා. එත් කතෝලික අයට විතරයි..... චාටර්ම මගුල් තමයි බොන්නවත් නොදී හෝටල්වල තියෙන ඒවා. group එකේ ගොරනාඩුවත් එක්ක කතා කරන්නත් බෑ... බොන්නවත් නෑ.. චා max

    ReplyDelete
  5. Aththata hari lajjai.para kiyana de hariyatama hari.

    ReplyDelete
  6. මේකේ ආතල්ම කෑල්ල තමයි බජටින් .අද පොඩියට මේ වගේ වෙඩිමක් ගන්නත් ලක්ෂ පහක් විතර යනවා.ඉතින් ණය වෙලා මගුලක් කන එකෙක් ගෙයක් දොරක් පිළිවලක් කරන් පවුල් කන්න තියෙන සල්ලි එක දවසකට ස්ටුඩියෝකාරය ,කේටරින්කට්ටිය,හෝල් එක අයිතිකාරයා,අෂ්ටක කියන අන්කල්,ඩී ජේ මල්ලි ආදීන්ට පුදල ඊට පස්සේ වෙඩින් ඇල්බම් එක දිහා බලන් හුල්ලනවා.ගිනි මද්දහනේ ටයි කෝට් පෙරෝගෙන ඩෙනිමට ටයි එකක් දාල හරියට අදින් පස්සේ අරක්කු නෑ වගේ බීල වැලි දෙක තුනකුත් දාගෙන මේ කරන කොමඩිය අපේ වර්තමාන ශ්‍රී ලංකික ( සිංහල )අනන්‍යතාවය තමයි!

    ReplyDelete
  7. දාස් ගණන් දී ගෙනා සෝපාව සාලේ ඉටි කවර දමා වසා තබා එතැනම බිම වාඩිවී ටී වී බලන අපේ සිංහල චින්තනයේම එක දිගුවකි මොඩර්න් සිංහල වෙඩිම.

    ReplyDelete
  8. අපේ වැඩි දෙනෙක්ටනම් මගුල් ගෙදරක් කියන්නෙ බොන්නම යන තැනක් වගේ.ඔවුන් සිතන්නේ බීමෙන් තොර මගුල් ගෙයක් නැති ලෙසය. ගොඩක් වෙලාවට නොබොන අයට වතුරවත් ලැබෙන්නෙ නෑ. අනිත් එක ගැහැනු ඇදුම් වල පාට. කිසිම මටසිලුටු භාවයක් නැති ඉතාම තද පාටවල ඇඳුම්. නොගැලපෙන ලෙස කරන ලද තොල් රතු කිරීම්, සියලුම රං ආබරණ සමග ගත් විට ඔවුන් දෙස බැලිය නොහැකි තරම්ය.
    ජීවිතේටම දුරකථන ඇමතුමක්වත් නොදෙන නෑදෑයින් අසීමිත ලෙන්ගතු කමක් පෙන්වයි. හැම රෙද්දකටම කැමරා කාරයො පනින නිසා මුලු මගුල් ගෙදරම හරිම අස්වාභාවික බවක් තිබේ.

    ReplyDelete
  9. \\\හැම රෙද්දකටම කැමරා කාරයො පනින නිසා මුලු මගුල් ගෙදරම හරිම අස්වාභාවික බවක් තිබේ.//
    :d
    +++++++

    @ අජිත්

    මේ පෝස්ට් එක රාමු කරලා ගහන්න වටිනවා හැම ගෙදරකම බිත්තියේ. ඔය දන්න කියන කීප දෙනාට කෑම වේලක් දීලා , අත්සන් කරන වැඩෙයි , පෝරුවේ චාරිත්‍රයි කරා නම් ඇතිනේ. මගේ නම් කැමැත්ත ඒකයි බොරුවට ලක්ෂ 5,6 වියදම් නොකර ..

    ReplyDelete
  10. බුද්ධියෙන් අදහස් පළ කරන්න. Comment Wisely.

    මෙය බුද්ධිමත් කමෙන්ටුවක් නෙවේ...

    අපි හැමෝම අකමැති වුනත් හැමෝම කරන්න ඔය දේ...ඒක වෙනස් කරන්න අමාරුයි...හරිහට හැමෝම ආන්ඩුවට බැන බැන ආයිත් මේ දේසපාලකයෝ ටිකම පක්ෂ වෙනස් කරලා පත්කරගන්නවා වගේ...

    අපේ තියෙන ජාතික පුරුද්දක් තමයි දෙබිඩි භාවය...අපිම බනිනවා..අපිම කරනවා..

    ReplyDelete
    Replies
    1. අපි නම් එහෙම නෑ..... ඒකයි බය නැතුව ලියන්නේ...

      Delete
    2. සිරාවටම මාතලන් ඔයා ඔය මගුල් නැකත් එහෙම හදලා දෙන්නෙ නැද්ද ආ?

      Delete
  11. හිතන්නට බොහෝ දේ තියෙන පෝස්ටුවක්!

    ReplyDelete
  12. මේ පර්වර්තනය තනිකරම ව්‍යාපාරිකයා විසින් කරන ලද්දක් නේද?

    මේ වාක්‍යය වැරදියි:
    //සිංහලකම යනු දෙමළ හා මුස්ලිම් ජාතීන්ට එරෙහි වීම පමණක් නො වන බවයි//
    මේ වාක්‍යයේ අදහස අනුව, සිංහල කම යනු ඉහත කී එරෙහි වීමට අමතරව තවත් දේ තිබෙන යමක් විය යුතුය. එනිසා, කරුණාකර එය නිවැරදි කරන්න. (ඔබේ අදහස නිරවුල් බව විශ්වාස කරමි.)

    ReplyDelete
  13. මේ ලිපියෙ මාතෘකාව සහ ඔබේ අඩවියෙ පලවීමත් ලොකු කතාවක් ඇති නොවෙන්න හේතු උනාදෝ කියල හිතෙනව.

    ඒ කොහොම උනත් කාලීන සංවාදයක් ඇතිවිය යුතු මාතෘකාවක්.

    අර සිරස ටීවී එකේ යනව සුභාසිරි කියල වැඩ සටහනක්. ඒකෙ පෙන්නන ඒක මඟුලකට අඩු ගානෙ මිලියන පහක් වත් ඕනෙ මට හිතෙන්නෙ. සල්ලි තීන උන් එහෙම කරද්දි නැති උන් බෙන්ස් වෙනුවට මරුටි ලෙවල් එකෙන් හරි ඒ සෙල්ලන්ම දාන්න ට්‍රයි කරනව මාත් ඔය ආගිය මගුල් කීපෙකම දැක්ක. වෙඩිමක පිතූර කියන්නෙ ජීඒත කාලයක් බලල සතුටු වෙන්න ඕන දෙයක් උන්ත ස්ටෝරි බුක් එකට ඕන විදියට වෙඩිම ගන්න එක අමු ගොන් කමක්. පිතූර ගන්න කෙනා වෙඩින් එඩිටර් නොවී රිපෝටර් කම විතරක් කලාම ඇති කියන එක තමයි මගේ වෙඩිමෙ පිතූර ගත්තු පොඩි එකාට මුලිම්ම කිව්වෙ. හේතුව අසඹු සහ පස්සෙ මත්ක් කරල රස විඳින්න පුළුවන් දේ කැමරාවට අහු වෙන්නෙ අන්න එතකොටයි. නැත්තං ඒක හරි කෘතිමයි.

    බුෆේ එකෙන් පිට වෙන්න වියදම එක්ක අපහසු උනාට එන අයට ආ ගම්න් කැවිලි සංග්‍රහයක් වත් දෙන්න මේසයක් අරින්න බැරි ඇයි කියල හිතාගන්න බෑ. ඔය ගොයින් අ වේ ගවුමට තරන්වත් ඒ වගේ දේකට වියදං වෙන්නෙ නෑ.

    අනික සංගීතෙ. මහා ඝෝසාවක් දානවට වඩා සුන්දර පසුබිම් සංගීතයක් එක්ක කාලෙකින් හම්බු උන නෑ මිතුරන්ට ඕප දූප ටිකක්වත් කතා බහ කරන්න පුළුවන් වේදිකාවක් හදල දෙනවනම් අඩු ගානෙ යන එන එකේ මොනා හරි අර්ථයක් තියෙයි. ඒ නැතුව නිකන් කාගෙ හරි නැටුමක් දිහා පොඩි උන් ගිරිය පුප්පන් අඬද්දි බලන් ඉඳල එන කම්මැලි වෙඩින් සංස්කෘතියෙන් මිදෙන්න කීයෙන් කී දෙනෙක් හිතයිද?

    ReplyDelete
  14. "සිංහලකම යනු දෙමළ හා මුස්ලිම් ජාතීන්ට එරෙහි වීම පමණක් නො වන බවයි"

    මුළු ලිපියේම වටිනාකම මෙම වාක්‍යයෙන් නැති කරගෙන ඇති බව මා ඇතුළු කිහිප දෙනෙකුටම නොතේරේ නම් එය ලැජ්ජාවට කරුණකි.සිංහලකම හෝ වෙනත් ඕනෑම "කමක්" යනු ඊට වෙනස් වූ තවත් "කමකට" එරෙහි වීම නොව තමාගේ
    "කම" ආරක්ෂා කරගැනීමය..

    ReplyDelete
  15. වටිනා ලිපියක් අවසානයේ අජිත් පැරකුම් සුපුරුදු පරිදි තම ජාතිය හෑල්ලුවට ලක් කිරීමේ වකියක්ද එකතු කර ඇත. කවදා හෝ ඔබේ දරුවන් ඔබට පියා කීමට ලජ්ජා වුවොත් පුදුම නොවන්න.

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොගය ෆන් එකට ලියන එකක් නොවෙයි. මෙය දේශපාලන ව්‍යායාමයක්. අවසන් වැකිය ගැන ඇයි ඔය තරම් කිපෙන්නේ? සිංහලකම තුළ සංස්කෘතියක් තිබෙනවා. ඒ සංස්කෘතියට මෙහෙම වෙලා නම්, අපි දෙමළුන්ට වැඩේ දුන්නා කියලා සතුටු වෙන්න පුළුවන් ද? ‍මම යුද්දෙ තියෙද්දිත් එයට විරුද්ධයි. එය ඉවර වුණත්, එහි ප්‍රතිඵලයටත් විරුද්ධයි. ධනවාදය හා අනුකාරකවාදය විසින් ජාතික සංස්කෘතිය මේ අන්දමින් විනාශ කරද්දි අපි කළ යුත්තතේ ඒකෙන් ෆන් ගන්න එක නොවෙයි. මේ බ්ලොගය උත්සාහ කරන්නේ එහි දේශපාලනය මතු කර ගන්නයි. ආතල් ගන්න වෙන බ්ලොග් තිබෙනවා.

      Delete
    2. අජිත් ඔබේ ව්‍යායාමය බොහෝ ප්‍රතිපල ඇති දෙයක්. හොද ලිපියක්. සිංහල සංස්කෘතිය කියල දෙයක් දැන් නැහැ. තියෙන්නේ ලුම්පන් සංස්කෘතියක්.

      Delete
  16. පැරකුම් මහතා ලිවූ මෙතෙක් මා කියවූ හොඳම ලිපිය මෙයයි. අප සිංහල කම ගැන නැවැත හැරී බැලිය යුතුබ් බව මට පසක් වුනි

    ReplyDelete
  17. මගේ යාලුවෙකුත් ලඟදි බැන්ද.මවුන්ට් ලැවිනිය හෝටලේ තමයි මගුල තියන්න තීරණය කරලා මටත් ආරාදනා කරා.හනිමුන් යන්නේ මැලේසියාවට ලිමොසින් එකක් හයර් එකට ගත්ත අමාරුවෙන් ලීසිං ගෙවන කාරෙක ගෙදර තියෙද්දීම.හෝටලේ කෑම බිල විතරක් ලක්ෂ 11 ක් විතර වෙයි කියල කිව්වම මම හිතුව යකෝ මූට මෙච්චර දේවල කරන්න සල්ලි කොහෙන්ද කියල.මගුලට සින්දු කියන්න ආවේ කොල්ලො කෙල්ලො අතර ජනප්‍රිය අලුත් ගායකයො දෙන්නෙක් උන්ගෙ ගෘප් එකත් එක්ක.මගුල පටන්ගන්න සතියකට විතර කලින් මට කෝල් කරල කියනව අනේ මචන් මට කරන උදව්වක් විදියට පොලියට සල්ලිදෙන උබලගෙ මාමගෙන් ලක්ෂ 7ක් අරගෙන දීපන් 6%ක පොලියට වත්

    ReplyDelete
  18. මාත් කාලයක් වෙඩිං නිසා ම ගෙවල් දොරවල්, යාන වාහන හරි හම්බ කරගත්තු කෙනෙක්නෙ..
    හැබැයි “කැමරාකාරයෙක්“ නං නෙමෙයි...
    මේ ඉතාම ළඟදි මම වෙඩිමක් කළා. එකෙ දෙපැත්තමෙ අය ඇවිල්ලමගේ ඉස්සරහ ඇඬුව වියදං කරන්න සල්ලි නැහැ කියල. මටත් දුකේ බැරුව වෙඩිං ඇල්බම් එක දවස් දෙකටම රු. 55,000කට කරල දෙන්නං ය කියල පොරොන්දු උනා..
    වෙඩිමට ගියාම අර අඬපු **සිගෙ පුතාල, හෝල් එකේ ඉඳං පල්ලියට යන්න ලිමොසින් දෙකක් බුක් කරගෙන එකක් රු. 60,000 ගානෙ...!!!
    කැමරාවෙ තඩි ලෙන්ස් එක මගේ ම **කේ ගහ ගන්න හිතුන අන්න ඒ වෙලාවෙනං...!!!!

    ReplyDelete
  19. මේ වගේ ලිපියක් නම් හරිම වටිනේව.මමත් අසාවෙන් බලන් හිටියේ මෙහෙමෙ ලිපියක් කව්රුහරි ලියනකම්.තව එකෙක්..අෂ්ටක ජයමංගල ගාථ සිංහලෙන් කිව්වට වෙඩිමේ හුගක් දේවල් වෙන්නේ ඉංගිරිසියෙන් ..කතාවල්,සින්දු කාර්ඩ් හැමදෙම ...........

    ReplyDelete
  20. ඉස්සර වෙදිං සෝයි. දැන් වෙදිං තමයි තාතර්!

    ReplyDelete
  21. keti kathawak wage, bohoma sthuthi

    ReplyDelete
  22. දැන් මේකට සිංහල මගුලක් කියලද කියන්නේ ? මේවා සිංහල මගුල් නෙමෙයි මේවා කළු සුද්දන්ගේ මගුල් .. නියම සිංහල මගුලකට ගිහිල්ලම බලනවා .. මස්මාංශ අරක්කු ඔය කියන ජව්සන් තියෙනවද කියල බේගල් අදබන්නේ නැතුව

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.