2013-06-21

සිලෝන් ටකරං බස්

පාන් ගෙඩි බස් එකක්
බස් කියන්නේ ඇත්තෙන් ම මගේ ජීවිතේ ලොකු කො‍ටසක්. දැන් බස්වල යනවා අඩු මෝටර් සයිකලේ නිසායි. ප්‍රයිවෙට් බස්වල යන සිංදු නිසාත් බස් ගමන කම්මැලියි. බස් ගමන එපා ම වුණේ දුෂ්කර සේවා කාලයේ පදවිය හා මතුගම අතර පැය දොළහක් පහළොවක් තිස්සේ ගිය ගමන් නිසායි. නිකම් නොවෙයි, චෙක් පොයින්ට් හය හතක බහිමින්. ඒත්, පුංචි කාලෙ වැඩියෙන් ම ආසා කළ වස්තුවක් වන බස් ගැන මේ සටහන ලියන්න හිතුණේ බස් පිස්සෙකු විසින් කරනු ලබන බස් බ්ලොග් එකක් නිසායි.

මට අවුරුදු හතරක් විතර කාලෙ ෆොටෝ එකක් ගන්න ආච්චි එක්ක බස් එකක මතුගම ටවුමට ගිය හැටි තමයි, මට බස් ගැන තිබෙන මුල් ම මතකය. ඒකත් හීනයක් වගේ. ඒ කාලේ අතරමග හිරිකැටිය පාලම කැඩිලා. මෙහා ගොඩින් සෙනග බස්සලා, පාලම උඩින් හෙමින් ගිහින් එහා ගොඩින් ආපහු සෙනග නංවාගෙන තමයි, බස් එක ගියේ. 

ඊට පස්සෙ එකේ පංතියේ ඉඳන් බස් ‍එකේ ඉස්කෝලෙ ගියා. තුනේ පංතියේ ඉඳලා ගියේ තනියම. යන්න කැමති ම රියදුරු අසුන පිටිපස්සෙ. ඩුයිවර් උන්නැහේ බස් එළවනවා බලන් ඉඳලා ම නිකම් ම බස් එළවිල්ල පුරුදු වුණා. ඒ කාලෙ බස්වල තිබුණු කරකවන රෙදි බෝඩ් අපට මාර මැජික්. ඩ්‍රයිවර් උන්නැහේ බස් බෝඩ් කරකවනකොට අපි බිම ඉඳන් ඒවා කියවනවා. කළු රෙද්ද එති, එතී උඩට යනකොට, කොළඹ, කලුතර ආදී නගර, ගම් නම් වගේ ම 'පුද්ගලික ගමනක්', 'පරීක්ෂණ ගමනක්' වගේ ඒවාත් පහු‍ වෙනවා. කොන්දොස්තර උන්නැහේ බිම ඉඳන් කියන්න ඕනැ දැන් කරකැවිල්ල නවත්වන්න කියලා. අදාළ ගමනාන්ත නාමය පහු කරමින් එහාට මෙහාට කරකවන එක ටිකක් විහිළුයි. බස බෝඩ් එකක් කරකවන්න දෙන්නෙකු අවශ්‍ය නිසා වෙන්න ඇති මේ බෝඩ් අයින් කළේ. ඒ දවස්වල අපි හීනි කඩදාසි පටියකුයි, ඉරටු කෑලි දෙකකුයි, පාවිච්චි කරලා ගිනි ටේටියකින් මේ වගේ කරකවන බස් බොඩ් හදලා අපේ කාඩ්බෝඩ් බස්වල සවි කර ගන්නවා.

හතරෙ, පහේ වගේ පංතියක ඉන්න කාලෙ එක දවසක් නෑබඩ කපිලයි, මායි ඉස්කෝලෙ ඇරිලා එන ගමන් ඩිපෝ එක ඉස්සරහා අගලවත්ත පාරෙ (ඒ කාලෙ මතුගම ඩිපෝ එක තිබුණෙ දැන් පාතාලෙ තිබෙන තැන) පේළියට නවත්වලා තිබුණු බස් ඔක්කොගේ ම පස්ස දොරෙන් නැගලා, ඉස්සරහින් බැහැගෙන ආවා. කපිල ඇහුවා බෝඩ් එක කරකවමු ද කියලා. එයා මුලින් නැගලා කරකැව්වා. මම බිම ඉඳන් කියෙව්වා. ඊට පස්සෙ මම ඩ්‍රයිවර්ගේ සීට් එක උඩ නැගගෙන මාර සතුටකින් බෝඩ් එක කරකවද්දී ඩ්‍රයිවර් උන්නැහේ ඇවිත් මාව අල්ලගෙන ඩිපෝ එකට අරන් ගියා. 

ඒ කාලෙ බස්වල 'ඔබත් තෙල් පෙත්සම අත්සන් කළා ද?', 'ලංකා‍ව මෙට්‍රික් ක්‍රමයට හැරෙයි' වැනි පාඨ තිබුණු පෝස්ටර් අලවලා තිබුණා. සමහරු අර පස්සෙ කියපු පෝස්ටරේ හැයන්න ඉරුවා. හැබැයි, අපි නම් එහෙම වැඩ කළේ නැහැ. ඒ වුණාට ඩ්‍රයිවර් උන්නැහේ චෝදනා කළේ මම ඒ පෝස්ටර් ඉරුවා කියලායි.

කවුරුද ලොකු මහත්තයකු ගාවට මාව දැම්මා. ඔහු මාව බය කරලා මාව පොලිසියට අල්ලා දෙනවා කියලා ටෙලිෆෝන් එකෙන් කතා කරලා පොලිසියට කිව්වා මාව අරන් යන්න එන්න කියලා. සමහරවිට බොරු කෝල් එකක් වෙන්න ඇති ගන්න ඇත්තේ. ඒත්, මට දැන් චූ යන්න තරමට බයයි. "පොලිසිය එනකල් ඔහොම ඉන්නවා" යි කියලා ඒ අය තමන්ගේ වැඩවල යෙදුණා. මමත් ඔහේ මුල්ලක හිටගෙන හිටියා. ටික වෙලාවකින් මට පෙනුණා, කවුරුවත් මා ගැන අවධානයකින් නැති බව. මම පැන්නා. එතකොට පාසල් බසය ගිහින්. ඊළඟ බස් එකේ ගෙදර යනකොට අපේ අක්කා ගෙදර ගිහින් වැඩේ පත්තු කරලා. මල්ලිව ඩිපෝ එකෙන් අල්ලගෙන යනකොට ඒ දෙස නිකම් බලාගෙන සිටි අක්කාගේ තොරතුරු මත පදනම් වෙලා අපේ ගෙදර මාර සේනාව ලෑස්ති වුණේ මාව හැරෙන තැපෑලෙන් පොලිසියට භාර දෙන්න. 

කොයි හැටි වෙතත් බස් කියන්නේ මාර දෙයක්. ඒ දවස්වල මම අපේ තාත්තාගේ බයිසිකලය හිතින් බස් එකක් ක‍රගෙන ගේ වටේ රූට් එකක් හදාගෙන බස් ඩ්‍රයිවර් කෙනෙක් විධියට වැඩ කළා. මම වැඩ කරපු ඩිපෝ එකේ නම සමනලතැන්න. හෙන කඳුකර පළාතක්. ටොයිලට් එක වටේ, නන්නන් ගහ රවුමේ අතිශය භයානක වංගු පසු කරගෙන තමයි ගමන යන්න තිබුණේ. ලේලන්ඩ් එකක් එළවන දාට එක සද්දයක්. ඕ එම් ටිග්‍රටෝ ෆියට් බස් එළවන්නත් මම කැමතියි. ඒකෙ සද්දෙ වෙනස්. පස්සෙ පස්සෙ ටාටා, ඉසුසු එහෙමත් එළෙව්වා. හැබැයි කටින්. හිටි ගමන් අපේ තාත්තා දෝස් මුරේ දානවා "දැන් ඔය ඇති, ඕක නවත්තලා පොතක් බලා ගනින් කියලා." ඒ ගොල්ලෝ දන්නවයැ ගමනාන්තයට තව දුර බව. අන්තිමට තාත්තා දෙකක් දුන්නා ම මම හිත හදා ගන්නේ බස් එක පෙරලුණා කියලායි. 

අපේ ගෙය කිට්ටුව වෝගන් පල්ලමේදී එක්දාස් නමසිය හැත්තෑ ගණන් අග භාගයේදී බස් එකක් උඩුකුරුව පෙරළුණා. ඒක ගැනත් මාර කතා තිබුණා. ඒ කිට්ටුව කිතුල් ගහක හිටපු ජූලිස් අයියා කිව්වා මිනිහා ගහ උඩ ඉඳන් දැක්කා ය බස් එකේ ක්ලච් එක පනිනවා. බස් එකේ ආපු අය කිව්වා මුස්ලිම් මිනිහෙක් වන රියදුරා 'අල්ලා' කියා කෑ ගැහුවාම ඒගොල්ලන් පොලු අල්ල ගත්ත නිසා පණ බේරුණා ය කියලා. දොඹකර දෙකක් ගෙනත් බස් එක ගොඩ ගන්න දවස් දෙකක් ගියා. ඒ දවස්වල ගමේ කේන්ද්‍රය වුණේ බස් එක. බස් එක පෙරළිච්ච එක ගැන මිනිස්සු සෑහෙන කාලයක් කතා කළා.

ඉස්කෝලෙදි අපේ පංතිවල ඩෙස් සැරසුවෙත් බස් රූප. ඩෙස් එක බ්ලේඩ් තලෙන් හූරලා ඔප කරගෙන බෝල්පොයින්ට් පෑනෙන් ඒවා ඇන්දෙත් අපිමයි. වැඩිපුරම ඇන්ද බස් එක 23 ශ්‍රී 3212. ඒකෙ මතුගම කොමළි කියලා ඉස්සරහ ලියලා තිබුණා. විනෝද චාරිකා යාම සඳහා වෙන් කරලා තිබුණු මේ ලේලන්ඩ් පවර්ප්ලස් බස් එක තනිකර කලාගාරයක්. ඒ කාලෙ බස් ඩිපෝවල චිත්‍ර ශිල්පියෝත් හිටියා. සමහරු ලැකර් හෙවත් ‍එනැමල් තීන්තවලින් ලස්සන නිර්මාණ කළා. මම මුලින් ම දැකපු භූමි දර්ශන චිත්‍ර ඇන්දේ මේ බස් කලාකාරයෝ. ඒවායේ ‍පොකුණු, ගස් වැල්, පාරවල්, අහස ඇරුණා ම බොහෝ විට තිබුණේ ඒ බස් එක ම තමයි. මට මතකයි එක කාලෙක තීන්ත ආලේප කරලා වේලෙන්න කලින් කුප්පි ලාම්පු දැල්ල අල්ලලා මාර ලස්සන බතික් වගේ මෝස්තරයක් මේ කලාකරුවෝ නිර්මානය කළා. බස්වල ලැකර් තින්ත සුවඳ තවමත් නහයට දැනෙනවා වගේ. 

අපේපංතියේ හිටිය දුල්මිණි බංඩාරගේ (දැන් නීතිඥ) තාත්තා මතුගම ඩිපෝවෙ පරීක්ෂක කෙනෙක්. ඒ නිසා එයා සැරින් සැරේ කවකටු පෙට්ටියට එක එක පේන්ට් පාරවල් අල්ලාගෙන ආවා. එක වතාවක් මගෙත් කවකටු පෙට්ටිය පාට කරවලා දුන්නා.

ඒ කාලෙ අපි ඩිපෝ තාප්පෙ අයිනෙ පාර දිගේ යන්නෙ ඇතුළෙ තිබෙන බස් ගැන හීන මව මව. මතුගං කන්ද උඩට නැගලා ඩිපෝ එකේ දර්ශනයක් අල්ල ගන්න අපි උත්සාහ කළා. හැබැයි වටේ තාප්පෙ නිසා එහෙමට දෙයක් දකින්න ලැබුණෙ නැහැ. ඩිපෝ එක පිටිපස්සෙ උප දිසාපති කාර්යාල වත්ත කෙළවරේ කළු තෙල් වල බලන්නත් අපි යනවා. සමහරු කිව්වේ ඒ තෙල් වල පතුලක් නැති තරම් ගැඹුරුයි කියලා.

3212 බීට් එකට ගහන්න බීට් එකක් තවම මම බස් එකකින් අහලා නැහැ. ඒක හරියට මිහිරි ගීතයක් වගේ. ඒක ඇතුළෙ චිත්‍ර, ලයිට් මදිවාට නිවෙන පත්තු වන බල්බ් සහිත බුද්ධ හා දේව රූප පෙට්ටියකුත් රියදුරු අසුන ඉදිරිපිට තිබුණා. ඒ පෙට්ටිය ඇතුළේ රූප ළඟ වළාකුළු වගේ තිබුණේ පුළුන්.එහි ලයිට් නිවුණේ පත්තු වුණේ සිග්නල්, බ්‍රේක් එහෙම වැඩ කරන විදියටයි. බ්‍රේක් ගහන කොට බුදු හාමුදුරුවන් ගාව රතු බල්බ් එකක් පත්තු වුණා.

එක වතාවක් අපි 3212 බස් එකේ ට්‍රිප් එකක් ගියා. ඒකෙ බැට්‍රි පෙට්ටිය උඩ යන්න ලැබිච්ච එක තමයි ට්‍රිප් එකේ ලොකු ම සොමිය. හැත්තැ හතේ එජාපය බලයට අවාට පසුව 3212ත් වෙන්දේසි කරලා දැම්මා. ඒක ඒ දිනවල අපේ හද කම්පා කරපු සිද්ධියක්. අපේ පංතියේ කොල්ලෙක් කිව්වා දොඹකරේකින් 3212 ඇදගෙන යනවා දැක්කා ය කියලා. ඒක ගත්තු අය මම හිතන්නේ බස් එක මස් කළා. නැතිනම් කොහේදි හරි පසුව දකින්න ලැබෙනවා. ඒ කාලෙ මතුගම පැත්තේ වතු පාරවල්වල දුවපු ෆියට් බස් අතරින් 23 ශ්‍රී 1764 මම මේ ළඟදිත් පාරක දැක්කා. දැන් ඒවා තියෙන්නේ හද්දා පිටිසර පැතිවල. 

පුංචි දරුවන්ගේ ෆීඩිං කප් දැක්කා ම මට තවමත් පරණ බස් මතක් වෙනවා. ඒවායේ රියදුරාගේ දකුණු අත පැත්තෙන් ෆීඩිං කප් එකක් වගේ රතු පාට කෝප්පයක් තිබුණා. ඒකෙන් තමයි, සිග්නල් දැම්මේ. ඒක ඇතුළේ කණාමාදිරි එළියක් නිවි නිවී පත්තු වුණා.  

හුඟක් බස්වලට යතුරු නැහැ. වයර් කෑලි දෙකක් මූට්ටු කරලා තමයි ස්ටාට් කළේ. සමහර බස්වල ස්ටාටර් මෝටරේ හිර වෙනවා. ඒවායේ තිබුණා දිග රීප්ප පටියක්. කොන්දොස්තර ඉස්සරහින් ගිහින් මෝටරේට දෙකක් ඇන්නා ම එන්ජිම පණ ගැන්වෙනවා. බස් තල්ලු කරන එකත් හරි ජොලි වැඩේ. කට්ටිය බැහැලා එක සැරේ කතා කරලා පොඩ්ඩක් හෙල්ලුවා ම පණ ගැන්වෙනවා. පුංචි අපට තල්ලුවක් දාන්න ඉඩක් හොයා ගන්න එක වුණත් අමාරුයි. 

හැත්තෑ ගණන්වල අග හරියෙදි ඉන්දියාවෙන් අශෝක් ලේලන්ඩ් ආවා. ඒවායේ තමයි මුලින් ම ඉදිරිපස දොරටුව රියදුරා ළඟ තිබුණේ. ඩ්‍රයිවර් මහත්තයාට අරින්න පුළුවන් සරළ ලීවර යාන්ත්‍රණයක් තිබුණු දොරකුත් ඒ බස්වල තිබ්බා. ඒ බස්වල තමයි, මට මතක විධියට මුලින් ම තහඩු බෝඩ් ආවෙ.

හොරණ ඩිපෝ එකේ 22 ශ්‍රී බ්‍රිටිෂ් ලේලන්ඩ් පාන් ගෙඩි බස් එකක් අපේ පාරේ සෑහෙන කාලයක් දිව්වා. මේ බස් එකේ එන්ජිම නිකම් දුවනකොට හෙවත් අයිඩ්ලිං තියෙනකොට ආවෙ 'හොරං - හොරං' කියලා සද්දයක්. හොරණ ඩිපෝ එකේ බස් එකක් නිසා වෙන්න ඇති කියලායි මම හිතුවේ. ඒ කාලෙ මතුගම පැත්තට බස් ආවෙ ඩිපෝ කීපයකින් විතරයි. ඉඳහිට අමුතු ඩිපෝ එකකින් බස් එකක් ආවාම අපි හැමෝ ම ඒකට නැගලා බලනවා. ගෙදරයි, පාසලයි ඇරුණා ම ඉතින් අපට වැදගත් ම තැන වුණේ බස් ස්ටෑන්ඩ් එක. පස්සෙ කාලෙක ගෑනු ළමයි පස්සෙන් ගියෙත්, රස්තියාදු ගැහුවෙත් එතන.

අපේ පැත්තේ තට්ටු දෙකේ බස් තිබුණේ නැහැ.ඒ නිසා තවමත් තට්ටු දෙකේ බස්වල හිතේ හැටියට ගිහින් නැහැ. ඒ කාලෙ අපි කවුරුත් වැඩියෙන් ම ආසා කරපු රස්සාව තමයි බස් ඩ්‍රයිවර්කම. සමහරු කිව්වේ මුලින් පයිලට්ලා, දොස්තරලා වෙලා ඉඳලා පස්සෙ සීටීබී ඩ්‍රයිවර්ලා වෙනවා කියලායි. ඒත්, අපේ පංතියේ හිටපු එකෙකුටවත් ඒ මට්ටමට එන්න බැරි වුණා. සමහරු උඩ ගියා. සමහරු පහළ වැටුණා. 

බස් ඩ්‍රයිවර් අපේ වීරයෙක්. ඒත්, හැම ඩ්‍රයිවර් කෙනෙක් ම හොඳ මිනිස්සු නො වෙයි. බස් ඩ්‍රයිවර්ලා අතරෙ විවිධ චරිත හිටියා. පොල්ලෙ මහත්තයා බයගුල්ලෙක්. පුටු කකුලා අධි වේගයට ප්‍රිය නිසා ඇක්සලේටරයට පුටු කකුලක් බැඳ ගත්තා ය කියනවා. වැඩිපුර පාගන්න. හැබැයි, එ නම කිව්වා  ම මිනිහාට තද වෙනවා. ‍අපේ පංතියේ ගැහැනු ළමයෙකුගේ තාත්තා වුණ ඇල්බට් අයියා අහිංසක මනුස්සයෙක්. ඔහු 29ශ්‍රී5114 එළෙව්වේ හරි පරිස්සමින්. මොකක් හෝ ස්නායු ආබාධයක් නිසා ඔහුගේ කටින් "පැහ්' කියලා සද්දයක් එනවා. මේක සමහරු කැත විහිළුවක් කර ගත්තා. 

හොරණ ඩිපෝ එකේ වැඩ කළ මදුරුගොඩ සෝමපාල ගංජා ගහලා හොරණ ඩිපෝ එකේ අලුත් ම අලුත් 29 ශ්‍රී 8072 අශෝක් ලේලන්ඩ් බස් එක අපේ පාරෙ එළෙව්වේ හැටට හැටේ. මිනිහාට පාසල් ළමයින් පෙන්නන්න බැහැ. නෑබඩින් මෙහා බහින ළමයින්ගෙන් බස් එකට ගන්නේ මිනිහාගේ ළමයින්ව විතරයි. ඒ බස් එකේ තමයි, මම දන්න පළමු මිනී මැරුම වුණේ. ඒක දිග කතාවක්. 

ඩ්‍රයිවර් උන්නැහේලාට හෝන් ගහන්නත් එක එක රිද්ම තියෙනවා. මුල් කාලේ හෝන් වැඩ කළේ විදුලියෙන්. එහි ස්විච් එක තිබුණේ කාර්වල වගේ සුක්කානම මැද. පස්සේ හුළං බලෙන් වැඩ කරන ඒවා ආවා. මුලින් ම ආ ඒවායේ ස්විච් එක තිබුණේ පයින් පාගන්න. ඒ කාලෙ සමහර බස්වල ලයිට් ඩිම් කරන ස්විච් එක තිබුණෙත් පයින් පාගන්න.

ඩ්‍රයිවර් උන්නැහේට තරම් අපි කොන්දොස්තර මහත්තයාට කැමති වුණේ නැහැ. හැබැයි එයා 'ටිකිස් - ටිකිස්' කියලා ඇවිත් කරස් ගාලා ටිකට් කඩලා දුන්න ටිකට් මැෂිමට නම් මාර ආසාවක් තිබුණා. ඒකට දාන ටිකට් රෝල‍් කෑල්ලක් එහෙම සතුව තිබුණු සමහර ළමයි කාගෙත් ඉරිසියාවට ලක් වුණා. අපේ තාත්තලා, මාමලා ලංගම වැඩ නො කරපු එක ඒ දිනවල අපට මාර අසහනකාරී ප්‍රශ්නයක්.

ඒ කාලෙ බස්වල බොඩියේ පාට ගාලා තිබුණෙ නැහැ. තිබුණේ නිල් ඉරකුයි, ඒ මැද ඉලිප්සයක සිංහ රූපය සමග ලංගම කියලා භාෂා තුනෙන් ලියපු ලාංඡනයයි විතරයි. ඒ නිසා අපි සීටීබී කියන අකුරු තුනෙන් කියවුණේ සිලෝන් ටකරං බස් ය කියා කිව්වා. 

ඒ කාලෙ අපට සෙල්ලම් බඩු ගන්න සල්ලි තිබුණෙ නැහැ. බස් ස්ටෑන්ඩ් එකේ සෙල්ලම් බඩු තට්ටුවක තිබුණා තහඩුවලින් හදපු බස්. ඒවායේ රෝද හදලා තිබුණෙ සෙරෙප්පු කෑලිවලින්. ගාන මතක නැහැ. අපි ගෙදර ඇවිත් සපත්තු, විස්කෝතු පෙට්ටිවලින් බස් හැදුවා. බසුයි, අපියි ගැන පොතක් වුණත් ලියන්න තරම් දේ තියෙනවා නේ ද කියලා මේක ලියනකොට හිතුණා. 

ආ, තව එකක් මතක් වුණා. මං මුලින් ම ස්ට්‍රයික් එකක් දැක්කේ සීටීබී එකේ. මතුගම ඩිපෝ එකේ අය බස් ඔක්කොම ස්ටෑන්ඩ් එකේ පාක් කරලා ස්ට්‍රයික් එකක් කළා. ඒවායේ අලවලා තිබුණු පෝස්ටර්වල "අනිල් අපිට - අපි අනිල්ට" කියා ලියලා තිබුණා. ඒ කාලෙ ලංගම සභාපති අනිල් මුණසිංහ. පසුව ඔහු මතුගම මන්ත්‍රීත් වෙලා හිටියා. එතකොට ස්ට්‍රයික් කළේ ඔහුට පක්ෂව වෙන්න ඇති.


උත්පල
ඉතින් අර මුලින් කිව්ව බස් බ්ලොග් එක තමයි මේ. ඒක කරන්නේ උත්පල දිල්හාන් ආතාවුද කියලා බස් පිස්සෙක්. එයා ලියන්නේ ලංගම බස් ගැන පමණයි. බ්ලොග් අවකාශය සුන්දර කරන මේ අමුතු බ්ලොගය දැන් 100,000කට වඩා පිරිසක් බලලා. නියමයි සහෝ!



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

77 comments:

  1. වෙනස්ම ලිපියක්. එකාකාරී දේවල් ලියනවාට වඩා මෙහෙම එකක් ලියන එකත් ලොකු දෙයක්

    ReplyDelete
  2. සිංහල විවාහ ගැන ලිඅපු පෝස්ට් එකෙන් පස්සේ මේ පෝස්ට් එකත් හරිම වෙනස් අජිත්..අපේ හැලප කඩේ කරන හැලප අයියගේ කතා වලට වඩා මට මේක හිතට ඇල්ලුවා...අනේ මෙන්න මේ වගේ ඒවා ලියන්නකෝ මෙයා දිගටම...

    ReplyDelete
    Replies
    1. අජිත් දන්නවද කැන්ඳ කඩුවේ පල්ලමේ මැරුණ සමනොරිස් කියලා කෙනෙක්...මන් හිතන්නේ අජිත්ගේ වැඩිහිටි පරම්පරාවේ කෙනෙක්ගෙන් ඇහුවොත් කියාවි..ප්‍රසිද්ද බයිසිකල් රේස් පදින කෙනෙක්..ඔය මරණේ උනේ 50 ගණන් වල..

      Delete
    2. කැන්දකඩුව හන්දියේ මගේ යාලුවෙක් ඉන්නවා. අහලා බලලා කියන්නම්.

      Delete
  3. බස් පිස්සගෙ බස් බ්ලොග් එකට යන්න කළින් කමෙන්ට් එකක් දාන්න හිතුනා. මගේ හිතත් අතීතයට ගියා. කොහෙන්ද අර උඩ තියන පින්තූරෙ හොයා ගත්තෙ. මං ඒ කාලෙ ඕවට කියන්නෙ හොන හොන බස් කියල. ඒව පිකප් කරන කොට එන සද්දෙ තමයි ඒ. මටත් සෑහෙන බස් පිස්සුවක් තිබුනනෙ. අජිත්ට මතකද ටයිගර් ලේලන්ඩ් කියල බස් ජාතියක් තිබුන. ඒ කාලෙ නුගේගොඩ වැල්ලවත්ත කියල රූට් එකක් (144ද කොහෙද රූට් නම්බර් එක) දිව්වෙ මේ ටයිගර් ලේලන්ඩ් බස්. මට කවදාවත් ඒ බස් එකක යන්න ලැබිල නෑ. හැබැයි ඒ බස් වලත් ඉස්සරහ දොර තිබුනෙ අර පස්සෙ කාලෙක ආපු අශෝක් ලේලන්ඩ් වල වගේ රියදුරු අසුනට සමාන්තරවයි. හැබැයි වහන්න දොරක් තිබුනෙ නෑ වගේ මතක.
    මගෙත් පිස්සුවක් තිබුන දකින දකින තැන් වල බස් වල පින්තූර අඳින්න.
    ඉස්සර බස් වල ඉස්සරහත් පිටිපස්සෙත් බෝඩ් දෙකක් තියනව. දැන් වගේ "කොළඹ - ගාල්ල" කියල අගයි මුලයි ලියන්නෙ නෑ. අනිවාර්යයෙන්ම ගමනාන්තයෙදි බෝඩ් එක මාරු කරනව. පස්සෙ කාලෙක පිටි පස්සෙ බෝඩ් එක සයිඩ් එකට ආව. බැට්රි පෙට්ටිය ළඟට. ඒ සිස්ටම් එක එන්න කළින්ම මං ඇඳල තිබුන බස් වල සයිඩ් එකෙන් බෝඩ් එක දාන ක්‍රමය. මගේ ඩිසයින් එක කොපි කරල කියන්න තරම් සාහසික වෙන්නෙ නැති වුනත් මට පුදුමයි එකම විදිහට දෙ‍න්නෙකුට හිතුනෙ කියල. අර ඉස්සරහ වම් පැත්තෙ සාක්කුවක් වගේ එකක රූට් නම්බර් එක දාන ක්‍රමයත් මං කල් ඇතුව ඇඳල තිබුන එකක්.
    මටත්‍ පෝස්ට් එකකට තරම් කාරණා මතකයි. කමක් නෑ. එක ජාතියෙ කුරුල්ලො කවද හරි එක අත්තක වහයි.

    ReplyDelete
    Replies
    1. අදනම් කමෙන්ට් එක දැම්මෙ බුද්ධියෙන් නෙමෙයි බොක්කෙන්මයි.

      Delete
    2. ස්තුතියි. මටත් අර කතන‍්දරට වගේ ජීවිතේ ම කතන්දර ගොඩක්. ඒ වුණාට මේ වෙන කතන්දර හින්දා කතන්දර කියන්න වෙලාවක් නැති වෙනවා.

      Delete
  4. හෙහ්, බස් ගැන නම් මාසයක් කතා කරන්න පුළුවන්..හෙනහුරා කියල තියෙන්නෙ මම හිතන්නෙ ටයිගර් කබ් බස් ගැන වෙන්න ඕන..නුගේගොඩ වැල්ලවත්ත දිව්වෙ 143 නේද?

    හැත්තෑනමයෙ විතර ඔබත් තෙල් පෙත්සම අත්සන් කලාද කියන පෝස්ටරේ මටත් මතකයි. ඒ ඔය යූ.ඇන්.පී. කාලෙ ගොං පාට් තමයි...අපිට අඩුවට තෙල් දෙන්න කියල පෙස්සං අස්සං කරල ඇරියට එහෙම ලාබෙට දෙන්න අරාබිකාරයංට පයිත්තියංය?

    නුවර - කටුගස්තොට ඒ දවස්වල දිව්වෙ යකා බස්..තට්ටු දෙකේ බස් එකේ වගෙ ඉස්සරහ ඩ්‍රයිවර් ඉන්න තැන වෙනම කූඩුවක් වගෙ තිබුණෙ ඒකෙ.බස් වල රූට් නම්බර්ස් එකතු කරන එක ඒ දවස්වල අපෙ ජනප්‍රිය විනෝදාංශයක්....හැත්ත අටේ විතර ඉස්සරෝම ජපානෙං ඉසුසු බස් ගෙන්නුවහම හාමුදුරු සීට් එක ඉස්සරහ උඩ රිදී පාටට ලොකු අකුරෙං ඉසුසු කියල ගහල තිබ්බ හැටි බලන්නම අපි ඒ දවස්වල ගියේ ඒ බස්වල...

    ReplyDelete
    Replies
    1. මං හිතාගෙන හිටියේ තෙල් පෙස්සම සිරිමා ගේ කාලේ වැඩක් කියලයි.

      Delete
  5. මේකට නියම කොමෙන්ටුවක් දාන්න පුළුවන් මනුස්සයෙක් හිටිය... මේක කියවද්දි ඇහේ හීනි කඳුලකුත් එක්ක මතක් වුනේ ඔබා අයිය...

    ReplyDelete
  6. Really enjoyed reading this post;thought i'll share this pic i took on balangoda-pambahinna route

    http://u4j10.wordpress.com/2011/01/17/journey-to-end-of-the-world-1/

    ReplyDelete
  7. අජිතුත් බස් පිස්සෙක් කියල දන්නෙ අදනෙ.ලංගම බස් විතරක් තිබුන කාලෙ ඉපදුන අපි වැඩි දෙනෙක් බස් පිස්සො තමයි මොකද ගමන් බිමන් යන්නෙ බස් එකේනෙ.දැන් වගෙ නෙමෙයි හරියටම වෙලාවට බස් යනව මග රස්තියාදු නැතුව.අපි නම් ඩබල් ඩෙකර් තිබුන පැත්තක හිටිය නිසා අජිත්ට වගෙ නැතුව ඕනතරම් ගිහින් තියනව ඩෙකර් වල.අපේ පාසැල් බස් එකත් ඩෙකර් එකක්.23ශ්‍රී 2696 මහරගම ඩිපෝ එකේ. පොටෝ එකක් මේ බස් බ්ලොග් එකේ තියනව.ඔය තියන පරන ලේලන්ඩ් එකට අපි කිව්වෙ අලියා කොමට් කියල.අපෙ ගෙවල් පාරෙ 120 හොරන කොලඹ දුවපු වැඩි හරියක් හොරන ඩිපෝ එකේ අලියා කොමට් .පස්සේ ලංගම බොඩි ගහපු ලෙලන්ඩ් ආවා.ඔය අජිත් කියන හොරෙන් හොරෙන් සද්දෙ එන්නෙ එන්ජිමේ තියන ගවනර් එක නියුමැටික් එකක් නිසා අයිඩ්ලින් ස්පීඩ් එක අඩු වැඩි වෙන හින්දයි.මගෙත් ආසම බස් එකක් තමයි ලේලන්ඩ් පවර් ප්ලස් එල .හොරන ඩිපෝවෙ කීපයක් තිබුනා.ඒ එන්ජින් බීට් එක වෙන කිසිම ලේලන්ඩ් එන්ජිමක නැහැ.ඔය අජිත් කියන ඉස්සරහ දොරට ගේට්‍ටුව දාපුව අශෝක් ලේලන්ඩ් වයිකින් ටිකක් දිග වැඩි බස් එකක්.පිටිපස්සෙ දොරට පස්සෙත් සීට් පේලි දෙකක් තිබුන මට මතක හැටියට.ඒව ලංගම බොඩි ගහපුව වේරහැර හරි ඒකල හරි.අසෝක් ලේලන්ඩ් ඉස්සෙල්ලම ආවෙ ඉන්දියන් බොඩියක් එක්ක මුලු බස් එකම රතු පාටයි පිට පැත්ත.ඔය ලනුව අදින බෙල් එක පලමුවෙන්ම තිබුනෙ ඒවයෙ.ඊ ලඟට ටාටා එන්න පටන් ගත්ත.ඉසුසු ඊට පස්සෙ.මගෙ අනිත් ආසම බස් දෙක තමයි මර්සිඩීස් බෙන්ස් 1113 සහ ඉසුසු.1113 එලවන්න හරිම පහසු බස් එකක් .ඇකටම ආවීනික වුන බීට් එකක් තියනව එන්ජිමේ එක්සෝස්ට් බ්‍රේක් එක දැම්මහම තමයි වෙනස හොඳටම තියෙන්නෙ.පරන බෙන්ස් 312 බස් වලත් මේ එක්සොස්ට් බ්‍රේක් තියනව කාට හරි මතකද ස්ටියරි එකට යටින් වම් පැත්තෙ ලීවර් එකක් තියනව .1113 තිබුනෙ පයින් පාගන පෙඩල් එකක්.උඩරට ඩිපෝවල තමයි බෙන්ස් බස් වැඩිපුර තිබුනෙ.අජිත් කියන ඕ එම් බස් සහ ‍ෆියට් බස් මහනුවර උතුර,තෙල්දෙනිය වගෙ ඩිපෝ වල තිබුන.80 ගනන් වලත් මේව දිව්ව.ඉසුසු බස් එක ලංගම තිබුන හොඳම බස් එකක් එකම ප්‍රශ්නය මම දන්න තරමට අමතර කොටස් ගාන වැඩි නිසා වියදම ලංගමට ඔරොත්තු නොදෙන එක.ඔය ටිකට් රෝල් කතන්දරේ කියනව නම් කොන්දොස්තරලට වැඳල වගෙ ටිකට් රෝලක් ඉල්ල ගත්තහම රජකම ලැබුනවගෙ තමයි.නැතිනම් රෝල අන්තිමට කිට්‍ටුවෙනකොට මාරුකරනකොට අර කොටේ ඉල්ල ගන්නව.ඕකෙන් කොච්චර වැඩ කලාද?ලේලන්ඩ් ටයිගර් කබ් ,ඇල්බියන්(මොඩ්ල් දෙකක් තිබුනා),මැගිරස් ඩොයිට්ස්(ජර්මන්),ඉකාරස්(හංගෙරියන්),ස්කෝඩා(චෙක්),ශෙපල්(හංගෙරියන්) කියන වර්ගත් ලංගම තිබුන.පස්සෙ කාලෙක ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයෙ (කවුරුත් දන්න ජර්මන් ටෙක් ඒක) ඉගෙනගෙන ලංගමට සම්බන්ද වෙලා මේ බස් අතපත ගාන්න ලැබුන.මෙයින් අන්තිම ඉකාරස් බස් එක (22ශ්‍රී1945) 1980 ගනන් වලත් ටෙක් එකේ තිබුන පාස් බස් එකක්.පරන වෝල බොඩි බෙන්ස් එක 22ශ්‍රි 2558 මතුගම පාස් බස් එක නම් අජිත් දැකල ඇති කියල හිතනව මතුගම ඩිපෝව පාක් කරල ත්යනව.තවත් පරන බස් දෙක තුනක් ජර්මන් ටෙක් එකේ තියනව තවම දුවනව.IC 2800,23 ශ්‍රි 1,23 ශ්‍රි 3651 (බෙන්ස් 1113) වගේ ඒව.අවුරුදු අටක් විතර ටෙක් එකේ උගන්නපු කාලෙ මේ 1113 එක සම්පූර්නයෙන්ම චෙසිය ගලවල අවිස්සාවේල්ල ඩිපෝවෙන් ගෙනත් අලුත්වෙඩියා කරන්න මට අවස්තව ලැබුනා.
    ලංගමට රෝල්ස් රොයිස් කාර් තියනව කියල කවුරුහරි දැනගෙන හිටියද?දැකල නැතිනම් ගිහින් බලන්න ජර්මන් ටෙක් එකේ තියනව CY කාන්ඩයෙ රෝල්ස් රොයිස් එකක්.සත පහට එක සෙක්ශන් එකක් ගිය කාලෙ ඉඳන් රුපියල් නමයකට සෙක්ශන් එකක් යන කාලෙ වෙනකොට ලංගම පරිහානියට පත්වෙලා තියන තරම ගැන දුකයි.මුල්ම හේතුව සුදුසුකම් නැති අයට තනතුරු දීම.80 ගනන්වල ලංගම හිටියා ෆෝමන්ලා කොටසක් කොල ෆෝමන් කියලා.යුඅ එන් පී ආන්ඩුවෙන් කම්කරුවන්ට පවා ෆෝමන් උසස්වීම් දීල.
    සත පහට සෙක්ශන් එකක් යනකාලෙ බාගෙ ටිකට් එක සත තුනයි.හැබැයි ෆයිල් ටිකට් විතරයි තිබුනෙ,ටිකට් මැශින් තියන බස් වලත් සත තුනේ ෆයිල් ටිකට් තියාගෙන තිබුන බාගෙ ටිකට් දෙන්න.ඉතුරු සත දෙක දෙන්න කොන්දොස්තර ලඟ මාරු තිබුන.දැන් වගෙ නෙමෙයි. අපි අර මුද්දර එකතු කරනව වගෙ මේ ෆයිල් ටිකට් එකතු කලා.මගෙ ගාව තියන සත තුනේ ටිකට් එකක පොටෝ එකක් මම මේ බස් බ්ලොග් එක ලියන උත්පලට යැව්ව න්මුත් මේවෙනකම් එයා ඒක බ්ලොග් එකට දාල නැනැ.මගෙ පොටෝ එකට මගෙ වෝටර් මාක් එකක් දැම්ම. උත්පල මට කියල එවල තියනව වෝටර් මාක් එක නැතුව එවන්න දාන්නම් කියල .නමුත් මම කැමති නෑ පොටෝ එකේ මගෙ අයිතිය නැතිකරගන්න.අජිත් කැමති නම් දාන්න මගෙ වොටර් මාක් එකත් එක්ක මම එවන්නම්. සිලෝන් ටකරන් බස් ගැන නම් මාස ගානක් කතාකරන්න දේවල් තියනව. ඔබා හිටිය නම් තව ටිකක් කියයි මොකද එයා මට වඩා සීනියර් ටෙක් එකේ.

    ReplyDelete
    Replies
    1. එවන්න, එවන්න

      Delete
    2. පින්තූර නෙමෙයි... කවි, කතන්දර, රචනා... ඕනම දෙයක් එවන්න.. අපේ ඒවා පැත්තකින් දාලා.. ඒවාට ඉඩ දෙන්න අපි සුදානම්... අපටත් අවශ්‍ය මේ බ්ලොග් බලන රසිකයන් ප්‍රමාණය වැඩි කර ගැනීම තමයි....

      Delete
    3. මම අවුරුදු ගණනක් ම ඉස්කෝලේ ගියේ මහරගම ඩිපෝවේ 23 ශ්‍රී 2177 ඩබල් ඩෙකර් බස් එකේ මහරගම ඉඳන් රාජකීය විද්‍යාලයයට. ඩබල් ඩෙකර් නැතිවුණාට පස්සේ (1977 ඉඳලා වගේ) සිංගල් ඩෙකර් ලේලන්ඩ් එකක් දාලා තිබුණා මහරගම ඩිපෝවෙන්. ඒකෙ නොම්මරේ 23 ශ්‍රී 8500.

      Delete
    4. ඉස්සර රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ ඉස්සරහ තනිකර බස් ඩිපෝවක් වගේ බස් ගහලා තිබුනා හැම පැත්තටම. අපි ඉන්න කාලේ උන්න සර්ට නම් නම දාලා තිබුනේ බස්නායක කියලා. එක අවුරුද්දක මමත් හිටියා සීසන් දෙන වැඩේට. දැන් එක බස් එකක් නෑ. ආසාවට බස් එකක් ඒ පාරෙන් යන්නෙත් නෑ...

      Delete
    5. ඔබ්සර්වර් (සනත්) මටත් මුලින්ම ඊ-මේල් එකක් එව්වේ මං ස්කෝඩා කියන්නේ රුසියන් වාහනයක්ය කියලා ලියපු එක දැකලායි!

      ජර්මන් ටෙක් එක කළ සේවය නම් විශිෂ්ඨයි. ලංකාවට විතරක් නොවේ වෙනත් රටවල්වලටත් - ඒ ඔබා වැනි පිරිස් මගින්.

      Delete
    6. //1113 එලවන්න හරිම පහසු බස් එකක් .ඇකටම ආවීනික වුන බීට් එකක් තියනව එන්ජිමේ එක්සෝස්ට් බ්‍රේක් එක දැම්මහම තමයි වෙනස හොඳටම තියෙන්නෙ.පරන බෙන්ස් 312 බස් වලත් මේ එක්සොස්ට් බ්‍රේක් තියනව කාට හරි මතකද ස්ටියරි එකට යටින් වම් පැත්තෙ ලීවර් එකක් තියනව .1113 තිබුනෙ පයින් පාගන පෙඩල් එකක්.උඩරට ඩිපෝවල තමයි බෙන්ස් බස් වැඩිපුර තිබුනෙ.//
      ඇත්ත... මාවනැල්ලෙ ඩිපෝවෙත් මේ කියන බස් තුනක්ම තිබුනා.ඔය කියන බීට් එක තියන (මම කියන්නෙ 1992 කාලයේ) තව එකක් මාවනැල්ල ඩිපෝ එකේ පරණම බස් එකත් බෙන්ස් එකක්. 23 ශ්‍රී 3610. ඒකේ ඩිපෝ එකෙන් ගහන අංකය MW1. අපිව රසවත් අතීතයකට ගෙනියපු එකට පැරාට තුති.

      Delete
  8. දිගු කාලයක් ලංකාවෙන් බැහැරව ජීවත්වන මා මේ ලිපිය බොහෝ රස වින්දා. එය මගේ සිත ලංකාවේ සුන්දර අතීතයක් වෙත ඇදගෙන ගියා. සුව පහසුව අඩුවීම සහ කාලය නාස්තිවීම හැරුනුකොට බස්වල සහ දුම්රියවල ගමන මා තවමත් ආසා කරනවා. එයට හේතුව ඒවායේ හමුවන විවිධාකාර චරිත සහ අත්දැකීම්. අන්තිමට ම බස් එකක ගියේ මීට අවුරුදු 20 කටත් කලින් නේද කියලා මේ ලිපිය කියවීමෙන් පසු මට හිතුනා. ලබන අවුරුද්දේ ලංකාවට නිවාඩු ආවහම බස් එකක යන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. ලංගම බස් එකක විතරක් යන්න.

      Delete
  9. මෙන්න ඒ කාලෙ 1976 විතර ටකරං බස් සේවය ගැන හිතාගන්න හෝඩුවාවක්.මගෙ ගෙවල් කැස්බෑව ඩිපෝ එක හරියෙ.ඉස්කෝලෙ ගිය මරදානෙ තියෙන සුලෝහිත දෙකෙන් එකකට.අපේ ස්කූල් බස් එක 23 ශ්‍රි 4595. උදේ 6.30 ට බස් එකට නැග්ගහම 7.25 ට ඉස්කෝලෙ.හවසට 1.40ට බස් එක පිටත් වෙනවා 2.40 ට ගෙදර.හැබැයි මේ බස් එක පොදු පාසැල් සේවයක්.උදේට අනුලා,විශාකා,දේවි බාලිකා,ඩී එස්, යශොදරා,කේරි කියන ඉස්කෝලත් වැඳගෙනයි යන්නෙ.කොහොමද දැන් කාලෙ මේ ගමන යන්න ගතවෙන කාලෙ.මේ කාලෙ 120 හොරන පාර පලල් කරලවත් කාපට් දාලවත් නෑ.ඊ ලඟ කතාව ඉස්කෝලෙන් කලින් පැන්නහම ගෙදර යන හැටි.මේ කාලෙ තිබුනා බස් එකක් සතියෙ දවස් වල ඇස් වාට්‍ටුව හංදියෙන් 1.00 ට පිටත් වෙලා හොරනට යන.මේ බස් එක දාල තිබුනෙ ලෙඩ්ඩු බලන්න මහ රෝහලට,ඇස් රෝහලට එන අයගෙ ගමන් පහසුවට.අපි අන්තිම පීරියඩ් එක කට් කරල යන දවසට ගෙදර යන්න එන්නෙ මේ බස් එකේ. කලින් ආවත් ඉස්පිරිතාල ලඟ තෙල් බේත් කාරයින්ගෙයි මැජික් කාරයින්ගෙයි වැඩ බලනව මේ බස් එක එනකම්.බස් එකට ගන්නෙ පිලියන්දලින් එහා යන අය විතරයි මොකද පිලියන්දලට යන්න වෙන බස් ඕන තරම් තියනව.බස් එක හැමදාම එලවන්නෙ එකම ඩ්‍රයිවර්,තරුන හාදයෙක්, නම සිරිසේන ඒ වුනාට අන්වර්ත නාමය මරු සිරා.හරියටම 1.00 ට බස් එක පිටත් වෙනවා.1.25 ට බස් එක පිලියන්දල.1.30 ට අපි ගෙදර.මේත් ඔය පරන පාරෙමයි.මොන කාපට්ද.මේ ගමන කාර් එකක තියා මෝටර් සයිකලේකවත් යන්න පුලුවන්ද දැන් මේ වෙලාවට?

    ReplyDelete
    Replies
    1. මමත් 1970 ගණන්වල කොළඹ රාජකීය විද්‍යාලයේ ඉඳලා පාසල් බසයෙන් ගෙදර ආපු කෙනෙක්. බස් එක පාසලෙන් පිටත් වෙන්නේ 1:40 ට. ගාස්තුව ශත 20 යි. හරියටම 2:10 ට බස් එක මහරගම. ඕනෑම කෙනෙකුට බස් එක එන වෙලාව බලලා ඔරලෝසුවේ වෙලාව තියගන්න පුළුවන්. අද පාර පළල් කරල, කාපට් කරලා. ඒ වුණාට දවල් වරුවේ පැය බාගෙන් ඔය කිලෝමීටර් 11 එන්න හිතන්නවත් බැහැ.

      Delete
    2. වාහන වැඩියි. ජනගහනය වැඩියි. එදා බස්වල ගිය අය අද කාර්වල. ළමයි යන්නේ වෑන්වල. එක බස් එකක ගිය ළමයින්ට වෑන් පහක් යනවා.

      ජනගහනය සහ වාහන වැඩිවෙන තරමට පාරවල් හදන්න ලංකාවේ ඉඩ නෑ. එහෙම කරන්න නම්, මහ කොළඹ සහ උපනගරවල නිවාස කඩා තට්ටු නිවාස පමණක් හදන්න වෙනවා.

      Delete
    3. මා පාසැල නිමවී මරදානෙන් 1.55 දුම්රියේ ගියේ. ගනේමුල්ලට ඒක යන්නේ 2.33 ට.

      මං හිතන්නේ එදත් එහෙමයි, අදත් එහෙමයි!

      Delete
  10. හැමදාම ලියන රිද්මයේ තියෙන්නේ ලේටික රත්වෙන මාතෘකා. මොකද ඒවා කියෙව්වාම ලේ රත්නොවී තියෙන්න හේතුවක් නැති නිසා.

    එහෙම අජිත් ලියන අතරවාරයේ මෙවැන් සුන්දර අතිතයක් වෙත අපව රැගෙන ගිය එක සතුටක්. ඔබ මතුගම ඉඳන් පදවයට ගිය හැටි කිව්වාම මට මතක්වෙන්නේ අපේ කාලයේ රජරට පැත්තේ තිබුණ ලංගම අසිරිය. ඒ කාලේ 70,80, දශකවල කුරුණෑගල අනුරාධපුර පාරේ බසයක් දුවන්නේ සෑහෙන කාල පරතරයකට. හැබැයි ලංකාවෙ මිනිස්සු තවමත් අදට වඩා ඒ අතීත ලංගම සේවයට ආදරෙයි.
    ඒකනේ අර ඒකාලේ ළමා ගීයක තිබුණේ
    "උදැසනම පොඩි අප දිව එනවා" කියලා ලමා ගියක් ඒ ඔය සුන්දර බස් අත්දැකිමනේ...

    ReplyDelete
  11. ඕව මොන බස් ද පැරකුම්. N T 32 නේ බස් එක. එකේ තමයි අපි පොඩි කාලේ ඉස්කෝලේ ගියේ. නිට්ටඹුව ඩිපෝවේ බස් එකක්. සමහර කාලවලට මාසයක් විතර ඒ බස් එක වෙනුවට වෙන බස් එකක් එන්නේ. ඔන්න ඊට පස්සේ එක දවසක මේක එනවා අලුත් ලැකර් ගාගෙන. අපේ කාලේ බස් අඳුරා ගත්තේ ලියාපදිංචි අංකයෙන් නෙමේ. ඩිපෝ නම්බර් එකෙන්. N T 32, NB 48, GM 72 වගේ.
    මේක නියම ලිපියක් පැරකුම්. අපි දැන් වෙන වෙන "බස්" වල ගියාට, අපි ඔක්කොම ඒ කලේ ගිහින් තියෙන්නේ එකම බස්වල.
    අනුරුද්ධ ප්‍රදීප්

    ReplyDelete
  12. මේක හැලපයගේ පඳුරු තැලිලි වගේම පට්ට රහයි.. පැරා මේ වගේ එකක් ලිව්වේ බොහොම කලකින්. ඒ වගේම අර බ්ලොග් එකත් අමුතුම එකක්. ඒක සින්ඩියේ එල්ල ගන්න ඕන..

    ඉස්සර ඔය බස්වල ගහලා තිබුනා.. "මේ බස් රථයට ඕල්ටනේටරයක් සවිකර ඇත. බැටරි වයර් සම්බන්ධ කර ඇන්ජිම පන ගන්වන්න" වගේ කතාවක්.. දැන් ඒවල නම් තියෙන්නේ මහින්ද මහත්තයගේ මොකක්ද වැඩ පිලිවලක් යටතේ අලුත්වැඩියා කල කතාවක්. ඔය කිව්වට ආන්ඩුවේ බස් විතරක් නෙමෙයි ප්‍රයිවට් ඒවත් ගොඩක් මහොන්ද මහත්තයට අයිති ඒවා. මොකෝඅ අයිතිකාරයගේ පොටෝ එක ගහගෙන යන්නේ නිකංය. ඕන් දැන් ඔක්කෝමටම නිල් රැල්ල ගාන යනවා කියලා සුභ ආරංචියකුත් තියෙනව. තැටිය රත් වෙච්ච වෙලාවේ මාත් හෙමිහිට රොටියක් පුච්ච ගත්තට අවුලක් නෑ නේ.

    මෙන්න ඔය පැරා කියන පාන් බස් ගැනයි අනිත් බස් ගැනයි මම ලියපු කතාවක්..

    http://maathalan.blogspot.com/2013/05/18-puka-tours-travels-18.html

    බස් ඩ්‍රැයිවර්ලා ගැන කතාවක් ළඟදීම බලාපොරොත්තු වන්න...

    ReplyDelete
    Replies
    1. ඇයි මතකද
      ''අළුත් ඇංජිමක් සවිකර ඇත සැතපුම් තිස්දාහක් හෙමින් දාවනය කරන්න කියලත් ගහලා තිබ්බා''

      Delete
    2. ගැට කපන්නන්ගෙන් ප්‍රවේශම් වනු කියන එකේ "ක" යන්න "හ" යන්න කරලා තිබුනත් මතකයි..

      "පූජ්‍ය පක්ෂය සඳහා වෙන්කර ඇත" කියන එකේ ක "යනු" යනු බැඳි "ෂ" අකුර මකලා තිබුනා.. සමහර විට ඔය අටම් වගේ උන්ගේ වැඩ වෙන්න ඇති.. මොකෝ පැරාලා අපි ඔය වගේ නොසන්ඩාල වැඩ කරන්නේ නෑ...

      Delete
    3. මටත් පෙන්නන්න බැරි දෙයක් තමා ඔය අතිගරු ජනාධිපතිතුමාගෙ පදවිප්‍රාප්ති සංවත්සරය වෙනුවෙන් අලුත්වැඩියා කරන ලදී වගේ වාක්ය. මුන් වැඩකරන්නෙ ලකුණු දාගන්න

      Delete
    4. "ඕල්ටනේටරයක් සවිකර ඇත
      බැටරි වයර් සවි නොකර එන්ජිම පණගැන්වීම තහනම්"

      Delete
  13. මට නම් බස්වල යන අයව පෙන්නන්නම බැහැ. ඒගොල්ලන්ගේ ළඟ ගඳ ගහනවා. බස් ටිකෙට්ස් වලට යන වියදම එකතුකරලා හරි ඇය් මේගොල්ලන්ට වාහනයක් ගන්න බැරි? ලංකාවේ බස් සේවය නවත්තනකම් ලංකාව හැදන්නම නැහැ.

    ReplyDelete
    Replies
    1. Why dont u delete this unwanted comment Ajith?

      Delete
    2. ඒක ඉතාමත් උත්ප්‍රාසය දනවන ප්‍රතිචාරයක්!

      Delete
  14. කරකවන රෙදි බෝඩ් මතක නැ නේ මට , සමහරක්විට මම ඔයාට වඩා ටිකක් විතර තරුණහන්දා වෙන්ඩ ඇති,

    අර හැමදාම ලියන එව්වා නොලියා මෙව්වා ලියුවානවං කියලා හිතෙනවා

    ReplyDelete
  15. හප්පා අද බස් ගැන කතාබස්. අපි පොඩි කාලෙනම් 119 මහරගම රූට් එකේ විතරයි CTB බස් දිව්වේ. අනික්වා ඔක්කොම වගේ private තමයි. ඒ උනත් CTB බස් එක්ක තියෙනවා හරි පුදුම මතකයන්.ඔබට 'හොරං - හොරං' කියල ඇහුන සද්දෙට මම කියන්නේ 'ගරං ගරං' කියල. 'ගරං ගරං' ගගා ඉදල ගියර් එක මාරු කරන්න යනකොට හිටපුගම ගිඩි ගිඩි ගාල වීදුරු ටික ගැහෙන්න ගන්නවා පොඩිකාලේ මම කරන්නේ ඔලුව වීදුරුවට හේත්තු කරලා ඒ කම්පනයට දත් ටික කට කට ගාලා වැදෙන්න දෙනවා. දැන් උනත් ඒ ගරං බස් එකක් දැක්කොත් මාර සතුටුයි. කොටින්ම ඒවායේ තෙල් සුවදට පවා ආස හිතෙනවා. නියම ලිපිය අජිත් අයියා මාත් මේ කොමෙන්ටුව දැම්මේ බොක්කෙන්මයි.

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නෙ 119 රූට් එකේ දුවපු ඇල්බියන් බස් ගැන.මහරගම ඩිපෝ එකේ ඒවා.තනි දොර බස් එකක්.

      Delete
    2. මතකද 192 රූට් නම්බර් එක ගහගෙන මහරගම ඉඳන් ඔය පාරෙම බෙල්ලන්තර හන්දිය ගාවට ගිහින් ඊට පස්සේ අත්තිඩිය හරහා රත්මලාන ගොළු මඩම හන්දියට දුවපු මහරගම ඩිපෝවේ 22 ශ්‍රී 1396 ලේලන්ඩ් ඔලිම්පියන් මෙට්‍රෝ කැමල් බස් එක?

      Delete
    3. ඇයි මහරගම සිට හැව්ලොක්, බොරුල්ල, දෙමටගොඩ හරයා යන බස් එක?

      Delete
    4. ඉස්සර 138 කියන්නේ කඩවත-මහරගම. ප්‍රයිවේට් ආවට පස්සේ රූට් එක දෙකට කැඩුනට තාමත් දෙපැත්තම 138 මයි.

      ඒ මදිවට හෝමාගම සහ කිරිල්ලවල යනකම්ම ඒක කෑලි දෙක දික්වුණා.

      Delete
    5. කතන්දර කාරයා,
      ඉස්සරෝම, ඒ කියන්නේ 1960 ගණන්වල යි 1970 ගණන්වල මුල් හරියේ යි මහරගමින් පටන් ගන්න 138 බස් දිව්වේ මහරගම-කිරිබත්ගොඩ. ඊට පස්සේ, මට මතක විදියට 1973 තෙල් අර්බුදයෙන් පස්සේ, 138 රූට් එක මහරගම-පිටකොටුව වුණා. ඊටත් පස්සේ, ඒ කියන්නේ 1980 දී 138 රූට් එක මහරගම-කඩවත විදියට දික් වුණා, හැබැයි වැඩි කාලයකට නෙමෙයි. ඔබතුමා කියන විදියට ම පෞද්ගලික බස් ආවට පස්සේ රූට් එක දෙකට කැඩුණා.

      හෝමාගම ඩිපෝවෙන් ඉස්සර කාලේ ඉඳන් ම 138 රූට් එකේ බස් ධාවනයට යෙදෙව්වා. ඒ හෝමාගම-පිටකොටුව විදියට. ඒ කාලේ පාදුක්කෙන්, ඉංගිරියෙන් (මාර්ග අංක 125) එහෙමත් නැත්නම් ඉහළ බෝපෙන් (මාර්ග අංක 124) පිටකොටුවට දුවපු බස්වල ගමනාන්ත බෝඩ් එකේ ගහලා තිබුණේ "කොළඹ" කියලා මිසක් පිටකොටුව කියලා නොවෙ යි.

      මහරගම ඩිපෝවෙන් යොදවපු 112 රූට් එකේ බස් ඒ කාලේ දිව්වේ මහරගම-කඩුවෙල විදියට. ඒවා කොළඹ කොටුව හරහා ගිහිල්ලා කඩුවෙලට ම ගියා.

      Delete
  16. බස් හා කෝච්චි පිස්සෙක් වන මම මේ ලිපිය ගොඩක් රසවින්දා.ලිපිය ලියල තියෙන ශෛලියෙන් අපි හැමෝම තම තමන්ගේ ඊට අදාළ අතීත සැමරුම් වලට ගෙනයාමට සමත්වී ඇති බවයි මට නම් හැඟෙන්නේ.
    ප .ලි.
    මේක නම් ලොකුවට සමරන්න ඕන අවස්ථාවක් . මොකද හැමෝටම එකඟ වෙන්න පුළුවන් ලිපියක් පැරා අතින් ලියවිලා. ඇනෝ ඇවිත් ජාතිය අමතන අයටත් කටඋත්තර නැති වෙලා. ප්‍රොෆයිල් එකෙන් ඇවිත් පැරාට එක එක කතා කියන අපි වගේ අයත් අන්දොස් වෙලා. කොමෙන්ට් කරන ගොඩක් අය ඇනෝ නැතුව ප්‍රොෆයිල් එකෙන් කොමෙන්ට් කරලා. ආසියාවේ ආශ්චර්‍යය නේද හැබෑට මේ???

    ReplyDelete
    Replies
    1. කොටින්ම මට හිතුනා අජිත් පැරකුම්ට කෝල් එකක් දීලා කතා කරන්නත්!

      Delete
  17. සිරාවටම මොරබ්බා ඔය දත් ටික වදින වැඩේ නම් මාත් කරලා තියෙනවා..මතකද රට අඹ ලෑලි වලින් යට තට්ටුව ගහපු ලේලන්ඩ් බස් ..එක එක ස්පීඩ් වලදී එක එක කෑලි හෙල්ලෙන්නේ ..:P

    ReplyDelete
    Replies
    1. මට තවමත් මතකයි සීට් එකක ලියලා තිබුනා "සහන් + මාලී" කියලා.. උඹද දන්නෙ නෑ ඒක ලියලා තිබුනේ...

      Delete
    2. :P සිරාවටම ඉස්සර කොහේ හරි තමන්ගේ නමයි කෙල්ලගේ නමයි + දාල ලියගත්තම මාර ආතල් එකක් එන්නේ. ඕක දිහා බල බල චූන් වෙන එක තරන් තව දෙයක් නැහැ.ලැට් වලයි , ගස් ගල් වලයි , බිත්ති වලයි , ඉස්කෝලේ ඩෙස් වලයි , තමයි ඉතින් සෙනෙහෙවන්ත කම ලිව්වේ..මොකෝ අපි කුරුටු ගාන්න කියලා සීගිරි යන්නයෑ...

      Delete
    3. සහන් ඔය අහුවෙන්නේ හොරේ උබ තමයි එහෙනම් හැමතැනම බස් වල සහන් + මාලි කියල ලියල තියෙන්නේ :D

      මේ ලිපිය නම් සාරයි උපරිමෙන් උඩ තියෙන comments ටිකත් මරු රස වෑහෙන අතීත මතක....

      Delete
    4. ඒ වගේම බස් එක යද්දී අර ලෑලි අස්සෙන් පාර පෙන හැටි බලාගෙන තමා යන්නේ වෙන කොච්චර බස් දැකල තිබුනත් CTB බස් වල මොකක්දෝ ගතියක් තියෙනවා එකටම වෙන් උන බ්ලොගයක් කරන කෙනක් ඉන්න එකත් පුදුමයක් නෙමෙයි

      Delete
    5. ඒ කෙසේ වෙතත් අපේ ගමේ බස් එකේ "ශ්‍රී ලංකාව මෙට්‍රික් ක්‍රමයට හැරෙයි" කියන පෝස්ටරයේ "හැ"යන්න ඉරුවේ නං පැරා බව දැන් මට සහතිකයි.
      http://kathandara.blogspot.com/2011/10/millions-and-billions.html

      !!!

      Delete
  18. මමත් ඔය 3212 බස් එකේ ගිහින් තියෙනව. මට මතක මතුගම පැලවත්ත පොල්ගම්පල හරහා මුලින්ම දිව්වෙ ඩොජ් වර්ගයේ සහ ඇල්බියන් වර්ගයේ බස් ඊට පස්සෙ ලේලන්ඩ් කොමට් තව පියට් බස් එක මතුගම කුරුපිට, මතුගම කුම්බදූව, ඒ වයෙ කොන්දොස්තර කෙනෙක් හිටියෙ නැහැ මුල් කාලෙදි රියැදුරු තැනම තමයි ටිකට් දුන්නෙ.මැෂින් එකට කලින් තිබුනෙ ශත 3,5,10 ආදී වශයෙන් මුද්‍රණය කල ටිකට් ඒ ටිකට් වලට අපි හරිම ආසයි. ඒ ටිකට් වල නොම්මර කීපයක් අතින් වහල කරන වහපු ඉලක්කම් කියන සෙල්ලමකුත් කලා. ඒ කාලෙ මගෙ ලඟ වටිනාම දෙයක් තිබුන ඒ ශත 40 ටිකට් එකක්. ශත 40 ටිකට් එකක් ලැබෙන්නෙ ඉතා දුර ගමනකදි තමයි.අපේ අයිය ලඟ ඔය ජාතියෙ ටිකට් මිටි බැඳල ලච්චුවක් පුරවල තිබුන මට අල්ලන්නවත් දුන්නෙ නැහැ. අර ශත 40 ටිකට් එකත් එක්ක මම ටිකට් ටිකක් එයාගෙන් ඉස්සුව. පසු කාලෙකදි එයා මට ටිකට් ටික ඔක්කොම මට දුන්න. මගේ ජීවිතයෙදි මට ලැබුනු ලොකුම වස්තුවක් තමයි ඒ ටිකට් මිටි ටික.පසු කාලෙකදි ඉන්දියන් අශෝක් ලේලන්ඩ් ධාවනය උනේ අනිල් මුණසිංහ ලංගම බාර ගත්ත කාලෙ එංගලන්තෙ ලේලන්ඩ් සමාගමෙන් කෙලින්ම ලංගමයට අඩු මිලට බස් ගන්න උත්සාහ කලා ඒත් එංගලන්ත ලේලන්ඩ් සමාගම කෙලින්ම රජයට බස් විකිනීම ප්‍රතික්ෂේප කර ඒ අයගෙ නියොජිත සමාගම හරහා බස් මිලදී ගන්න කිව්ව.නියොජිත සමාගමට එවකට විශාල මුදලක් ලැබෙනව කොමිස් මුදල් විදිහට. එමනිසා කිසිම කොමිස් මුදලක් නැතුව ඉන්දියාවෙන් අශෝක් ලේලන්ඩ් බස් ගෙනාව. ඒ විදිහට ක්‍රියාකරල තමයි ඒ කාලෙ ලංගමෙන් ලාභ ලැබුවෙ. ලංගමයෙ ස්වර්ණම අවදිය කියන්න පුලුවන්
    තව දෙයක් කියන්න අමතක උනා ඒ දවස් වල බස් හෝල්ට් තිබුනෙ නැහැ. දැන් ප්‍රයිවට් බස් වගේ හැමතැනම නවත්වනවා. 1960 මැද හරියෙදි බස් හෝල්ට් ලකුණු කිරීම ආරම්භ කලා. ඒක කලේ බස් රථයක රූපය සහ විශ්මයාර්ථ ලකුන බස් රථය ඉදිරියෙන් සිටිනසේ යකඩ තහඩුවක කැපූ ලාංඡනය තාර පාර මත තබා ඒ මත සුදු තීන්ත තැවරීමෙන්, අපේ අයියටත් මාර අවශ්‍යතාවයක් තිබුන බස් හෝල්ට් එකක් අපේ ගෙවල් ලඟට ගන්න. හැමදාම අපි අපේ ගෙවල් ලඟ රට හුනු වලින් බස් හෝල්ට් එකක් අඳිනව. ඒත් බස් හෝල්ට් සලකුනු කරන විට ඒ හෝල්ට් එක සලකුනු කලේ විලියම් ඩරයිවර් උන්නැහේලගෙ ගෙවල් වලට හැරෙන පාර ලඟට. එයා වැඩ කලේ මතුගම ඩිපෝ එකේ. අපිට හිතුනෙ අපිට ලැබෙන්න තිබුන හෝල්ට් එක හිතවත් කමට එයාට ලැබුන කියලයි.

    ReplyDelete
    Replies
    1. මේ කියන බස් හෝල්ට් ලකුන හයි කරල තිබුනේ අඟල් දෙකක් විතර සයිස් හොඳ ගැල්වනයිස් බටයක.අපේ දේශප්‍රේමී ජනතාව පොදු දේපල තමන්ගෙ දෙයක් වගෙ බලාගන්න ඒ කාලෙ හිටන්ම දක්ශ නිසා ඔය බටේ ගලවගෙන ගිහින් ලිං වල බොලොක්කය හයි කරන්න දා ගත්තා.

      Delete
  19. පය නොතබනු ඇන්ජින් එක උඩ ලියල තිබුනෙ.

    ReplyDelete
    Replies
    1. "බැටරි පෙට්ටිය මත බඩු නොතබනු" කියලා ඩබල් ඩෙකර් බස්වල ගහලා තිබුණා. ඒවායේ බැටරි පෙට්ටිය තිබුණේ උඩට යන පඩිපෙල පටන් ගන්න තැන, පඩිපෙලට වම් පැත්තෙන්.

      Delete
    2. මෙම බස් රඨයට අළුත් ඕල්ටර්නේටරයක් සවි කර ඇත. කෙටි ධාවනයට යොදන්න.

      Delete
    3. “කට්ටල් තෙල් පරීක්ෂාව සිකුරාදා“

      Delete
    4. කකාගෙ යෙදුම මෙහෙමයි බස්වල ගහල තිබුනෙ.
      අලුත් එන්ජිමක් සවිකර ඇත .කෙටි ධාවනයට යොදන්න.
      ඕල්ටර්නේටරයක් සවිකර ඇත. බැටරි වයර් සවි නොකර එන්ජිම පනගැන්වීම තහනම්
      බැටරි පෙට්ටිය මත වාඩිවීම තහනම්.
      පා පුවරුවේ යාම තහනම්
      මෙහි පය නොතබනු(බොනට් එක උඩ)
      රියදුරු අසුනට අත තැබීම තහනම්.

      Delete
  20. බොහොම අපූරු ලිපියක්.

    ReplyDelete
  21. “ඩිපෝව“ යන ගම කොහෙද තියෙන්නේ?
    බස් ඇයි එච්චර එහාට යන්නේ?
    -චන්ද්‍ර අනගිරත්න-

    ReplyDelete
    Replies
    1. සමහර බස් මේ ගමන යන්නේ සද්ද නැතිව බෝඩ් නොදා.

      Delete
  22. අපි යාසල් යන කාලෙත් ඩ්‍රයිවර් සීට් එකට පිටිපස්සේ යන්න ආසයි.සමහර ඩ්‍රයිවර්ස් ලා එහෙම සීට් එක අල්ල ගෙන යනවට කැමති නෑ.මොකද බැලින් නම් එයාට කිචි.

    ReplyDelete
  23. නෑ වැරදියි ජය ශ්‍රී. හදිස්සියෙ බ්‍රේක්න් ගැහුවොත් එහෙම සීට් එක පිටිපස්සෙ ඉන්න කෙනා විසිවෙලා ඩ්‍රයිවර්ගෙ පැත්තට වැටෙන නිසා.

    ReplyDelete
    Replies
    1. වෙන්න පුලුවන් මිත්‍රයා.

      Delete
  24. හොරණ සිට කොළඹ සරසවියට බස් එකේ පැමිණි සිංහල මහාචාර්ය හේමපාල විජේවර්ධන හැමදාම වාඩි වී තියෙන්නේ බැටරි පෙට්ටිය උඩයි.

    ඔහුව ගමේ අය දන්නේ සිංහල මහාචාර්ය කෙනෙක් ලොස නොව බැටරි පෙට්ටියේ මහත්තයා ලෙසලු!

    ReplyDelete
  25. බස් කතාවෙ තව විස්තර තියෙනවා. ඒ ‍ටිකත් ලියන්න ඕනැ කියලා හිතෙනවා. ඔබ ඒවා රස විඳිනකොට අර ලේ රත් වෙන ලිපිවලට බනිනකොට වගේ ම චූන්.

    ReplyDelete
  26. මෙතන කොච්චර කොමන්ට් කාරයො හිටියත් කාගෙවත් තාත්තල, බාප්පල, මාමල ඉන්නවද ඩෙකර් එලවපු නැහැනෙ. මම මේක ටිකක් ආඩම්බරෙන් ලියන්නෙ අපේ බාප්පා පානදුර කො‍ටුව ඩෙකර් බස් එලෙව්වා. ඒ කාලෙ වෙසක් එකට පානදුර කොලඹ තොරන් සේවයක් තිබුනා. කොහොමද ඩෙකර් එකක උඩ තට්‍ටුවෙ ඉඳල කොලඹ වටේ වෙසක් බලනකොට.

    ReplyDelete
  27. අද වගේ අවිනීත, අශිෂ්ට පුද්ගලික බස් රියදුරන්, කොන්දොස්තරවරුන් නොහිටපු, එමෙන් ම, නිසි සංයමයක් සහ මනා පුහුණුවක් ලබා තිබූ ලංගම බස් රියදුරන්, කොන්දොස්තරවරුන් පමණක් හිටපු 1960/1970 දශක දෙකේ සුන්දර බස් අත්දැකීම් අන්තර්ගත මේ ලිපිය අනිවාර්යයෙන් ම මුද්‍රණද්වාරයෙන් නිකුත් වන ලිපි සරණි ග්‍රන්ථයකට අයත් විය යුත්තක්.

    මම නම් දැනටමත් මේ ලිපිය මගේ පුද්ගලික ඩිජිටල් ලිපි ගොනුවට එකතු කර ගත්තා.

    ReplyDelete
  28. 1960/1970 කාලේ ලංගම කොන්දොස්තරවරුන්ගෙනුයි රියැදුරන්ගෙනුයි වැඩි හරියක් ඇන්දේ සුදු සරම. කාකි වර්ණ කෝට් එකක් ඩිපෝවලින් දීලා තිබුණා ඒ දෙගොල්ලටම. ඒක තමයි ඒගොල්ලන්ගේ යුනිෆෝම් එක. ෂඃ, බලන්න එපැයි ඒගොල්ලන්ගේ තිබුණු ගාම්භීර පෙනුම..! කොන්දොස්තර තැනගේ කෝට් එකේ තිබුණා පිත්තල පාට ත්‍රිකෝණාකාර තහඩු බැජ් එකක්. ඒකේ ලංගම ලාංඡනය යි "කොන්දොස්තර" කියන එක යි ගහලා තිබුණා.

    ReplyDelete
  29. AJITH ,I AM 50 YEARS OLD & LIVING ABROAD NEARLY HALF OF MY LIFE.THIS WONDERFUL ARTICLE BROUGHT MY MEMORIES BACK FROM LOVELY SCHOOL DAYS.I HAVE ALL THESE EXPERIENCE ,WHAT AJITH HAS WRITTEN AND WELL AS IN COMMENTS.CAN ANYONE REMEMBER CONDUCTOR-SOMAPALA AIYA OF 122-COLOMBO-AVISSAWELLA ROUTE?.VERY JOVIAL LOVELY MAN.ANY MEMORIES?PLS REPLY.SORRY FOR WRITING IN ENGLISH.I HAVENT GOT SINHALA FACILITY.I HAD THAT LONG AGO WHEN I WAS WRITING MY BLOG (ARUGE ADAVIYA)(2 YEARS AGO).I CANT FIND IT NOW.I AM NOT VERY GOOD IN COMPUTERS.PLEASE HELP ME TO GO BACK TO WRITING IN THE SAME BLOG.THANKS.

    ReplyDelete
  30. පිස්සු හැදෙන ලිපියක්. මාර අසාවෙන් කියවපු අන්තිමට ආවම අයියෝ ඉවරයි කියල හිතුන ලිපියක්. මේ වගේ ඒවා තව ලියන්නකෝ. මම ඉපදුනේ 83. ඒ නිසා අපේ බස් ගැන මතක මේ විස්තර වලට වඩා වෙනස්. මේකත් අර මගුල් ගෙවල් ගැන ලියපු ලිපිය වගේ. හරි අසාවෙන් කියෙව්වේ. පුලුවන්නම් අර මිනී මැරුම ගැනත් ලියන්නකෝ. වෙන මොනවටවත් නෙමෙයි. ඒ කාලේ ඒ වගේ සිදුවීමක් මිනිස්සු දැක්කේ කොහොමද කියල හිතා ගන්න.

    ReplyDelete
  31. අනුරාධපුර, පොලොන්නරුව චාරිකාවකට (ඩිපෝ වලට ;) ) ගිහින් හිටපු නිසා ඔබේ ලිපිය දැක්කේ දැන්. ඇත්තටම ලොකු සතුටක් සහ දිරි ගැන්වීමක් ලැබුනා ඔබේ ලිපියෙන්. බස් එක්ක ඔබේ මතකයන් නම් බොහොම සුන්දර පාටයි. ඔබට ගොඩක් ස්තූතියි! :)

    ReplyDelete
  32. thanks mr.perakum, i went several years back on the memory lane, we used to take 583 kadawatha mahakade bus around 6.30 am, and we the driver was called කලබල , මොකද මිනිහ හරිම කලබලෙන් යන්නේ , මන්කඩේ වෙල ළඟ ගේට්ටේ උඩින් යන කොට පස්සේ seat එකේ උන් වහලට ගිහින් එන්නේ, අපිත් එක්ක ගම්හප ගිය සෙට් එකම ඔය බුස් එකේ ටමි ගියේ , හෙබෙඉ ඔය ලොක්කගේ පදවිය නිසා බුස් හේදිල්ල නම් හරිම බංකොලොත් වෙඩක් . එයි මුන්ට බුස් එකක් කෙදුනහම අවුරුද්දක් ඉන්න ඕනේ , they are suppose to keep their fleet up and running, as i have heard CTB was ruined after politicians started to use it as a way of offering jobs to their henchmen,

    ReplyDelete
  33. Hithawath Ajith,
    obe lipiya balala mata godak asa hithuna. obata vagema kaalayak matath thibunaneda kiyala. mama me wisthara tika hoyanne harima aasawen pahathin dakwenne uthpalage page ekata liyapu wistharamai puluwannam hoyaladenna.
    Mama, Manjula

    1. 1970 gananwala thibuna tiger cub kiyala bus wargayak galle depot eke mathaka hatiyata 22sri saha 23sri kanda wala 1980 ganawala mul bhagayeth eka bus ekak dhawanaya una. mema bus eke enigma idiripasa yatin pihitala thibune. pasu kaalayaka galle dipo engineeruwan wisin chasiya modify karala Leyland engine ekak thiyala dhawanaya kara mdakalapuwa-galle athara. me bus ekata api podikale kiuwe pangediya bus eka kiyala eke hadayatikak pan gediyak wage.

    2. TAM kiyala yugosloviyawen genapu bus wagayak thibuna 1987 passé samahara bus original body ekath ekka awa eewagema chassi witharak genath eekala work shop eke body haduwa. mama uthsaha kara foto hoyaganna bariuna. mama anek dipo gana danne naha galle nam thibuna.(mee original body bus ekak 1989 di akurassedi nilwala gangata thallu kara kiyala aaranchiy ekale hitapu viplawakarayo.

    3. Hyundai bus dekak thibuna galle depo eke. mee bus eke bodya fiber namuth engine wala aapu prassnayak hinda duwanna bari una passé kaleka galle dipo eke aya eekata izusu auto gear engine ekak thiyala hadala dhawanayakra eetapasse dakke naha. mekath 1987- 1988 kale wage aawe. meke thawakathawak thibuna me bus gaththu nisa depo adhikari mahaththyata Hyundai karekak labuna kiyala.

    ReplyDelete
  34. 23/3212 1990 kale whenacam divva mata mathaka widihata.meka happila apahu body gahala genawa matamathakai. Seat peli ussala gahala thibune thani dorata. Mata thama mathakai meke 430 Kaluthara - Mathugama giya. Mama Matuhama Habai ipadune 1977 enisa paranama bus mathaka ne. 1987 whithara idala dipowe thibba okkoma bus katapademen mathaka thibba bus piisek.

    Niyama lipiya Mage pasal yaluwo godama bus pisso. Uthpalala apita wada godak balia man hithanne Habai thama me pissuwa thiyena eka nam hodai.

    meke commen kiyawapuwahama generation ganaka CTB pisso innawa kiyala hithenawa

    ReplyDelete
  35. අජිත්, මම මේ බ්ලොග් එකේ කියවපු හොඳම ලිපිය. උපරිමයි. කමෙන්ට්සුත් එලෙසමයි.

    ReplyDelete
  36. තෙල් පෙත්සම කියන්නෙ මොකක් ද

    ReplyDelete
    Replies
    1. 1973 දී ඛණිජ තෙල් නිෂ්පාදනය කරන අරාබි සහ තවත් රටවල් කිහිපයක් එකතු වෙලා 'ඔපෙක්' (OPEC = Organization of the Petroleum Exporting Countries) නම් සංවිධානයක් පිහිටුවා ගෙන එක වරම බොර තෙල් මිළ විශාල වශයෙන් ඉහළ දැම්මා. එතකොට සිරිමාවෝ බණ්ඩාරනායක රජයෙන් ඒ රටවලට භාර දෙන්න පෙත්සමක් පිළියෙළ කළා ශ්‍රී ලංකාව වැනි දුප්පත් රටවලට අඩු මිළට තෙල් ලබා දෙන්න කියලා. ඒකට අත්සන් කිරීම පිණිස රජයෙන් මහජනතාවට ආරාධනා කළා. ඒකට තමයි 'තෙල් පෙත්සම' කිව්වේ.

      Delete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.