2013-09-13

සුනිලා අබේසේකර ගැන ආදර කවියක් හෙවත් දේශපාලනික ගුණ කථනයක්

ජවිපෙ විමුක්ති ගී පටිගත කිරීමක්. සුනිලා අබේසේකර, ගුණදාස කපුගේ, නිමල් පෙරෙරා, බුද්ධදාස විතානාරච්චි, තිලක් ඉද්දමල්ගොඩ, මුනිදාස ගුණසිංහ සහ ඔගී රණවීර (ඡායාරූපය අප දුටුවේ පතුල වෙබ් අඩවියේ ය)
සුනිලා අබේසේකර පිළිබඳ සටහනක් තබන්නැයි ආරාධනා කළ විට මට මතක් වූයේ සුනිලා අබේසේකර නම් ගායිකාවකි.

බඹරු ඇවිත් චිත්‍රපටයට ඇය ගැයූ 'උදුම්බරා', හංස විලක් චිත්‍රපටයට ඇය ගැයූ 'සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්' ගීතය හා සුනිල් විජේසිරිවර්ධන සමග එක්ව නිර්මානය කළ 'දෝතට ගනිමු' වැනි ගායනා කීපයකින් ඇගේ අනන්‍යතාව ඇය සිංහල සංගීත ක්ෂේත්‍රය තුළ නො මැකෙන අන්දමින් සලකුණු කළා ය.

දෙවනුව මා මතකයට පැමිණියේ ඇය ලංකාවේ සිටි වඩාත් ම ෆොටෝජෙනික් හෙවත් ඡායාරූපවල සුන්දර අන්දමින් නිරූපණය වන, නිරූපිකාවක නො වන ගැහැනියක ලෙසයි.

එහෙත්, සුනිලා සිය අනන්‍යතාව ලෙස ප්‍රවර්ධනය කළේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක ය යන වෘත්තිකමය අනන්‍යතාවයි. ඇය ලෝක ප්‍රකට වූයේ මේ අනන්‍යතාවෙන් බවට සැකයක් නැත. එහෙත්, අග නාගරික සමාජයට අයත් නො වන අපට ඇගේ මෙම භූමිකාව නම් බොහෝ දුරස්තර වූ එකක් වූ බව කිව යුතු ය. කොටින් ම කියනවා නම් ඇගේ ප්‍රභූ මානව හිමිකම් ක්‍රියාකාරිත්වයන් වසර තිහක පමණ නිර්ප්‍රභූ වාම දේශපාලන හා සමාජ ක්‍රියාධරයකු වූ මට ස්පර්ශ වන තැනක තිබුණේ නැත.

අපි කිසි තැනක හමු වී නැත. වතාවක්, දෙකක් පොදු උද්ඝෝෂණයකදී දකින්නට නම් ඇත. ලංකාවේ නිර්ප්‍රභූ සමාජ දේශපාලන ක්‍රියාධරයන්ගේ ලෝකය හා සුනිලා වැනි සමාජ සේවා වෘත්තිකයන්ගේ ලෝකය අතර සුවිසල් පරතරයක් ඇති බව මගේ අදහසයි. එනයින් ගත් කල ඇය වැනි වෘත්තිකයෝ ලංකාවට වඩා එක්සත් ජාතීන්ගේ සංවිධානයට සමීප ය. ඇගේ වඩාත් ම වැදගත් දේශපාලන භූමිකාව ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධාන‍ය හමු‍වේ මානව හිමිකම් සම්බන්ධයෙන් බලපෑම් කරන්නියක වශයෙන් ය.

ඇතැම් දෙමළ ඊලාම්වාදී වෙබ් අඩවිවල සුනිලා ගැන පළ වී තිබුණු ලිපි කියවූ මගේ මුවග සිනාවක් ඇඳිණි. සුනිලා දැඩි එල්.ටී.ටී.ඊ. විරෝධිනියක් වූ බව ඇය තමන්ගේ පැත්තේ බව පෙන්වා ගන්නට උත්සාහ කරන අය නො දනිති. ඇය කොටි සංවිධානයේ ළමා ‍සොල්දාදුවන් බඳවා ගැනීම වැනි මානව හිමිකම් උල්ලංඝනයන්ට විරුද්ධව ප්‍රබල හඬක් නැඟුවා ය. දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ හිමිකම පිළි ගත් මුත් ඇය කොටින්ගේ මිලිටරි ඒකාධිපතිවාදයට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදී ආස්ථානයක සිටිමින් අරගළ කළ අයෙකි.  ඇය වනාහි ආණ්ඩුවටත්, කොටි සංවිධානයටත් එක ම ස්ථාවරයකින් විරෝධය දැක්වූ, එහෙත්, දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාධරියකි. එක්සත් ජාතීන් හමුවේ කොටි සංවිධානය වෙනුවෙන් බලපෑම් කළ අය හා ඇය අතර සුවිසල් පරතරයක් තිබිණි. ඇයට කොටි ලේබල් ඇලවීම ආණ්ඩුවේ බාල ප්‍රචාරක වැඩක් පමණි. ආණ්ඩුව විසින් අලවන ලද ලේබල් නිසා ඇයව තමන්ගේ කඩවල තබා විකුණා ගන්නට හදන අය ඇය ගැන ටිකක් ගැඹුරින් විමසා බැලිය යුතු ය.

සුනිලා අයත් වන සමාජ කුලකය කොටි සංවිධානය ප්‍රශ්න කළ තවත් ආස්ථානයක් වූයේ එහි පුරුෂෝත්තමවාදී දේශපාලනයයි. ප්‍රක‍ට ස්ත්‍රීවාදිනියක වූ රාජිනී තිරාණගම ඝාතනය කොටි සංවිධානයේ කෲර දේශපාලන හැඩතල සලකුණු කළ වැදගත් සිද්ධියකි. සුනිලා උතුරේ සිටියා නම් හෝ ඇය ‍කේතීශ්වරන් ලෝගනාදන් වැනි කොළඹ කේන්ද්‍ර කර ගත් දෙමළ ජාතික බුද්ධිමතකු වුණා නම් ඇය ගැන අද ලියවෙන ඇතැම් කවි නො ලියවෙන්නට ඉඩ තිබිණි.   

මානව හිමිකම් ක්‍රියාකාරීන් ලෙස සුනිලා ඇතුළු ප්‍රභූ රාජ්‍ය නොවන සංවිධාන බලවේගය විසින් ලංකාවට සුවිසල් බලපෑමක් කරන ලද බව කිව යුතු ය. මානව හිමිකම්, ස්ත්‍රීවාදය, ලිංගික අයිතිවාසිකම් වැනි බටහිර මූලයන් සහිත සංකල්ප ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීමෙහි ලා මේ රාජ්‍ය නො වන සංවිධාන ව්‍යාපෘති විසින් සුවිසල් වැඩ කොටසක් කරන ලදී. විශේෂයෙන් ම මර්ජ් නම් වූ පුරෝගාමී සංවිධානය මෙහිදී සිහිපත් කළ යුතු ය. සුනිලා කලක් එහි සභාපතිනිය වූවා ය.

ඇය හා තවත් එවැනි බොහෝ ගණනක් වන ප්‍රභූ සමාජ සේවා වෘත්තිකයින් විසින් නව මධ්‍යම පංතික පරිභෝජනවාදී සංස්කෘතියක් ද ලංකාවේ නිර්මානය කරන ලද බව කිව යුතු ය. ඒ වනාහි අධ්‍යතන රාජ්‍ය නො වන සංවිධාන උප සංස්කෘතියයි. එය බුර්ෂුවා පංතියේ යම් යම් අංග ලක්ෂණ මෙන් ම පරිවාරයේ රටවල ධනපති පංතීන් තුළ දක්නට ලැබෙන කෑදරකම ද, පහළ මධ්‍යම පංතික පසුගාමිත්වය ද මුසු වූ සංස්කෘතියකි. මේ එන්ජීඕ සංස්කෘතිය ගැන වෙන ම ලිවිය යුතු ය. 

සුනිලා දක්ෂ ගැහැනියක වූ නමුත් ලාංකීය දේශපාලනය තුළ ඇයගේ කාර්යභාරය එතරම් බලපෑමක් සහිත එකකැයි මම නො සිතමි. එසේ වන්නට එක් හේතුවක් වන්නේ ලාංකීය එන්ජීඕ සංස්කෘතියේ සීමා ය. එම සංස්කෘතියට ගොදුරු වූ අය ප්‍රභූ වෘත්තිකයන් බවට පත් වූවා මිස දේශපාලන ක්‍රියාධරයන් වූයේ නැත. පසු කාලීනව ඔවුන් අතර එතරම් වැදගත් දේශපාලන සංවාදයක් තිබුණේ ද නැත. 

නිදසුනක් ලෙස රැඩිකල් ක්‍රියාකාරිනියක ලෙස සුනිලාගේ ක්‍රියාකාරිත්වය ඇය කෙටි කලක් සම්බන්ධව සිටි ජනතා විමුක්ති පෙරමුණට හෝ ඇය ප්‍රතිමුඛ වූ කොටි සංවිධානයට බල පා තිබේ ද යන්න විමසා බැලීමේදී මගේ නම් අදහස වන්නේ එය තිබෙන්නේ අවම තත්වයක බවයි. (ප.ලි:නන්දන මාරසිංහ ඝාතනය ජවිපෙ හා ඇ‍ගේ සමාජ කණ්ඩායම සමග සම්බන්ධය ජවිපෙ විසින් ඡේදනය කර දැමූ ආකාරය සංකේතවත් කරන සිද්ධියකි.)

ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් දැඩි බලපෑමක් කළ කොළඹ කේන්ද්‍රීය, සිංහල දේශපාලන කණ්ඩායමක් වූ හිරු කණ්ඩාය‍මේ ක්‍රියාකාරිකයකු ව සිටි මගේ අත්දැකීම අනුව, අපට ද ඇගේ ක්‍රියාකාරිත්වයේ බලපෑමක් නො දැනිණි. අපේ සංවාද හා ක්‍රියාකාරිත්ව අවකාශ තිබුණේ සුනිලා අබේසේකරලාගේ ප්‍රභූ ක්‍රියාකාරිත්වයෙන් ඔබ්බේ ය. නිදසුනක් ලෙස, ජාතික ප්‍රශ්නය හා සම්බන්ධව හිරු කණ්ඩායම විසින් 2003දී කරන ලද වැදගත් දේශපාලන මැදිහත් වීමක් වූ සිහල දමිළ කලා උළෙල තුළ සුනිලා අබේසේකර වැනි අය අයත් වූ‍ සමාජ කුලකය කොහේවත් සිටියේ නැත.

මෙම වැඩසටහන කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සොයා ගැනීම සඳහා පැට්‍රික් ප්‍රනාන්දුත් සමග කුමාර් රූපසිංහ හමු වන්නට දෙතුන් වතාවක් ගිය අයුරු මට සිහි වේ.‍ ඒ දෙතුන් වතාවෙන් පසුව පවා මේ සල්ලි ගහෙන් ‍රුපියල් දෙතුන් දාහකට වඩා නො සෙල්වුණු බව මට මතක ය. ප්‍රභූ එන්ජීඕ දේශපාලනය හා ප්‍රායෝගික සමාජ දේශපාලන මැදිහත්වීම් අතර තිබුණු සම්බන්ධය එවැනි ය. 

සුනිලා පිළිබඳ තබන ලද මෙම සටහන ඇය ජීවතුන් අතර සිටියදී ලියුවා නම් කුමක් වේදැයි සිතුවොත්, මට නම් සිතෙන්නේ ජනරළ පත්තරයේ මෙය පළ වුණත් ඇය කිසි සේත් ම මේ පිළිබඳව දැන නො ගන්නා බවයි. ලාංකීය දේශපාලන අවකාශයත්, ප්‍රභූ එන්ජීඕ ක්‍රියාකාරිත්වයත් අතර එතරම් පරතරයක් තිබේ. එහෙත්, මෙම දේශපාලන සටහන තබන්නේ සුනිලා කෙරෙහි ගෞරව සම්ප්‍රයුක්තව ය. දේශපාලන ක්‍රියාකාරිනියකගේ මරණින් මතු ගෞරව කළ හැකි එක් ආකාරයක් වන්නේ ඇගේ භූමිකාව පිළිබඳ සංවාදයක් ඇරඹීමයි.

එහෙත්, සුනිලාගේ ජීවිතයේ ගැඹුරු ම දේශපාලනය ඇය දරුවන් බොහෝ ගණනකගේ තනිකඩ මවක ලෙස රැඟූ භූමිකාව තුළ තිබෙන්නට ඇතැයි මම සිතමි. 

සුනිලා අබේසේකර සමග අප සැවොම ඉටු කර ගැනීමට අසමත් වූ ප්‍රාර්ථනාව ඇය සුනිල් විජේසිරිවර්ධන සමග එක්ව නිර්මානය කරන මේ ගීය තුළ තිබේ.

දෝතට ගනිමු 
දෝතට ගනිමු
ඉර ද හඳ ද, මහ පොළව ද
දෝතට ගනිමු

ළා හිරු එළියේ දිලිසෙන විලිකුන් ඵලයක්
නිසල රැයේ කඩා හැලෙන නිල්වන් තරුවක්
දයා දියෙන් පෙඟී ‍තිබෙන හදවත් කැටියක්
ඒ හදවත ගැන ලි‍යවෙන ආදර කවියක්

පිරුණු ලොවම ඉවත හෙළන මිනිසා වෙනුවෙන්
වෙනස් වෙන්න බලා සිටින ලොව ගැන පැතුමක්
ඒ පැතුමන් රැගෙන ගලන නිදි නැති නදියක්
දෙගොඩ තලන ඒ නදියෙන් බිහි වන දරුවෙක්

මේ ගීය ගැන ගී මිණි ආර වැඩ සටහනට මෙතැනින් සවන් දිය හැකි ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

7 comments:

  1. මෙමම් ඡයාරූපය තිලක් ඉද්දමල්ගොඩ මහතා වෙතින් ලබාගෙන විපුල් පතිරාජ නම් අපේ සහෘදයකු විසින් නව ශ්‍රී ලංකා දේශපාලනය නම් ෆේස්බුක් ගෲප් එකේ පලකරන ලද්දකි. ඉන්පසු වෙබ්සයිට් මගින් එය උපුටාගෙන ඇත.

    ReplyDelete
  2. සු! සු! සුනිලා.......

    http://arunishapiro.wordpress.com/2013/09/11/%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD-%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8F-%E0%B6%85%E0%B6%B6%E0%B7%9A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB-%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%AF/

    ReplyDelete
  3. සුනිලා ගේ මරණය අහල මිනිස්සු බැනපු බැනුම් දැක්ක නේ පැරා.. බොටත් කවදා හරි ඔය ටික තමා .. දැන් වත් හැදියන් !

    ReplyDelete
    Replies
    1. මළාට පස්සෙ ගහන බෙර රිඹටයැ කියලා කියමනක් තිබෙනවා.

      බෙර විතරක් නෙමෙයි කුණුහබ්බ වුණත් මළ එකාට රිඹටයැ.

      Delete
    2. ඉන්නකන් රට විකුණන් කාපන්, මළාට පස්සෙ ගහන බෙර රිඹටයැ !

      Delete
  4. // ඒ දෙතුන් වතාවෙන් පසුව පවා මේ සල්ලි ගහෙන් ‍රුපියල් දෙතුන් දාහකට වඩා නො සෙල්වුණු බව මට මතක ය //

    එකෙන් පෙන්නෙ ඔබලාගෙ නොහැකියාව, මම කුමාර් රූ. දේශපාලනයටවත්, එන්. ජී. ඕ වැඩ ගනවත් නෙවෙයි කියන්නෙ, නමුත් කුමාර් ඔය වගේ දෙකට උදවු නොකරපු එක පුදුමයි. ඔබ 2003 විතර ඔහු හමුවෙන්න ගියා නම් ඒ ගියෙ ලකී ප්ලාසා එකට හෝ සෙන්ට් බ්‍රිජෙට් එක අසල ඔෆිස් එකට වියයුතුයි. එකල ඔහු අලුත් එන්.ජී.ඕ වල් හදාගෙන හිටියා සාමය වෙනුවෙන් .
    අනු'පුරෙ ව... අහන්න එයාගෙ යු... එන් ජී ඕ එකට කොච්චර උදවු කරාද කියල,
    මම ඔහු සමග රාජකාරි ගනු දෙනු තිබ්බ නිසා කියන්නෙ

    -ප.ගෝ.

    ReplyDelete
  5. මල නොතලා නටුවට තොත්තුවක් දීල

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.