2013-10-16

බාග නාට්‍ය, බාග චරිත නිරූපණ හා කාල සර්ප ගැන බාගෙට ලියවුණු රසවිඳුම

කීර්ති වැලිසරගේ විසින් ලියන ලද කාල සර්ප නම් ස්වර්ණ පුස්තකය කියවීමි. නැතිනම් නො කියවීමි. මා එය කියවූයේ ද එය ස්වර්ණ පුස්තකයක් ලෙස නම් කරන ලද නිසා හා මවිසින් මීට පෙර කතා කරන්නට යෙදුණු මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ සෙංකොට්ටං නවකතාව පරයා එය ස්වර්ණ පුස්තකයක් ලෙස මතු කරන ලද නිසා ය. මින් පෙර ‍මේ රටේ ස්වර්ණ පුස්තක බවට පත් වූ කෘතිවල යථාර්ථය අමතක කර දමා කියවීම ආරම්භ කළෙමි.

කාල සර්ප කියවීම තරමක් ආයාසකර ව්‍යායාමයක් විය. මට ඇති පළමු ප්‍රශ්නය වන්නේ එතරම් රසයක් හෝ ඥානනයක් මතු නො කරන කෘතියක් කියවීමට කාලය මිඩංගු කරන්නේ කුමට ද යන්නයි. මන්ද, මම සාහිත්‍ය විනිසුරුවරයෙක් ද නො වෙමි. ඔවුන්ට නම් සිය කියවීම ආර්ථික ලාභයක් හෝ සමාජ ප්‍රාග්ධනයක් වේ. අද කාලයේ විචාරකයන් යයි කියන අය පොතක් ගැන යමක් ලියන්නේ කතුවරයා තමන්ගේ මිතුරකු හෝ අනුගාමිකයකු හෝ වේ නම් පමණි. මා මේ සටහන තබන්නේ අඩු තරමේ කතුවරයාගෙන් නො මිළේ පොතක් හෝ ලැබුණු නිසා නො වේ. කාල සර්ප ස්වර්ණ පුස්තකයක් වූ නිසා ය. මන්ද, අද කාලයේ ලංකාවේ නවකතාවේ වටිනාකම් මනින මිම්ම මෙම සල්ලි මල්ල බවට පත් වී ඇති නිසා ය.

සමන් වික්‍රමආරච්චි කාල සර්ප ගැන ලියා ඇති විචාරය කියැවීමි. සාහිත්‍ය විනිසුරුවරු කිසිවෙක් ඒ ගැන විචාරයක් ලියා තිබෙනු නො දිටිමි. මම සම්මත අරුත්වලින් විචාරකයෙක් නො වෙමි. මා මේ ලියන්නේ මා කාල සර්ප තුළින් විඳි හෝ නො විඳි රසය ගැනයි.

කාල සර්ප කෘතිය දේශපාලනික, සමාජමය තේමාවක් ස්පර්ශ කරන්නකි. මිනිස් දක්ෂතාවන්ගේ සීමා ඉක්මවා විහිදෙන අධික උන්නතිකාමය හා අවස්ථා හිඟකම හා අතර සිරගත වූ තරුණ පරපුරක අසම්පූර්ණ කතාවක කටු සටහනක් එහි තිබේ.

කාලය හරහා පරම්පරා දෙකකදී අපට හමු මවන ගිරිං හා වසන්ත කුමාර ඔස්සේ රචකයා අපට කියන්නට උත්සාහ කරන්නේ මෙය සනාතනික දහමක් බව ද? සිය පෙම්වතියගේ සිත් දිනා ගැනීම පිණිස මහා පන්දමක් දල්වා, එයින් අනපේක්ෂිත විනාශයක් නිර්මානය කර, තම ජීවිතය ද අඳුරු කර ගන්නා ගිරිංගේ පරම්පරාවේ ම තවෙකෙක් තරුණ නැගිටීමක් සිදු වන සමයකදී සිය උන්නතිකාමී අපේක්ෂා හා ෆැන්ටසි මැද ව්‍යසනයකට නිරපරාදේ මර්දනයට ගොදුරු වෙයි.

චේ සැමරීම පිණිස චේ රයිඩර්ස් නමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වන ලද මෝටර් බයිසිකල් සවාරියේ දෙවන දිනයේ තිස්සමහාරාමයේ පැවති රැළියේදී සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික එරංග ගුණසේකර විසින් කරන ලද පහත සඳහන් ප්‍රකාශය මගේ සිත් ගත්තේ ය. "අපේ රටේ බොහොමයක් තරුණ තරුණියො ඉන්නවා, ඒ අයට ගොඩක් හීන තියෙනවා. හැබැයි ඒ හීන වලට මොකද වෙලා තියෙන්නෙ? විභාග සමත් වෙලා තියෙනවා ඒත් උසස් අධ්‍යාපනය ලබන්න සරසවි නැහැ. ඉගෙන ගෙන තියෙනවා. ඒත් කරන්න රැකියා නැහැ. පාරෙ අලුත්ම මාදිලියෙ බයිසිකල් තියෙනවා, ගන්න ආසයි. හැබැයි ගන්න සල්ලි නැහැ. පෙම්වතෙක් පෙම්වතියක් ඉන්නවා. හැබැයි විවාහ වෙන්න විදියක් නැහැ. හැබැයි ඔය අතරෙම තවත් රජ කුමාරවරු පිරිසක් ඉන්නවා. ඒ අය විභාග සමත් නොවුණට විශ්ව විද්‍යාලෙ යනවා. ඉගෙන නොගත්තට හොඳ තරතුරු සහිත රැකියා කරනවා. දක්ෂයින් නොවුණට ජාතික ක්‍රීඩා කණ්ඩායම් වල නායකයො වෙනවා. මේක හරිද? මේක අපි වෙනස් කරන්න ඕන නැද්ද? අන්න ඒ වෙනස සිදුකරන්න තාරුණ්‍යයට අවශ්‍ය නායකත්වය දෙන්න සමාජවාදී තරුණ සංගමය සූදානම්."

1960 දශකයෙන් පසු ලාංකීය රැඩිකල් දේශපාලනයේ හරය කැටි කර ගත් මෙවැනි රුවන් වැකියක් පැවසීමේ අවංකකම මීට පෙර ජවිපෙ නායකයන්ට තිබුණේ නැත.

වසන්ත කුමාරගේ චරිතය ගොඩනැ‍ඟෙන්නේ මෙකී දේශපාලන හා සමාජමය අපේක්ෂා මධ්‍යයේයි. එහෙත්, ඔහු වනාහි සමාජවාදී තරුණ සංගම් ක්‍රියාකාරිකයන් වැනි විපර්යාසකාරක මැදිහත්කාරී භූමිකාවක් රඟන්නකු නො වේ. ඔහුට ඇත්තේ අධිකතර උන්නතිකාමයකි. කැප කිරීම් ඔස්සේ සිය අපේක්ෂා ඉටු කර ගන්නවා වෙනුවට කිසියම් කෙටි මගකින් කූටප්‍රාප්තිය වෙත පැමිණ එහි ඵලය භුක්ති විඳීමේ උවමනාවක් ඔහුට ඇත.

ගිරිං පැය කීපයක වීරයකු වෙයි. වසන්ත කුමාර ද සිය ෆැන්ටසික ලෝක තුළ වීරත්වයක් මවා ගනියි. එහෙත්, ඔවුන්ගේ ජීවිත වෙළා ගන්නේ අපේක්ෂා භංගත්වය විසිනි. වසන්ත කුමාර ගිරිං වැනි ක්‍රියාකාරී චරිතයක් නො වේ. ඔහුගේ ක්‍රියාකාරිත්වයේ උපරිමය දක්නට ලැබෙන්නේ පංති කාමරයේදී විච්ඡේනය කිරීම පිණිස කුකුළ‍‍කු ගෙන ඒමේ අසම්පූර්ණ නාට්‍යය තුළයි. කැරැල්ලේ අවසන් සමයේදී ඔහු සැලසුම් කරන සාම ප්‍රයත්නය 1988දී ජවිපෙත්, ආණ්ඩුවත් අතර බොරු සම්මුතියක් නිර්මානය කළ කේ.සී. සේනානායක සිහිපත් කරයි. 

එහෙත්, වසන්ත කුමාරගේ සැලසුම් කඩදාසි මත කරන ලිවීමකින් අවසන් වෙයි. ඔහුගේ ජීවිතයේ නාට්‍යමය සිදුවීම් සියල්ල කතුවරයා විසින් අතරමගදී බිඳ දමන ආකාරයක් දක්නට ලැබේ. මේ නිෂ්ක්‍රීයත්වයෙන් ප්‍රකාශ වන්නේ වසන්ත කුමාර ද? නැතිනම් කතුවරයා ම ද? 

නවකතාව අවසන් හරියේදී වසන්ත කුමාරගේ චරිතයේ සිදු වන හදිසි විපර්යාසය අතාර්කික ය. අතිශය බොළඳ ය. ඔහු තුළ විපර්යාසය ඇති කිරීමට හේතු වන බෝඩිං මිතුරා ඡායාමාත්‍රයක් පමණි. නිදන්ගත උන්නතිකාමී, පටු අදහස් ඇත්තකු වූ වසන්ත කුමාර තුළ එතරම් ගැඹුරු වෙනසක් ඇති කරන්නට සමත් වන මේ සුවිශේෂ පුද්ගලයා කවරෙක් ද? කතුවරයා ඒ චරිතය අපෙන් සඟවන්නේ ඇයි?

වසන්ත කුමාර විසින් නියෝජනය කරනු ලබන්නේ අපේ කාලයේ කුමන සමාජ බලවේගයක් ද? ඔහු අවසාන‍යේ ගත් කල පාලනයේ කුරිරු මර්දනයට ගොදුරු වන අහිංසකයෙක් පමණි. ඔහු වැනි චරිතයක් සිය කතාවේ ප්‍රධාන චරිතය කර ගන්නට කතුවරයා පෙළඹෙන්නේ කුමක් නිසා ද? සමන් වික්‍රමආරච්චි විසින් නෝංජලයකු ලෙස හඳුන්වනු ලබන ‍වසන්ත කුමාර වැනි චරිත ලංකාවේ ඉතිහාසයේ කුමන ස්ථරයක් නියෝජනය කරන්නේ ද? සමාජ පරිණාමයේදී ඔවුන්ට හිමි තැන කුමක් ද?

කාල සර්ප නවකතාවෙන් මතු කර ගත හැකි මෙම සංවාද විෂය ඉදිරියට ගෙන යාමට නවකතාව විසින් සපයන අමුද්‍රව්‍ය මොනවා ද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

6 comments:

  1. a....ada mama eka.
    mage buddiye hatiyata mata sampoorna kisima adahasak nam na.
    baageta adahasak dannam.

    hoda research ekak.

    ReplyDelete
  2. //1960 දශකයෙන් පසු ලාංකීය රැඩිකල් දේශපාලනයේ හරය කැටි කර ගත් මෙවැනි රුවන් වැකියක් පැවසීමේ අවංකකම මීට පෙර ජවිපෙ නායකයන්ට තිබුණේ නැත.//

    තාමත් නැහැ බං.... රටේ කොල්ලන්ව අන්දලා උන්ගේ කර උඩින් රුපියල් සත හොයාගෙන පුතාව ලන්ඩන් ඇරලා උගන්නන සෝමයා වගේ එකෙක් නායකයා වෙනකල් කොහෙන්ද ජවිපේ නායකයෝ කටක් ඇරලා ඕවා ගැන කතා කරන්නේ?

    ReplyDelete
  3. යම් කිසි දැක්මක්, කතා රසයක් තිබුණද කාල සර්ප ස්වර්ණ පුස්තකයක් නම් නොවේ. ඊට වඩා සාහිත්‍යයමය ගුණාංග මෙන්ම දැක්මක්ද අන්තර්ගත නවකතා කිහිපයක්ම පසුගිය වසරේ නිකුත් වී තිබේ. කෙසේ වෙතත් ස්වර්ණ පුස්තකය ලැබෙන්න පොත ටිකක් ලොකු වෙන්නත් ඕනි කියන එක පසුගිය අවුරුදු වල සම්මාන අනුව පෙනී යයි. කාල සර්ප ඒ මිම්මට හරියයි. අගලක පමණ පොත ඝණකම් වෙයි. පිටු ගණනද හාරසියට වැඩිය. සෙංකොට්ටන් නවකතාව නිර්දේශ නොවන බව නිකම්ම නිකම් තර්ඩ් ක්ලාස් පාඨකයෙක් ලෙස මම කළින්ම තීරණය කලේ එබැවිනි. ඒත් ස්වර්ණ පුස්තකේ නැතත් සෙංකොට්ටං කාල සර්පට වඩා නිර්ව්‍යාජ,ස්වභාවික ආකාරයකට ගලා යන නැවුම් අත්දැකීමකි.

    ReplyDelete
  4. පැරා, කපිල කුමාර කාලිංග ගේ “කන්දේ වීදිය“ ගැන ඔබේ අදහස කොහොමද?

    ReplyDelete
    Replies
    1. තවම කියවූයේ නැත.

      Delete
  5. මෙහි ඉහත සඳහන්වෙන කෘති තුනම (කාල සර්ප, සෙංකොට්ටං, කන්දේ වීදිය) කියෙව්වා. සාහිත්‍ය මාසයේ ලංකාවට ගිය මම ඒවා මිලදී ගත්තේ සාකච්චාවට භාජනයවූ පොත් නිසයි. සම්මාන ලබාගත් හෝ නිර්දේශිත පොත් නිසාම නොවෙයි. කියවූ පසු හිතුනේ ඇයි මේ පොත් සම්මාන සඳහා නිර්දේශිත වුනේ කියලයි. මටනම් ඒවා හරිම සාමාන්‍ය කෘති. නූතන පරපුරේ රචකයන්ට නිර්මාණාත්මක වඳ භාවයක් තියෙනවද.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.