2013-12-09

ජයලත් මනෝරත්නගේ සෙල්ලම් නිරිඳු හෙවත් සිංහලයේ සුන්දර ම පෙම් පුරාවත

දස්කොන් - ප්‍රමිලා කතාව සිංහල ජනප්‍රවාදයේ එන සුන්දර ම ප්‍රේම කතාවයි. මීට පෙර ජෝන් ද සිල්වා ශූරීහු ද මෙම කතාව ඇසුරින් නාට්‍යයක් නිර්මානය කළේ ය.

ජයලත් මනෝරත්නයන්ගේ අභිනව නාට්‍යය වන 'සෙල්ලම් නිරිඳු' සඳහා පාදක වන්නේ ද මෙම කතා පුවතයි. මීට පෙර මතුගම ශ්‍රවණාගාරයේදී ම ජයලත් මනෝරත්නගේ 'බූරුවා මහත්තයා' බැලීමට ගිය මම පළමු වතාව‍ට නාට්‍යයක් අතරමගදී නැගිට ආවෙමි. සෙනග හා අධික උණුසුම පමණක් නොව නාට්‍යයේ දුර්වලකම ද එසේ කරන්නට හේතු විය.

වාර්තා රංගයක් ලෙස ඇතැමුන් විසින් හඳුන්වනු ලබන සෙල්ලම් නිරිඳු නැරඹීමෙන් පසු මට සිතෙන්නේ එය ඉන් ඔබ්බට විහිදෙන විශිෂ්ට නාට්‍යයක් බවයි. මනෝරත්නයන් බලවත් පරිශ්‍රමයක් දරමින් සුවිසල් හැදෑරීමක් කර තිබේ.සෙල්ලම් නිරිඳු හුදු නා‍ට්‍යයක් පමණක් නො වේ. ඉතිහාස කථනයකි.

නාට්‍යය තුළ ඉතිහාසය පිළිබඳ අපූරු කතිකාවක් දිග හැරේ. ඒ වනාහි ඉතිහාසඥයාගේ කථනය හා ජන කලාකරුවාගේ කථනය යන දෙක අතර ඇති පරස්පරතා හා සාම්‍යයන් පිළිබඳ කතිකාවකි. වෙනත් වචනවලින් කියන්නේ නම් විද්‍යාත්මක ඉතිහාසය හා ජන කතා අතර ගැටුම හා ඒකීයත්වය පිළිබඳ කතිකාවකි. දස්කොන් - ප්‍රමිලා කතාව පිළිබඳ ජනප්‍රවාදයේ ඇති සුඛනම්‍ය ලක්ෂණ හා ඓතිහාසික සාධකවල දෘඪබව පිළිබඳව සෙල්ලම් නිරිඳු අවධානය යොමු කරයි. නාටකයේ කථක භූමිකාව කරන ඉතිහාසයා හා නාඩගමක් නිෂ්පාදනය කරන නාට්‍යකරුවා අතර සංවාදය තුළින් එය කදිමට නිරූපණය කෙරේ. මා හිතන්නේ මේ වනාහි පසුගිය වසර ගණනාව පුරා ජයලත් මනෝරත්න නිමග්නව සිටි ඉතිහාස ගවේෂණය හා නාට්‍ය රචනය අතර ගැටුම සහ සම්බන්ධය නිරූපණය කරන අවස්ථාවකි. 

නාට්‍යයේ ඇතැම් පෙළ විසින් මතු කරනු ලබන තවත් කාරණයක් තිබේ. ඒ වනාහි, ඉතිහාස රචනය හා වර්තමාන සමාජය අතර ඇති සම්බන්ධයයි. ඉතිහාස රචකයා ඉතිහාසය ලිවීමේදී ඉතා පැහැදිලිව ම ඔහු ජීවත් වන යුගයේ ‍තෝරා ගත් අධ්‍යතන අවශ්‍යතාවන් ප්‍රමාණයක් නියෝජනය කරයි. මහාවංශය ලියූ මහානාම හිමියන්ට දුටුගැමුණු රජු වීරයා කරන්නටත් ලංකාවේ මහායාන ඉතිහාසය අකා මකා දමන්නටත් උවමනා විය. ඉංග්‍රීසීන් මහාවංශය මතු කරගෙන සිංහලයන්ට යළි තිලිණ කර දුන්නේ එහි තිබෙන දෙමළ විරෝධී ස්වභාවය නිසා එය ජාතීන් බෙදා වෙන් කර පාලනය කිරීම සඳහා යොදා ගන්නට විය හැකි ය. සිංහල ජාතිවාදී නායකයන් මහාවංශය හිස් මුදුනින් වැළඳ ගත්තේ එය සිය ස්වෝත්තමවාදී අරමුණු සමග ගැලපුණු බැවිනි. ඉතිහාසය පාදක කර ගන්නා කලාකරුවා ද කරන්නේ එක්තරා ආඛ්‍යානයක් ඉදිරිපත් කිරීමකි.

මනෝගේ නාට්‍යයේ ගැස්කොයින් මහ අදිකාරම හා සුමිත්‍රා බිසව ජාතිවාදය ගැන යෙදෙන සංවාදය ඇත්තෙන් ම වර්තමාන අදහස් පද්ධතියක් ඔස්සේ ගොඩනැගුණකි. නො එසේව, ඒ සංවාදයට අදාළ වන ආකාරයේ ජාතීන් එදා තිබුණේ නැත. ලංකාව අද ජාතිය යයි හඳුන්වන දේශපාලන ප්‍රජාව හඳුනා ගන්නේ විසිවන සියවසේදී පමණ ය. 

සෙල්ලම් නිරිඳු ඔස්සේ එළඹිය හැකි තවත් සංවාදයක් වන්නේ ඉතිහාස ගවේශනය විසින් කලාකරුවාට විලංගු නිර්මානය වන්නේ ද යන්නයි. ඇත්තෙන් ම ගැඹුරු ඉතිහාස ගවේශනය ඉතිහාසකරුවාගේ කාර්යයක් මිස නාට්‍යකරුවාගේ කටයුත්තක් වන්නේ නැත. කලාකරුවාගේ නිර්මාණාත්මක පරිකල්පනීය ලෝකය තුළ ඉතිහාසය බාධාවක් විය යුතු ද? ෂේක්ස්පියර් පවා ඉතිහාසය සිය කෘති සඳහා මූලාශ්‍ර කර ගත්තේ ය. එහෙත්, ඔහුට ඉතිහාසය බාධාවක් නො වීය. ඔහු ඉතිහාසය සිය අත මැටි පිඬක් කර ගත්තේ ය. 

ජයලත් මනෝරත්න එසේ කලාකාර බලපත්‍රය යොදාගෙන ඉතිහාසයෙන්නිදහස් වන්නේ නැත. ඒ වෙනුවට ඔහු ඉතිහාසඥයාගේ හා කලාකරුවාගේ භූමිකාවන් අර ගැටුම ඔස්සේ නාට්‍යය තුළ තවත් නාට්‍යයක් නිර්මානය කරයි. ඒ ඔස්සේ විද්වත් කතිකාවක් ද ගොඩනගයි. ඒ වනාහි විශිෂ්ට නව නිර්මානයකි. තවෙකෙකුට ප්‍රති නිර්මානය කළ නො හැකි නිර්මානශීලිත්වයකි.

එහෙත්, ප්‍රධාන නාට්‍යය දිවෙන්නේ ගැස්කොයින් හා සුමිත්‍රා බිසව අතර ප්‍රේම පුරාවෘත්තය ඔස්සේ ය. එය අතිශය සුන්දර ප්‍රේම කතාවකි. එහෙත්, නාට්‍යකරුවා අපට ඒ ප්‍රේම කතාව දෙස අගතියෙන් තොරව, මධ්‍යස්ථව හිඳ බැලීමට කරන පහසුකම් සැලසීම හරහා ඔහු බ්‍රෙෂ්ට්ගේ දුරස්ථකරණ සංකල්පය අලුත් යමක් නොව සිංහල ජන නාට්‍ය කලාවේ පැරණි ලක්ෂණයක් බව පෙන්වා දෙයි. ඉතිහාසය විසින් යක්ෂාරෝපණය කර, අනුකම්පා විරහිතව දස්කොන් මරා දමන මිත්‍රදෝහියකු බවට පත් කර තිබෙන වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු කෙරෙහි පවා මෙත් සිත් ‍‍ගොඩනංවන ආකාරයට මනෝ සිය නාට්‍යය ගොඩනංවා තිබේ.  රජු අතින් සිය හිතමිත්‍ර දස්කොන්ට මරණ දඬුවම පැනවෙන්නේ අතිශය තර්කානුකූල තත්වයක් මත ය. දස්කොන් ද ප්‍රමිලා බිසව වෙනුවෙන් අඹන බලි රූපයේ කලවයේ උපන් ලපයක් සලකුණු කළ සිය මරණය කැඳවා ගන්නා බොළඳ පෙම්වතකුගේ ඉතිහාසයෙන් මිදී මානුෂීය ගුණාංග සපිරි, ප්‍රේමවන්තයකු හා විවෘත, පුළුල් අදහස් ඇති කවියකු ලෙස ගොඩනංවා තිබේ. ප්‍රේමය, රාගය, මිත්‍රත්වය, ද්‍රෝහිත්වය, කුමන්ත්‍රණ ආදියෙන් සපිරි සෙල්ලම් නිරිඳු ඇත්තෙන් ම අති විශිෂ්ට නාට්‍යමය කතා ගොඩනැංවීමකි.

සෙල්ලම් නිරිඳු වේදිකාවට පිවිසෙන්නේ ජාතිවාදී රැල්ලක් විසින් සිංහල සිනමාව ආක්‍රමණය කර, ඒ ඔස්සේ ජාතිවාදී වෙළඳපොළක අලෙවි වන ව්‍යාජ ඉතිහාස කතිකාවක් නිර්මානය කරමින් තිබෙන වකවානුවක වීම සුවිශේෂ ය.මනෝරත්න අතීතය තුළින් වර්තමාන වෙළඳපොළක් නො සොයා සදාතනික මිනිස් ධර්මත‍ා සොයා යයි.

එය සිංහල අප ප්‍රිය කරන නැටුම්, ගැයුම්, වැයුම් සපිරි, වර්ණයෙන් අලංකෘත නාඩගම්, නූර්ති සම්ප්‍රදාය ඔස්සේ සම්ප්‍රදායික සීමා අතික්‍රමණය කළ මනහර නාට්‍ය නිර්මානයකි. සුමිත්‍රා බිසවගේ හෙවත් ප්‍රමිලාගේ චරිතය රඟපාන මාධනී මල්වත්ත විශිෂ්ට රංගනයක යෙදෙයි. වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු ලෙස රඟන නලින් ප්‍රදීප් උඩවෙලගේ හඬ උත්පාදනයේ කෑගැසීම් ස්වරූපයක් ඇතැයි මට සිතේ. ජයලත් මනෝරත්න අපට සිටින අති වි‍ශිෂ්ට නළුවෙකි. ගැස්කොයින් හෙවත් දස්කොන් චරිතය රඟපෑමට ගැයුමෙහි රැඟුමෙහි සුපසන් ජයලත් මනෝරත්නයන් වෙනුවට වෙනත් ආදේශකයක් සොයා ගැනීම පහසු වන්නේ නැත. එහෙත්, මනෝ‍ට වඩා තුරුණු නළුවකු මෙම චරිතය වෙනුවෙන් නිර්මානය කර ගත යුතුව ඇති බව මම සිතමි. ජානක ෆොන්සේකාගේ සංගීතය, සුවිනීතා පෙරේරාගේ රංග වස්ත්‍ර නිර්මාණය, උපාලි හේරත්ගේ රංග භූමි අලංකරණය හා රවිබන්දු විද්‍යාපතිගේ නර්තන වින්‍යාසය නාට්‍යයේ සාර්ථකත්වයට ඉවහල් වී තිබේ.

සුන්දර සන්ධ්‍යාවක් අපට තිලිණ කළ ඔබ සැමට අපේ ආදරය!

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

14 comments:

  1. පැරා හොඳයි කිව්වා කියන්නේ ආයේ අහන්න දෙයක් නැහැ ...

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ මානසික රෝගී තත්වය කොහොමද?

      Delete
    2. මට නම් දැන් සුවයි ..ඔබට කොහොමද :)

      Delete
  2. යකෝ පැරා දන්න දේවල්. උඹ මේ බ්ලොග් පඩංගු ලිය ලියා ඉන්නෙ නැතුව දැන්වත් සරසවිය පත්තරේට ජොයින් වෙයන්. එහෙම ගියොත් මට නම් ශුවර් උඹ මැරෙන්න දවසක් තියා හරි සිළුමිණ පත්තරේ කතෘ කමටත් තට්ටු කරයි කියලා. කාටද ආඩම්බර!

    ReplyDelete
  3. දස්කොන් නමින් වේදිකා නාට්‍යක් අද (දෙසැ 10) ලයනල් වෙන්ට්ඩ් එකේ පෙන්නනවා.

    ReplyDelete
    Replies
    1. LIONEL WENDT NATHIWENNAI YANNE HALO

      Delete
  4. Hope you have read Mohan Raj Madawala's recent novel "Lovina".

    Interesting coincidence that after decades in obscurity at the same time two significant work created on this story.

    Would have been nice to see the play first and read the book later.

    ReplyDelete
  5. නො එසේව, ඒ සංවාදයට අදාළ වන ආකාරයේ ජාතීන් එදා තිබුණේ නැත. ලංකාව අද ජාතිය යයි හඳුන්වන දේශපාලන ප්‍රජාව හඳුනා ගන්නේ විසිවන සියවසේදී පමණ ය. //

    මේ කතාවේ තේරුම මොකක්ද?ජාතිය යන සංකල්පය මෑතක බිහිවූ බව ඔබ කියන්නේ කෙසේද?භාෂාව හා සංස්කෘතිය මගින් බැඳුන දේශපාලන ප්‍රජාවන් ඈත අතීතයේ සිට තිබුනි.ජාතිය යන වචනය නම් ඇතැම් ප්‍රදේශ වල භවිතා වුනේ කුලයටය.මන්ද සිංහලයා හැර වෙන ජනකොටස් මෙරට නොසිටි බැවිනි.ඒ අනුව රට සිංහලයයි.මුස්ලිම් හා දෙමළ සංක්‍රමණිකයන් සිටියහ .ඒ නිසාසිංහල රටේ ඊලඟ ප්‍රධාන කණ්ඩායම වුනේ කුලයයි.

    දෙමළ ජනතාවගේ අතීතය ලන්දේසීන්ගේ කාලයට එහා නොයයි.අනුරාධපුර පොලොන්නරු යුගවල දිවයිනට ආ දෙමළුන් සිංහලයන් හා මිශ්‍රව ස්වීකරනය විය,උතුරේ දෙමළ ජනයාට එසේ වීමට නොහැකිවුනේ සිංහලය විදීශීය ආක්‍රමණිකයන් විසින් යටත් කර සිටි බැවිණි.

    ReplyDelete
    Replies
    1. කියවන්න http://demalageprashnaya.wordpress.com/. ඔබේ ප්‍රශ්න බොහොමයකට මෙහි පිලිතුරු දී සහ දෙමින් තිබෙනවා.

      - Dimithri

      Delete
    2. ඉතාම පරස්පර කරුණු ඇතුලත් බ්ලොග් අඩවියකි.එහි ඇති දේ වලට එරෙහිව පොතක් වුනත් ලිවිය හැක.එම ලිපි ලියන අය ගේ තර්ක වලින්ම ඔවුන් ඉදිරිපත් කරන්නට යන අදහස බිදවැටේ.මම ජාතිවාදයට කිසිසේත්ම කැමති අයෙක් නොවේ.1983 සිද්ධීන් මම හෙළා දකිමි.එහෙත් දෙමළ පාර්ශ්වයෙන් සිදුවු දේ එසේ හෙළා දකින්නෙක් නැත.ඒක පාර්ශ්වික පීඩනය ගෝලීය ලෝකයේ සුළුජන කොටසක් වන සිංහලයන් ට එරෙහි වූවකි.අනික් අතට මේ රටේ දෙමළ ජනතාවට වසර දෙසීයකට එහී යන ඉතිහාසයක් නැත.ඔවුන්ට මානව හිමිකම් ඇත.ඔය කියන පීඩාවන්ට ලක් වන්නේ බහුතරය සිංහලයන්ය.කලාතුරකින් දෙමළ ජාතිකයකු සිංහලයන් බහුතරය වන තැන් වල හිංසාවට ලක් වනවා විය හැක.එහෙත් බහුතරය සිදුවන්නේ අනෙක් පැත්තය.මෙය කරුණු අධ්‍යනයෙන් පසු කරන ප්‍රකාශයකි.

      Delete
    3. එහි සෑම ලිපියකටම ඉතා දීර්ඝ අදහස් පළ කිරීම් අවශ්‍යය.එහෙත් ඉතා කෙටි යෙන් කියනවානම් අප කතා කරන්නේ උතුරේ හා නැගෙනහිරේ දෙමළ නිජබිම් කතාව ගැනය.එම ජනයාට වසාර දෙසීයකට එහා යන ඉතිහාසයක් නැත.සිංහලයන් මේ දිවයින තුල ස්වාධීනව පරිණාමය වුන ජනකොටසකි.එය සිදුවුනේ දුටුගැමුණු යුගයේය.එහෙත් මුළු දිවයිනම සිංහල නොවීය.ද්‍රවිඩයන්,බෙන්ගාලියන් හා ස්වදේශීය ගෝත්‍ර එක්වී සංස්කෘතිකමය ලෙස සිංහල ජාතිය නිර්මාණය විය.දුටුගැමුණු යුගයේද මේ ස්වීකරනය දක්නට ලැබේ.වර්තමාන අර්බුදය මේ ස්වීකරනය සිදු නොවීමයි.ඉදිරියේදී මෙවනි කරුණු මගේ බ්ලොග් එකේ පෙන්වා දෙමි.

      Delete
  6. බ්ලොග් ලෝකයට විචාර කලාව පැමිනේ.බ්ලොග් විචාර නමින් බ්ලොග් අඩවියක්

    http://blogvichara.blogspot.com/

    ReplyDelete
    Replies
    1. එහි මෙලෝ විචාරයක් නැත. කොපි පේස්ට් ගහනවාට වඩා මොකුත් නො ලියා ඉන්න එකත් නරක නැත.

      Delete
  7. "නාට්‍යකරුවා අපට ඒ ප්‍රේම කතාව දෙස අගතියෙන් තොරව, මධ්‍යස්ථව හිඳ බැලීමට කරන පහසුකම් සැලසීම හරහා ඔහු බ්‍රෙෂ්ට්ගේ දුරස්ථකරණ සංකල්පය අලුත් යමක් නොව සිංහල ජන නාට්‍ය කලාවේ පැරණි ලක්ෂණයක් බව පෙන්වා දෙයි" මට නම් හිතෙන්නේ මෙන්න මෙය තමයි කලාවෙන් අප කැදවා ගෙන යායුතු ප්‍රඥාව. පැරා මනෝ ගේ නාට්‍යෙයේ එම ගුණය මූලික කරගෙන අනෙකුත් කරුණු විස්තර කලා නම් මම තවත් සතුටු වෙනවා.....

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.