2014-12-27

උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා අපූරු ස්වයං ලිඛිත චරිතාපදාන නවකතාවකි

උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා හොඳ ස්වයං ලිඛිත චරිතාපදාන නවකතාවක් යයි සිතමි. එය යුගයක හරස්කඩක් රළු ලෙස සටහන් කරන්නකි. ඒ යුගය වනාහි හැටේ දශකයේ අගභාගයේ සිට වර්තමාන කාලය දක්වා විහිදෙන, රටේ ආර්ථිකය විවෘත වීම හරහා දැවැන්ත සමාජ විපර්යාසයකට ලක් වූ යුගයකි.

උපුල් ස්පර්ශ කරන්නේ මේ යුගය තුළ මිනිස් සම්බන්ධකම්වල ඇති වූ පරිණාමයයි. එය ගැමි අශිෂ්ටත්වයේ සිට නාගරික පරමාදර්ශයන් වෙත සිදු වන චලනයකි. දිළිඳුකමේ පතුලේ එරෙමින් සිටි ගැමි පවුලක් සංවර්ධනය ඔස්සේ ශිෂ්ටත්වය හා අශිෂ්ටත්වය අතර අඛන්ඩ අරගලයක් සමග පරිණාමය වන අයුරු ඔහු කදිමට සිත්තම් කරයි.

සීමිත සම්පත් ප්‍රමාණයක් මැද අසීමිත කටුක, දිළිඳු දිවියක් ගෙවන මිනිස්සු එක පැත්තකින් නගරයට සිය නිෂ්පාදනය අලෙවි කිරීමෙන් ජීවනෝපාය සරි කර ගනිමින් සංවර්ධනය වන්නට දැවැන්ත අරගලයක යෙදෙති. එහෙත්, අර්තාපල්වලට වැළ‍ඳෙන අංගමාරය සේ ඔවුන්ගේ ජීවිත ද නිරතුරුව ම අනපේක්ෂිත විනාශයන්ගෙන් පීඩාවට පත් වේ. අසංස්කෘතික ජීවිතය හා එහි අංග වන කසිප්පු, පවුල් ආරාවුල්, ව්‍යභිචාරය හා ප්‍රචණ්ඩත්වය මැද ‍විමුක්තිය නිර්මානය වන්නේ අධ්‍යාපනය හා ගමින් පළා යාම තුළ ය.

ගමින් පළා යන බඩපිස්සා වැනි මිනිස්සු ආර්ථිකව ආඪ්‍ය වන මුත් ඔවුහු නගරයේ අතරමං වෙති. දමා ආ ගැමි ජීවිතය ගැන කාංසාවකින් හා නාගරික ජීවිතයට පූර්ණව හැඩගැසීමේ අසාර්ථකත්වයෙන් ඔවුහු පීඩා විඳිති. කුමක්දෝ විස්තර කළ නො හැකි හිස්කමක් ඔවුන්ගේ ජීවිතය වෙළා ගෙන තිබේ. උපුල් ශාන්ත සන්නස්ගල එය හඳුන්වන්නේ තමන් සෙවීමක් ලෙස ය.

මම මා සොයමි යන්න එක්තරා ජනප්‍රිය බොරුවකි. තමන්ට තමන් තේරුම් ගත නො හැකි ය යන්න ඇත්තක් මෙන් ම බොරුවකි. ලොකු ගැඹුරක් ඇතැයි ‍එක් වර ම පෙනෙන, එහෙත්, ඒ කියන තරම් ගැඹුරක් නැති ජනප්‍රිය, සුන්දර, ව්‍යාජ ප්‍රකාශයකි.

අම්මා නවකතාවේ කථකයා ද ඔය කියන තමන් සෙවීමක් කරන්නේ නැත. ඔහු කරන්නේ මුදල් සොයා යාමයි. නාගරික පාරිභෝජනවාදී, සංස්කෘතික ජීවිතය සොයා යාමයි. ඔහු කිසිදු විකල්ප ජීවිතයක් පරමාදර්ශයට නගන්නෙක් නො වේ. ඔහු ඉතා ගතානුගතික ලෙස ගමෙන් නගරයට සංක්‍රමණය වී නාගරික සංස්කෘතිය සතුටින් වැළඳගෙන, එහි උන්නතිකාමී බහුභාණ්ඩික පාරිභෝජනවාදී ජීවිතයේ රසයෙන් උද්දාමයට පත් වී සිටින්නෙකි. ඔහු කෑම කන හෝටල්, බොන ඉහළ පෙළේ මත්පැන්, යන එන වාහනය, ඉන්නා ගෙය, යන එන රටවල් ආදිය ගැන කතා කරන්නේ අභිරුචියෙනි. සිංහල විෂය දැනුම විකුණන අධ්‍යාපන ව්‍යාපාරිකයකු වන ඔහු ඔහුගේ දරුවන් හදන්නේ ඔවුන් සිංහලෙන් කිසිවක් නො කියවන ජීවිතයකට ය. ඔහුට ඒ ගැන පශ්චාත්තාපයක් ඇති බවක් නො පෙනේ. ඇත්තෙන් ම පශ්චාත්තාප වන්නට කිසිවක් එහි නැත.

ඔහුගේ එක ම පශ්චාත්තාපය ඔහුගේ ජන්ම උරුමය ගැන ඔහුගේ තිබෙන හීනමානයයි. මෙය වනාහි දිළිඳු, අසංස්කෘතික ජීවිත ගත කළ මිනිසුන් ධනවත්, සංස්කෘතික ජීවිත කරා පරිණාමය වන අවධිය තුළ එක් පරම්පරාවක‍ට ගෙවන්නට සිදු වන මිළක් වැනි දෙයක් පමණි. එය එක්තරා අසමතුලිත අවධියකි. අලුතින් අත් පත් කර ගත් ජීවිතය  හා ජන්ම උරුමය තුලනය කර ගන්නට අසමත් වීමෙන් ඇති වූ දුකකි. එක්තරා සංස්කෘතික ගැටුමකි.
මෙම වකවානුව තුළ ලාංකීය සමාජය විනිවිද ගිය දරුණු අර්බුදයක් වන ජාතික ප්‍රශ්නය උපුල්ගේ නවකතාව තුළ ස්පර්ශ නො වන්නේ ඇයි ද යන්න බරපතල ගැටලුවකි. දෙමළ, සිංහල මිනිසුන් සමෝසමේ එකට ජීවත් වන ගමකට ජාතික ප්‍රශ්නය දැනෙන්නේ නැත්තේ ඇයි? එහි කිසිදු සිංහල තරුණයකු යුද්ධයට නො යන්නේ ඇයි? ගමේ සිදු වන සංවර්ධනයට දායක වන කිසිදු හමුදා සාමාජිකයකු ගැන සඳහන් නො වීම පුදුමයක් නො‍ වේද? එසේ සිදු වන්නේ දියතලාව හමුදා කඳවුර අසල ම ය.

එසේම, දිළිඳු සමාජයන්හි සාමාන්‍යයෙන් සිදු වන පරිදි කිසිදු ගැහැනියක මැද පෙරදිග ගෘහ ‍සේවයට නො යන්නේ ඇයි? යහළබැද්ද රටේ සිදු වන සංවර්ධනයේ සුළඟවත් නො වදින, ජීවිත වෙනසකට එක ම මග ගමෙන් පළා යාම පමණක් වන සුවිශේෂ හුදකලා කො දෙව්වක් වීම තේරුම් ගත නො හැකි තත්වයකි.

ඒ ගමේ දිළින්දන් පීඩනයට පත් වන්නේ නූගත්කම හා දුරාචාරය නිසා පමණක් ද? ඔවුන්ගේ කාලකන්නිකමට හේතු වන සෙසු සමාජ ආර්ථික සාධක අම්මා නවකතාවෙන් විග්‍රහ වන්නේ නැත. උඩරට ගැමි‍ ගොවීන්ගේ ඉඩම් ප්‍රශ්නය ඔවුන්ගේ කාලකන්නිකමේ එක් මූලික හේතුවක් නො වේ ද? අනෙක් පැත්තෙන් නගරයේ වෙළඳුන්ගෙන් හා ගමේ ණය දෙන්නන්ගේ අතින් ඔවුන් සූරාකෑමට ලක් වන්නේ නැද්ද?

අම්මා නවකතාවේ කේන්ද්‍රීය පවුලේ දරිද්‍රතාවට හේතු වන කරුණු බඩපිස්සාට නො තේරේ. ඔහු ධනවතකු වූ පසුවත් හේ සිය හිතවත් ඥාතීන්ගෙන් විමසන්නේ සෙසු ඥාතීන් ධනවත් වන්නටත් තමන් දුප්පත් වන්නටත් හේතුව කුමක් ද කියා ය. එයට හේතුව ඔහුගේ පියාගේ නූගත්කම හා නො මනා ගතිගුණ පමණක් ද?

කතාවේ වීරයා වන බඩපිස්සා විමුක්තිය වෙනුවෙන් දැවැන්ත අරගලයක් කරන්නෙකි. එහෙත් එය බොහෝ දුරට හුදකලා වූ විමුක්තියකි. ඔහුගේ දිළිඳු පවුල වෙත සිදු වන්නේ ඒ දියුණුවේ යම් කාන්දුවක් පමණි. එහෙත්, ඒ සහෝදර සහෝදරියන්ගේ පවුල්වලත් ඊළඟ පරම්පරාවල වැඩි අධ්‍යාපනයක් හා සංවර්ධනයක් දක්නට ලැබේ.

මේ සියල්ල මැද්දෙන් උපුල් මේ පවුලේ සාමාජික, සාමාජිකාවන් අතර අන්තර් සම්බන්ධතා ඉතා  විචිත්‍ර ලෙස නිරූපණය කරයි.  එකිනෙකා අතර ගැටුම් හා ආදරය, සෙනෙහස ඔහු චිත්‍රණය කරන්නේ අම්මා කේන්ද්‍රීය චරිතය කර ගනිමිනි. ඔහුගේ නවකතාව අපූරු ආකෘතියකින් යුක්තය. එහෙයින් එය කෙනෙකුට නවකතාවක් නො වන ප්‍රබන්ධ නො වන සාහිත්‍ය කෘතියක් ලෙස ද අර්ථකථනය කරන්නට පුළුවන. එහෙත්, මම නම් එය නවකතාවක් ලෙස දකින්නට කැමැත්තෙමි.

අම්මාගේ ආදරයේ තරම හා එයට කෘතගුණ දක්වන්නට අසමත් වී‍මේ පශ්චාත්තාපය ප්‍රකාශ කරන වියමනක් ලෙස නවකතාව ගොඩනැගෙන්නේ එයට ම අනන්‍ය වූ ආකෘතියක් උරුම කර ගනිමිනි. එහෙත්, එය නිශ්චිත මුලක්, මැදක් හා අගක් සහිත කතාන්දරයක් ලෙස ගො‍ඩනැගේ. කර්තෘගේ නිරන්තර මැදිහත් වීම එම ආකෘතියේ මූලික ලක්ෂණයකි. එහෙත් එය පාඨකයාට වධයක් වන මැදිහත් වීමක් නො වේ.

අම්මා නවකතාව කතා ගොන්නකි. එහි එන කතා අතරින් පීටර්ලෑ චන්දරේගේ කතාව මගේ සිත පැහැර ගත්තේ ය. එහි චන්දරේ පහේ ශිෂ්‍යත්වයේ දෙවන විභාගයට පෙනී සිටින්නට කලින් දිනයේ බඩගින්නට ‍තම්බා කන්නට කොස් ගෙඩියක් කඩන්නට නැග්ග ගසින් වැටී සදාකාලික අබ්බාගාතයකු වී ජීවිතය කාලකන්නි කර ගනියි. එය උපන් ගෙයි අබ්බාගාතයකු වූ බඩපිස්සාගේ දියුණුවේ කතාවත් සමග සමෝධන කරමින් උපුල් කදිම වියමනක් නිර්මානය කරයි. පවුලේ සිටින අශිෂ්ට ම සාමාජිකයා වන කිත්සිරි නම් වසවර්ති අයියාට ලොකු අයියා හා හිච්චි අයියා ලවා පහර දී අත පය කඩා දමමින් කථකයා අසීමිත සතුටක් ලබයි. එසේම සරසවි සිසුවකු ලෙස ගමට පැමිණ අයියලා බලමුළු ගන්වා හීරළු ලොකු තාත්තාගේ පවුලේ අයට එල්ල කරන ප්‍රහාරය ද කැපී පෙනෙන සිද්ධියකි.

පසු කලක නගරයේ සිට ගමට එන අතරතුර ඔහුගේ රියට ගොඩ වන ජුණ්ඩේට කථකයා පහර දෙන්නේ අතීත සිද්ධියකට වාඩුව ගැනීම සඳහා ය. එය නගරයට ගොස් ඔහු විසින් අත් පත් කර ගන්නා ලද සංස්කෘතික ශිෂ්ටත්වයේ ‍දිග පළල හා උපන් ගෙයි අශිෂ්ටත්වය අතර ගැටුම කදිමට නිරූපණය කරන අවස්ථාවකි. ඔහු බොන්නේ ලොව ඉහළ ම පෙළේ මත්පැන් ය. එයින් වෙරි වන ඔහු අතීතයේ දිනෙක තමන් පාසල් යන කාලයේ අත් ට්‍රැක්ටරයෙන් බිමට ඇද දමා කරන පහර දීමට වාඩුව ගැනීම සඳහා ජුණ්ඩේට පහර දෙන්නේ කසිකබල් දෙමළ චිත්‍රපටයක චරිතයක් මෙනි. මේ කතාවේ මුඛ්‍ය තේමාව ද මෙම ගැටුමයි. එනම් ගැමි අශිෂ්ටත්වය හා නාගරික ශිෂ්ටත්වයේ පරමාදර්ශ අතර ගැටුමයි.

අම්මා නවකතාවේ චරිත විවරණයේ ඇති අව්‍යාජත්වය එහි ඇති සුවිශේෂ ම ලක්ෂණයයි. එය ස්වයං ලිඛිත චරිතාපදාන නවකතාවක් වීම නිසා උපුල් මුහුණ දෙන්නේ දැවැන්ත අභියෝගයකට ය. එහෙත්, ඔහු සිය කොළඹ ජීවිතය සමාන අව්‍යාජත්වයකින් විවරණය කරනවා වෙනුවට එය කිසියම් වීර චරිතතයක් ලෙස ප්‍රබන්ධ කරනු පෙනේ. එහෙත්, ඔහුට සමාව දිය හැකි ය. කොළඹ ජීවිතය වෙනත් කතාවක ලියන බව ඔහු පවසයි. රොමැන්තීකරණය කර තිබෙන බාල වියේ දුකට සාපේක්ෂව කොළඹ ජීවිතයේ ව්‍යාජත්වය ද අව්‍යාජව ලියන්නට ඔහු සමත් වනු ඇතැයි පතමි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

18 comments:

  1. පොත ගැන කතා මිස පොත තවම කියවා නැත.

    මෙහි එන හීරලු මහප්පා සහ තාත්තා අර ගිරා පැටව් දෙන්නාට සමාන කළ හැකිද?

    ReplyDelete
    Replies
    1. අයියෝ මොකද්ද කකා !!!

      ඒක නෙමෙයි පැරා .. පොතේ ප්‍රකාශකයෝ , මිල වගේ ඒවත් පොඩ්ඩක් සඳහන් කරන්නකෝ.

      Delete
    2. @ මහසොහොන් පිල්ලිය

      මෙල්බර්න් වලද ඉන්නෙ?

      Delete
    3. දැන් සතියකට විතර කලින් උසස් අධ්‍යාපනය හදාරන සිසුන්ට පහර දී සාමාන්‍ය ජනයාටද තර්ජනය කෙරු පොලිස් ලොක්කා ප්‍රේමලාල් රණගලනේ. මම දැක්කා කකාත් ඒ සිසුන්ට පහර දීම ගැන පොස්ට් එකක් දාලා තිබුනා.

      ඔය ප්‍රේමලාල් රණගල කියන පොලිස් ලොක්කගේ පුතා, Pradhan Ranagala එයාගේ ෆේස්බුක් එකේ පොස්ට් එකක් දාලා තිබුනා. එකේ තිබුනේ ප්‍රේමලාල් රණගල පොලිස් ලොක්කා සිසුන්ට පහර දෙන අයුරු දැක්වෙන ජායාරුපයක් එකට යටින් කියනවා ‘මහරජා වෙනුවෙන් ඕනෑම අසික්ශිත වැඩක් කිරීමට සූදානම් මෙවන් පොලිස් නිලධාරීන් ගැන ලැජ්ජාවටත් කම්පාවටත් පත් වෙමි!’ කියලා.

      මේ තියෙන්නේ ඒක.

      Delete
  2. මේක කොහොමද ජනාධිපතිවරණෙට සම්බන්ද වෙන්නෙ?

    ReplyDelete
  3. උ ශා ස යා කොහොමටත් ස්වයංවින්දනය ගැන පොරසිද්දයි.

    ReplyDelete
  4. මේක ජනාධිපතිවරණයට සම්බන්ධ වෙන්නෙ මෙහෙමයි.
    ජනාධිපතිවරණය දේශපාලනයට සම්බන්ධයි.
    දේශපාලනය අපේ ජීවිතයට සම්බන්ධයි.
    සාහිත්‍යයත් ජීවිතයට සම්බන්ධයි.
    නවකතාව සාහිත්‍යයේ කොටසක්.
    ඒ නිසා නවකතාවක් ගැන කියන මේ ලිපියත් ‍ජනාධිපතිවරණයට සම්බන්ධයි.

    තේරුණා ද?

    ReplyDelete
    Replies
    1. දේශපාලනය මිනිසාටය
      මිනිසා කන්නේ බත් සහ පොල් සම්බෝලය
      පොල් සම්බෝල සෑදීමට පොල් ඕන වේ
      පොල් හැදෙන්නේ පොල් ගස් වලය
      පොල් ගස් යට ලංකාවේ චන්ද දායකයන් දිගේලි කර ඇත
      උංගේ ඇඟේ මැක්කෝ සිටිති

      එම නිසා මැක්කා ලංකාවේ දේශපාලනයට සම්බන්ද වේ
      දේශපාලනයට සම්බන්ද මැක්කා එම නිසා ජනාධිපති වරණයටත් සම්බන්ධයි

      තේරුනාද ගොං රැලට ??

      Delete
  5. 1. පැරායියා දැන් මේකේ කථා කරන්නෙ නවකථාව ගැනද, කථකයා ගැනද?

    2. සමාජවාදය දේශනා කරන පැරායියාත් අද ගෙවන්නෙ පාරිභෝජනවාදී ජීවිතයක් නෙවෙයිද? පැරයියා වැඩට යන්නේ ඇල්ටෝ එකෙන්ද, බර කරත්තෙන්ද?

    3. පැරායියා හරියට කතාව කියවලා නෑ වගේ නේද? කතාවට පසුබිම් වෙන්නෙ හැට හා හැත්තෑව දශක වගේත් තේරිලා නෑ වගෙයි නේද? ගමේ තරුණයො හමුදාවට බැඳෙන්න යන්නෙ නැත්තෙ ඇයි කාන්තාවො මැද පෙරදිග යන්නෙ නැත්තෙ ඇයි වගේ ප්‍රශ්න අහන්නෙ ඒ හන්දා නේද?

    4. උපුල් ශාන්ත සන්නස්ගල කන බොන දේවල් පැරායියා කන්නෙ බොන්නෙම නැද්ද?

    5. පුළුවන්කම තිබුණා නම් පැරායියාත් ළමයි ඉන්ටර්නැෂනල් ස්කූල් වලට යවන්නේ නැද්ද?

    6. පැරායියා නඟන හීන මාන චෝදනා වලට උපුල් පිළිතුරු දීලා තියෙනවා නේද පොතෙම 'අප දිළිඳු වූයේ මුදලින් පමණක් නොවේ, අපි චින්තනයෙන්ද දිළිඳු වූයෙමු' කියලා?

    7. පැරායියාට තමන්ගේ පැරණි ජීවිතය ගැන හීනමානයක් ඇත්තේම නැද්ද?

    ReplyDelete
    Replies
    1. පොතක් ගැන රසවින්දනයක් ලිව්වා ම මේ වගේ ප්‍රශ්න අහන්නේ ඇයි? රස විඳින එක වැරදි ද?

      Delete
    2. තුන්වන ප්‍රශ්නයට අදාළව පමණක් පිළිතුරක් දෙන්නම්. මා මේ පොත හරි හැටි කියවා නැති යයි කියන ඔබ කියන්නේ මෙය හැට හැත්තෑව දශක පමණක් පසුබිම් කරගෙන ලියැවී ඇති බවකි. මෙහි අසූනමය කැරැලි වකවානුව යයි අනුමාන කළ හැකි අවධියක් ගැන සඳහන් වේ. කථකයාව පැහැරගෙන යන්නට කුමන්ත්‍රණයක් සිදු වන්නේ ඒ කාලයේ ය. අනෙක් පැත්තෙන් වත්මන හා සම්බන්ධ ඕනෑ තරම් සඳහන් කිරීම් මෙහි තිබේ.

      ඔබට තිබෙන ගැටලුව ඔබ යමක් කියවන්නේ එය තේරුම් ගන්නට නොව පිළිතුරු දෙන්නට වීමයි. ඔබ ගැන කණගාටුයි.

      Delete
    3. කවුරුන් හෝ පැරායියාගේ සරම කඩා නිරුවත් කළාම දෙන සාමාන්‍ය උත්තරය පැරායියා දී තිබේ.

      අවසාන නිගමනය.

      1. පැරායියාට උපුල් ශාන්ත සන්නස්ගල ප්‍රශ්න කිරීමට හැකිය. මන්ද උපුල් ශාන්ත සන්නස්ගල සාමාන්‍ය පුද්ගලයෙක් නිසාය.

      2. කිසිවකුට පැරයියා ප්‍රශ්න කිරීමට නොහැකිය. මන්ද පැරායියා නාථ දෙවියන් බඳු සම්‍යක් දෘෂ්ටික චරිතයක් නිසාය. හීන මානය තියෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ටය. පැරායියලා වැනි සුවිශේෂී චරිත හීන මානය කියන වචනයේ තේරුම දන්නේත් නැත.

      Delete
    4. කතාව ඇත්ත මුත් මේ ලෙසින් පැරාව පොළවේ ගැසීම අනුමත නොකරමි.

      Delete
  6. අම්මා.................. නාට්‍යයකුත් තියෙනවා නොවැ.............

    ReplyDelete
    Replies
    1. මාර්කට් නැති අම්මෙක් හිමි පුතෙක්.December 28, 2014 at 4:04 PM

      රූබල් අම්මා , රුපියල් අම්මා සහ අම්මා.
      --------------------------------------------------
      සන්නස්ලගේ අම්මා (2014)-
      සන්නස්ලගේ "අම්ම"ට වඩා දුක්විදපු ,කැපකීරීම් කරපු කෝටී ගානක් අම්මලා ලෝකයේ ඉන්නවා .තම ආත්මය පාවා දි තමන්ගේ පමනක් නොව අනුන්ගේ දරුවන්ගේද බඩකට පිර වු අම්මලා අප දැකඇත.ඒ සියලු මව්වරුන්ට අපි ගරු කරන්නෙමු.
      එහෙත් ,තමා සහ තම මෑනියනගේ ඉතිහාසයට ආලවට්ටං දමා අතිශෝක්තියෙන් අකුරු කර, පොත් අච්චුගසා අම්මා විකුනං කාපු කාලකන්නී ලෝකයේ ඇත්තේ ටික දෙනකි. (කුටුම්භ සම්බන්දතා විකුනං කාපු වැඩිහිටියන් නම් ඉතා ඉහලයි.)

      ගොර්කී ගේ "අම්මා" .(1906)-
      මක්සිම් ගොර්කී ගේ රුසියානු ප්‍රබන්දයක් වන "අම්මා" කෘතිය දේශපාලන උත්තේජකයකී.එයින් ලොකයේ සිදු වු සමාජ ප්‍රගමනයන් විශාලය. ගොර්කි තම "අම්මා" කෘතිය විකුනා එම රුබල් වලින් ඉස්සෝ දැල්ලෝ එක්ක වොඩ්කා බීබී මීඩියා වල සෝබන දැම්මේ නැත.

      Delete
  7. උ ශා සන්නස්ගලගේ අම්මා කාලීන සාහිත්‍ය කෘතියක් ලෙස අගය කරමී. මෙම කෘතිය දොරට වැඩියේ 2017 උ /පෙ ටියුෂන් ආරම්භයට සමගාමීවය. සනා කොහොමත් දක්ෂ උපකාරක අධ්‍යාපන වෙළෙන්දෙක්නේ. සුභ පැතුම්

    ReplyDelete
  8. මේ පොත ගැන කියවූ විචාර අතරින් බොහෝ සමබර විචාරයක් ලෙස දකිමි.

    ReplyDelete
  9. Upul shantha sannasgala kiyana wachala deshakayata wada,ohu thula inna lekakaya 100%kma hondai.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.