2015-02-06

අධ්‍යාපනය මිලිටරිහරණය මූලික අවශ්‍යතාවකි

අධ්‍යාපනය මිලිටරිහරණය කිරීම අනාගත සාමය හා සහජීවනය වෙනුවෙන් අත්‍යවශ්‍ය ය.

ලංකාවේ අනාගත පරපුර තුළ ප්‍රජාතාන්ත්‍රික වටිනාකම් ගොඩනැගීම ඉතා වැදගත් ය. මෙය කළ යුතුව තිබෙන්නේ එක පැත්තකින් ප්‍රවර්ධනය කරන ලද රාජාණ්ඩු මානසිකත්වයට හා අනෙක් පැත්තෙන් එය සමග අත්වැල් බැඳගත් මිලිටරි ආඥාදායකත්වයට එරෙහිව ය.

මේ සඳහා වැදගත් පියවර කීපයක් ආණ්ඩුව පැත්තෙන් ගෙන තිබේ. එක පැත්තකින් ජනාධිපතිවරයා තමන් රජෙකු වෙනුවට නවීන නායකයකු ලෙස ප්‍රක්ෂේපණය කිරීම සඳහා වැදගත් පියවර කීපයක් ගෙන තිබේ.

අනෙක් පැත්තෙන්, රාජ්‍ය සේවය මිලිටරිහරණය සඳහා ද රජය වැදගත් පියවර කීපයක් ගත්තේ ය. ආණ්ඩුකාරයන් ලෙස කටයුතු කළ හමුදා නිලධාරීන් දෙදෙනෙකු වෙනුවට සිවිල් නිලධාරීන් පත් කරන ලදී. විදේශ සේවයේ සිටි හමුදා නිලධාරීන් ගණනාවක් ද ආපසු කැඳවා තිබේ.

අධ්‍යාපනය මිලිටරිහරණය කිරීම ‍අනාගත පරපුර වෙනුවෙන් කළ යුතු අත්‍යවශ්‍ය කාර්යයකි. ඒ සඳහා ඉවහල් වන පියවර කීපයක් ගෙන තිබේ. එකක් වන්නේ නවක සරසවි සිසුන් සඳහා හමුදාව විසින් පවත්වන ලද නායකත්ව පුහුණුව නවත්වා දැමීමයි.

එසේ ම, දවස් කීපයක පුහුණුවකින් පසු කර්නල්, මේජර් ආදී හමුදාවටත් අපහාස කරන තනතුරු ලබා ගත් විදුහල්පතිවරුන්ගේ එම තනතුරු ඉවත් කිරීමයි. හමුදා මානසිකත්වයෙන් යුත් විදුහල්පතිවරුන් විසින් අනාගත පරම්පරාවට කළ හැකි හානිය කුරුණෑගල ජෝන් කොතලාවල විද්‍යාලයේ නව යොවුන් වියේ සිසුවියක් හමුදා විදුහල්පතිවරයාගේ තාඩන, පීඩන නිසා දිවි නසා ගැනීමට පෙළඹීමෙන් පෙන්නුම් කෙරිණි.

හමුදාව අධ්‍යාපනයට අත පෙවීම කෙතරම් දුරට ගියා ද යත්, හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පාසලක් ද ආරක්ෂක සේවා විද්‍යාලය නමින් ආරම්භ කරන ලදී. අධ්‍යාපනය රජයට අයත් විෂයක් මිස හමුදාවට අයත් විෂයක් නො වේ. එහෙත්, මේ පාසල පරිපාලනය කිරීම සඳහා හමුදාවේ පාලන මණ්ඩලයක් තිබේ. එහි නායකත්වය දරණ නිශාන්ත වඩුගොඩපිටිය නමැති බි‍්‍රගේඩියර්වරයා ‘‘මෙහෙ වර මී හරකා, බූරුවා’’ වැනි 'හමුදා වදන්' භාවිතා කර විදුහල්පති විදුහල්පති ප‍්‍රමුදිත වික‍්‍රමසිංහ ඇමතීම හේතු කරගෙන මේ වන විට ප්‍රශ්නයක් පැන නැගී ඇත.

ළමුන් 2000ක් පමණ අධ්‍යාපනය ලබන මෙම විදුහලේ සේවය කරන විදුහල්පතිවරයා මෙන් ම නියෝජ්‍ය විදුහල්පතිවරුන් දෙදෙනා ද අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීහු වෙති.

මෙම පාසල පරිපාලනය කිරීම සම්පූර්ණයෙන් ම අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගත යුතු ය. එය සාමාන්‍ය පාසලක් බවට පත් කළ යුතු ය. හමුදාව සිටිය යුත්තේ එහි සංවර්ධනයට උපකාර කරන වගකීමක් තුළ පමණි.

මෙම ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය අතර සිකුරාදා පැවැත්වෙන සාකච්ඡාවේදී ගනු ලබන පියවර ඉතා වැදගත් ය. 

1860 වර්ෂයේ කොළඹ කොම්පඤ්ඤවීදියේ රයිෆල් රෙජිමේන්තුවේ මූලස්ථානය ලෙස ආරම්භ කරන ලද ගොඩනැගිල්ල පිළිසකර කර 2007දී මෙම විද්‍යාලය ආරම්භ කර තිබේ. දැනට ත්‍රිවිධ හමුදාවේ හා පොලිස් සේවයේ නියුතු වූවන්ගේ දරුවන් ජනප්‍රිය පාසැල්වලට ඇතුලත් කිරීමේදී ඇතිවන දුෂ්කරතාවන් හා අපහසුතාවයන් මග හැරවීමේ අරමුණින් මෙම පාසැල ආරම්භ කළ බව නිවේදනය කරන ලදී.

මෙම පාසල හඳුන්වනු ලබන්නේ රජයේ පාසලක් වශයෙන්ය. එසේ වුවද කොම්පඤ්ඤ වීදිය හෝ ඒ අවට කිසිදු දරුවකුට අයදුම් පත‍්‍රයක් ඉදිරිපත් කර මේ පාසලට ඇතුළත් විය නොහැකිය. පොදුවේ දරුවන්ට කෙසේ වෙතත් පොලිසියේ හෝ ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ දරුවන්ට පවා සාමාන්‍ය ආකාරයට විදුහල්පතිවරයාට අයදුම්පතක් යොමුකර මේ පාසලට ඇතුළත් විය නොහැකිය. ඊට ඇතුළත්වීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කළයුත්තේ පොලිසියේ හෝ ත‍්‍රිවිධ හමුදාවේ ඒ සඳහා පත්කර ඇති ප‍්‍රධානීන්ටය. තෝරාගන්නා ක‍්‍රමවේදය ඇතුළු කිසිවක් එම පාසලේ රජයේ විදුහල්පතිවරයා ඇතුළු රජයේ ගුරුවරුන් දන්නේ නැත. ඔවුන්ට පැවරී ඇත්තේ තෝරා එවන ළමයින්ට අධ්‍යාපනය ලබාදීමත්, අධ්‍යාපන අමාත්‍යාංශ චක‍්‍රලේඛ අනුව නොව ආරක්ෂක අංශ ප‍්‍රධානීන්ගේ නියෝග අනුව පාසල පවත්වාගෙන යෑමත් පමණය. (උපුටා ගැනීම - රාවය)

1ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීමේදී දැනටත් පංතියක ළමයින් 40න් හතක් පමණ ඇතුළත් කරන්නේ ආරක්ෂක අංශ අයදුම්පත් ඔස්සේ ය. ප්‍රධාන ජනප්‍රිය පාසල් හැර සාමාන්‍ය ජනප්‍රිය පාසල්වලවත් මෙම සංඛ්‍යාව සඳහා සම්පූර්ණයෙන් ම දරුවන් ඇතුළත් වන්නේ නැත. මෙම ප්‍රතිශතය කෙතරම් සුවිසල් එකක් ද යත්, සමස්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ම කාර්ය මණ්ඩලවලින් එක් පංතියක් සඳහා බඳවා ගන්නා සිසු සංඛ්‍යාව එකක් පමණි. ගුරුවරුන්ට හෝ විදුහල්පතිවරුන්ට කියා වෙනම කෝටාවක් ඇත්තේ ම නැත.

මෙම පාසල පිහිටුවාගෙන තිබෙන්නේ ආරක්ෂක අංශවල සාමාජිකයන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේ ගැටලුවක් ඇති නිසා නො වන බව ඉතා පැහැදිලි ය. මෙතැන තිබෙන්නේ හමුදා ලොකු ලොක්කන්ට තමන්ගේ දරුවන් රාජකීය, අානන්ද, විශාඛා වැනි පළමු පෙළ පාසල්වලට ඇතුළත් කර ගැනීමට දුෂ්කර වීම පිළිබඳ ගැටලුවයි. ඒ සඳහා ඔවුන් කර තිබෙන්නේ ආරක්ෂාව වෙනුවෙන් රජය වෙන් කරන ප්‍රතිපාදන පාවිච්චි කරමින් ආරක්ෂක හමුදා දරුවන් සඳහා වෙනම සුපිරි පාසලක් හදා ගැනීමට මුලපිරීමයි. මෙය අතිශය විෂම, බෙදුම්වාදී ක්‍රියාවකි. එය නැවැත්විය යුතු ය.

රජයේ සමානාත්මතා අධ්‍යාපන ප්‍රතිපත්තිය අනුව දැන් දරුවන් බාලක, බාලිකා ලෙසවත් වෙන් කෙරෙන්නේ නැත. එහෙම තත්වයක් තුළ දරුවන් හමුදා හා සිවිල් ලෙස වෙන් කිරීම මානව විරෝධී ක්‍රියාවකි.

මෙම පාසලේ ඉදිරි අරමුණු ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ මෙසේ දැක්වේ:
"මෙම විදුහලේ ඉදිරි අපේක්ෂාවන්

1. ආරක්ෂක සේවා විදුහල් සංකල්පය වඩාත් ක්‍රමවත් හා ස්ථාවර කරනු වස් කැබිනට් පත්‍රිකාවක් මගින් ව්‍යවස්ථා ගත කිරීම. දැනට අවසන් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක වෙත ඉදිරිපත් කර ඇත.

2. උක්ත කැබිනට් පත්‍රිකාවට අනුව, ආරක්ෂක සේවා විදුහල, ආරක්ෂක සේවා විදුහල් පද්ධතියක් වශයෙන් පළාත් මට්ටමින් ශාඛා ස්ථාපනය කර, විදුහල් පද්ධතියේ පරිපාලනය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතටද, අධ්‍යාපනයට අදාල සියලුම කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශය යටතටද පවරාලමින් ආරක්ෂක සේවා විදුහල් සංකල්පය විශේෂ ජාතික අධ්‍යාපන ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීම.

3. කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ නේවාසික හා අනෙකුත් පහසුකම් වැඩි දියුණු කරමින් ප්‍රාදේශීය ශාඛාවන්හි 5 වසර ශිෂ්‍යත්ව සහ අපොස (සා/පෙ) විභාගයන් උසස් ලෙස සමත්වන සිසු දරු දැරියන්, මෙම විද්‍යාලයට ඇතුලත් කර ගැනීම.

4. දියුණු රටවල හදුනාගත් විශ්ව විද්‍යාල සමග අනුබද්ධ වෙමින් ආරක්ෂක සේවා විද්‍යාලීය අපොස(උ/පෙ) උසස් ලෙස සමත් වන දරුවන් හට එම විශ්ව විද්‍යාලයන්හි උසස් අධ්‍යාපනය සදහා ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම."

මෙවැනි විෂමතා වර්ධනය කරන කැබිනට් පත්‍රිකා සම්මත කිරීමට ඉඩ නො දිය යුතු ය. එසේ ම, මෙම සංකල්පය ම බැහැර කළ යුතු ය. 

අප විසින් ප්‍රවර්ධනය කළ යුතුව තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් මිස හමුදාව සුවිශේෂ ලෙස සලකන මිලිටරි රාජ්‍යයක් නො වේ. 

අධ්‍යාපනය මිලිටරිහරණය සඳහා ගනු ලබන පියවරවලට සමාන්තරව අධ්‍යාපන පද්ධතිය තුළ සිසු දරුවන්ට ප්‍රජාතන්ත්‍රවාදය, පුරවැසිභාවය, ජ‍ාත්‍යන්තර සබඳතා, මානව හිමිකම් ආදිය පිළිබඳ ලබා දෙන අධ්‍යාපනය ද ශක්තිමත් කළ යුතු ය. මේ සඳහා පුරවැසි අධ්‍යාපනය විෂය නිර්දේශය ගැන විශේෂ අවධානය යොමු කළ යුතු ය. පුරවැසි අධ්‍යාපනය විෂය උගන්වන ගුරුවරුන් නැවත පුහුණු කිරීම අත්‍යවශ්‍ය ය. 

එසේම, පාසල් සංස්කෘතිය වෙනස් කිරීම සඳහා පියවර ගැනීම ද අවශ්‍ය ය. පාසල් මිලිටරිකරණයේ නො පෙනෙන පැතිකඩක් තිබේ. ඒ වනාහි ශික්ෂණය අනවශ්‍ය තරම් දැඩි ලෙස විනයගත කිරීමක් බවට පත් කර තිබීමයි. ‍මේ හේතුවෙන් පාසල්වල පවතින්නේ අතිශය මර්දනකාරී පරිසරයකි. පරපීඩාකාරී සංස්කෘතියකි. ශිෂ්‍ය ගරුත්වය හා පෞරුෂය කෙරෙහි පාසල් සංස්කෘතියෙහි ඇති අවධානය අවම ය. ආදරය පදනම් කර ගත් සංස්කෘතියක් පාසල තුළ නැවත පිහිටුවිය යුතු ව තිබේ.

ඒ සඳහා අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහිව දැඩි පියවර ගත යුතුව තිබේ. අධ්‍යාපන පෞද්ගලීකරණය කී පමණින් අපට මතක් වන්නේ ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික විශ්වවිද්‍යාල ආදියයි. එහෙත්, පවත්නා අධ්‍යාපන පරිසරයට දැඩි ලෙස බලපාන පෞද්ගලීකරණය ඇත්තේ එතැන නො වේ. එය ඇත්තේ පාසල බාධා විරහිතව අධ්‍යාපන වෙළඳපොළට විවෘත කිරීම තුළ ය. 

මෙය පිළිබඳව වෙනත් ලිපියක දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළ යුතු ය.  කෙටියෙන් කිවහොත්, මේ වන විට පාසල යනු සුවිසල් අධ්‍යාපන වෙළඳපොළක සැපයුම් මධ්‍යස්ථානයක තත්වයට පත් කර තිබේ. ජනප්‍රිය පාසල්වලට ඇති ඉල්ලුම හා උසස් අධ්‍යාපනයට ඇති සීමිත ඉඩකඩ හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දැඩි තරගකාරිත්වයක් ඇති වී තිබේ. එහෙත් එය තිබෙනවාටත් වඩා උග්‍ර තත්වයට පත් කරන්නේ අධ්‍යාපන වෙළඳපොළක් පවත්වාගෙන යන ගුරුවරු, ටියුෂන් ව්‍යාපාරිකයන්, අධ්‍යාපන ප්‍රකාශන අලෙවි කරන්නන් ආදීන් විසිනි. පසුගිය කාලයේ සිටි ප්‍රධාන අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදකයෝ මෙම ව්‍යාපාරික පැළැන්තියෙන් බිහි වූ අයයි. අධ්‍යාපනය ඔවුන්ගෙන් මුදාගෙන අධ්‍යාපන වෘත්තිකයන් අතින් මෙහෙයවෙන තැනක් බවට පත් විය යුතු ය.  

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

12 comments:

  1. අධ්‍යාපනය පමණක් මිලිටරිහරණය කොට වැඩක් වෙයි ද, කැරලි මර්දනය සඳහා හමුදාවට බලය පවරා මුළු රටම මිලිටරිකරණය කර ඇති කොට.

    https://www.colombotelegraph.com/index.php/deja-vu-srisena-issues-an-order-calling-out-armed-forces-to-exercise-police-powers/

    ReplyDelete
    Replies
    1. දැන් ආටක නාටකත් හරි නෑනෙ ඒ හින්ද මං ඉදල හිටල මේ පැත්‍තෙ එනව.

      Delete
    2. Hadisi neethiya iwath kalaata pasu maasa gananakma Rajapaksa mema nivedanaaya kalaa. Militarikaranayak unaada?
      Anthima "Satana" weda satahanedi me "call out" kiyana ingrisi wachanaye sinhala theruma waraddagena kawuda 'gobilek' ratata weradi mathayak dunnaa.

      Delete
    3. කේන්ද්‍රීය විද්යාල කියන සංකල්පය ඉන්දියාවෙ ලස්සනටම තියෙනවා. හැම ලොකු කෑම්ප එකකටම කේන්ද්‍රිය විද්යාල තියෙන්වා. ඉගනීම කියන එක සුඛොපබෝගී භාණ්ඩයක් වෙච්ච ඉන්දියාවෙ ඉතින් හමුදා දරුවනට වඩා හොද අධ්යාපනයක් ලැබෙනවා. හොදට ඉගෙනගන්න රාෂ්‍ ට්‍රීය විද්යාලවල ලමයින්ටත් අවස්තාවක් ලබා දෙනවා.

      අධ්යාපනය විතරක නොවෙයි හැමදෙයින්ම හොදම දේ හමුදාවට කියන සංකල්පය තමා ඉන්දියාව, පකිස්තානය, බංගලිදේශය, මාලදිවයින ව්ගේ අපේ අසල්වැසි රටවල්වල තියෙන්නෙ. ඒ රටවල කෝස්වලට ගියාම අපිට මොනවද ලැබෙන්නෙ සහ අපි මොන තරම උන්ට වඩා රට වෙනුවෙන් කරල තියෙනවද කියලා හිතෙනවා. same rank වල සමාජ තත්වය සහ පඩිය අහසට පොලොව වගේ.ඉතින් පැරා අය්යෙ අපි හිතනවා අපේ දරුවන්ට මේක ඩිසර්ව් කියලා.

      මම ඉන්දියන් නේවි නැවක ඉද්දි ප්ලෝටින් වෙන නැවක් දැකලා උන් බයවෙච්ච තරමත් එක්ක අපේ එවුන් සුයිසයිඩ් බෝට්ටු දැම්ම කියලා ආරංචි වෙද්දි මූදට යන්න තිබ්බ ගට ගැන ආඩම්බර වෙනවා. ඉතින් අපි උන්ට වඩා යමක්වත් ලබන්න සුදුසු නැද්ද.

      ඔයාල හොයල බලන්න අපි තමා best performed but less privileged military in the region.

      මමත් හමුදාවක නිලදාරියෙක්. එත් මගේ දරුවටත් ඩිෆෙන්ස් කොලෙජ් ලැබුනෙ නෑ. මට වඩා ලකිනු ගත්ත සාමාන්ය සෙබලුන්ගෙ දරුවන් එතන ඉන්නවා. ඉතින් බෙදීයම සාදාරණයි කියලා මට හිතෙනවා.


      Delete
  2. //අප විසින් ප්‍රවර්ධනය කළ යුතුව තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් මිස හමුදාව සුවිශේෂ ලෙස සලකන මිලිටරි රාජ්‍යයක් නො වේ. //
    ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් කියන්නේ මොකක්ද?
    මොනවද ඒකේ සීමාවන්
    හමුදාව ඉන්නේ මොකටද?
    හමුදාවට සලකන්න ඕන කොහොමද?
    හමුදාවට සලකන්න ඕන මොකටද?

    මේ සියල්ල වෙන්නේ පැරට ඕන විදිහටද, මහින්දට ඕන විදිහටද, මෛත්‍රීට ඕන විදිහටද, හමුදාපතිට ඕන විදිහටද, ජනතාවට ඕන විදිහටද,

    වෙනස් කරන්න ඕන මේ අවශ්‍යතාවය නැතිකරන එක නේද?

    ReplyDelete
  3. දැනට විපක්ෂය නියෝජනය කරන පසුගිය රජයේ අමාත්‍ය ධුර, නියෝජ්‍ය අමාත්‍ය ධුර සහ අධීක්ෂණ මන්ත්‍රී ධුර දැරූ මන්ත්‍රීවරුන්ට ඔවුන් පෙර විෂය ආවරණය කළ අමාත්‍යාංශවලින් වාහන දෙක බැගින් මුදාහරින ලෙසට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව 'අද' ට වාර්තා වෙයි.
    එහිදී, මෙම මෝටර් රථවලට අවශ්‍ය ඉන්ධන පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය හරහා සම්බන්ධීකරණය කරගන්නා ලෙස පවසා ඇති අතර, ඊට අවශ්‍ය රියදුරන් අදාළ අමාත්‍යාංශවලින්ම ලබාදෙන ලෙසද පවසා තිබේ. එම රියදුන්ට සාමාන්‍යයෙන් අමාත්‍යවරයෙකුගේ රියදුරෙකුට ලබාදෙන වැටුප, අතිකාල දීමනා හා යැපීම් දීමනා සමග ලබාදෙන බවද වාර්තා වෙයි.

    ලින්ක් එක

    අවුලක් නෑ යහපාලනේට යන්න නම් පාර්ලිමේන්තුවෙ ස්තාවර භාවය ඕනා,අනික මහින්ද බිල්ලා ඉන්නව ආයෙ ආවොත් කේස් ......

    ලෙඩා මලත් බඩ සුද්දයි.....

    - පැරා.

    මේකට කරන්න ඕනෙ මෙහෙම ඇමතිල ජනතාව පාර්ලිමේන්තු නොයව ඉඳීම.මොකද මහින්ද වගේ ජාතික ලයිස්තුවෙන් ඔක්කොම මන්ත්‍රීල පත් කරන්නෙ නෑ යහපාලන ආණ්ඩුව, මුන්ට නොමිනේෂන් දුන්නොත් විතරයි ඔන්න...දැන් අපේ පඩි වැඩි වුනා.ඉතුරු ටිකේ වගකීම ජනතාව අතේ

    -- රාජ්.


    ReplyDelete
  4. හමුදා පුහුණුව හමුදා සංස්කෘතිය වගෙ දේවල් උතුම් ලෙස සළකන පිරිසක් ඉන්නව. මේ තත්වය උග්‍ර වෙලා මේ රට හදන්න නම් ඕන හමුදා ආණ්ඩුවක් කියන අයත් නැතිවාම නොවෙයි.නමුත් මේ විනය කියන වචනෙ ඇතුලෙ තියෙන්නෙ මර්ධනය.
    පසුගිය කාලෙ පාසල් මිලිටරිහරණය කිරීමෙන් මර්ධනය ළමා කාලෙ ඉදන්ම හුරු කරන්න හැදුව.එක පාරක් ගත්ත ඉංග්‍රීසි හා කැඩෙට් දෙකටම කියල ගුරුවරු. මේ අය ඉංග්‍රීසි උගන්වනවට අමතරව කැඩෙට් කරන්නත් ඕන.මේක මහ මෝඩ වැඩක්.අන්තිමේදි මේ දෙකම කෙරෙන්නෙ නෑ.දැන් කැඩෙට් ප්ලැටූන් හදන එක නවත්තල ඉංග්‍රීසි විතරක් උගන්වනවලු.
    ඊට පස්සෙ තමා විදුහල්පතිවරුන්ට කර්නල් තනතුරු දුන්නෙ.ඒක නම් කර්නල් තනතුර හෑල්ලු කිරීමක්.

    දරුණු වධ හිංසාවන් තුලින් සිසුන් පමණක් නොව ගුරුවරුනුත් හික්මවල සවුදි පන්නයෙ රජෙක් කේන්ද්‍ර කර ගත් මිලිටරි රාජ්‍යයක් නිර්මාණය කරන එක වෙන්න ඇති අරමුණ .කීකරුකම මත පදනම් වුන මීහරක් ගාලක් හදන්න තමයි මිලිටරිකරනයක් ඕන වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. //විදුහල්පතිවරුන්ට කර්නල් තනතුරු දුන්නෙ. ඒක නම් කර්නල් තනතුර හෑල්ලු කිරීමක්.//
      ලංකාවේ ඉන්න විදුහල්පත්වරු ගේ හැටියට නම් ඇත්තක්. එත් හමුදා තනතුරක් දීම සැබෑ විදුහල්පතිවරුන්ට කරන හෑල්ලුවක් නේද?

      Delete
  5. Not defence funds , All funds are ediucation dept

    ReplyDelete
    Replies
    1. If the funds are not defend funds, it is not suitable to administrate the school on military terms by military heads.
      On the other hand, all the funds are public funds whether it is defense funds or education funds.

      Delete
  6. You should also mention about the Defense University. As far as the accusations go, during the last few years of previous regime, nearly 40% of the budget allocated for all government universities and higher education institutes were spent on Defense University.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.