2015-06-27

ඩයස්පෝරා සැණකෙළිය හා ජාතිවාදී හබන් කුකුළන්ගේ රජ මඟුල

ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීම පහසු කාර්යයක් නො වන බව අපි කවුරුත් දනිමු. එය ලංකාවේ ප්‍රශ්න අතර ඇති වැදගත් ම ප්‍රශ්නය ලෙස ද ඇතැමෙක් හඳුන්වති. ජාතීන්ගේ ප්‍රශ්නය කල් තබා විසඳා ගත්තා නම් නිදහසින් පසු ලංකාව අද වන විට තිබෙන්නේ මේ තත්වයේ නො වන බව ප්‍රත්‍යක්ෂ ය. ජාතීන් අතර ගැටුම නිසා අපි තිස් අවුරුදු යුද්ධයක පැටලුණෙමු. එයින් මෙරට ආර්ථික හා සමාජ දේහයන්ට සිදු වූ හානිය සුළුපටු එකක් නො වේ. යුද්ධය අවසන් වී දැන් පස් වසරකි. එහෙත් තවමත් එක රටක, එක ජාතියක් ලෙස ක්‍රියාත්මක වන්නට මෙරට ජනතාව සමත් වී නැත.
             
ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම කුමක් ද යන පැනයට විවිධ දේශපාලන විශ්ලේෂකයන් විසින් විවිධ පිළිතුරු සපයා තිබේ. ඒ සියලු පිළිතුරු සරළ වර්ගීකරණයකට ලක් කළ හැකි ය. එක් පිළිතුරක් වන්නේ ප්‍රමාණාත්මකව සුළුතර ජාතීන් මහ ජාතියේ ආධිපත්‍යයට යටත්ව ජීවත් විය යුතු ය යන්නයි. එහෙත් සුළුතර ජාතීන් මෙම විසඳුම පිළිගන්නට මැළි වෙති. එය ඔවුන්ගේ අභිමානයට හානිකර ලෙස සලකති. එම නිසා එම විසඳුම යල් පැන ගිය එකකි.

දෙවන විසඳුම යෝජනා වන්නේ සුළුතර ජාතීන් පැත්තෙනි. ඒ වනාහි රාජ්‍ය ප්‍රතිසංස්කරණයකි. මෙම රාජ්‍ය ප්‍රතිසංස්කරණ යෝජනාවේ එක් අන්තයක වෙනම දෙමළ ඊලාම් රාජ්‍යයක්ත පිහිටුවීම ද තිබේ. අතරමැද තැන්වල ලංකාව සහසන්ධීය රාජ්‍යයක් බවට පත් කිරීම, සන්ධීය රාජ්‍යයක් බවට පත් කිරීම, ජාතීන් අතර බලය බෙදා ගැනීම, බලය විමධ්‍යගත කිරීම ආදී විවිධ යෝජනාවලි තිබේ. ලංකාව තුළ යම් රාජ්‍ය ප්‍රතිසංස්කරණ සිදු වී තිබෙන අතර 1987 ඉන්දු ලංකා ගිවිසුම අනුව පළාත් සභා පිහිටුවීම එයින් ප්‍රධාන එකකි. පළාත් සභා ක්‍රියාත්මක වීමේ ඉතිහාසය දැන් වසර 27කි. එහෙත් මෙම වසර 27 තුළ පළාත් සභා ඔස්සේ බෙදා ගත් බලතල තම උන්නතිය සඳහා යොදා ගන්නට සුළුතර ජාතීන් පූර්ණ වශයෙන් සමත් වී නැත. යුද්ධය එයට එක් හේතුවකි. එසේ ම, කිසිදු බලය බෙදා ගැනීමක් ක්‍රියාත්මක නො වන, ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති පාලනයකට ලංකාව පසුගිය සමයේ නතු වී තිබීම ද තවත් හේතුවකි.

ඉහත කී විසඳුම් මාර්ග දෙක හැර තුන්වන විසඳුමක් ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇති බව මම මගේ ලිපි හරහා කලක සිට යෝජනා කර ඇත්තෙමි. එය දේශපාලන ප්‍රතිසංස්කරණ මෙන් ම සමාජ සංවර්ධනය සමග ද සම්බන්ධ එකකි. ඒ වනාහි, මෙම දිවයිනේ දේශ සීමා තුළ ජීවත් වන සියලු ජනයා නව දේශපාලන ප්‍රජා අනන්‍යතාවක් ගොඩනගා ගැනීමයි. මම එය ලාංකික අනන්‍යතාව ලෙස හඳුන්වන්නට කැමැත්තෙමි. ඇතැමෙක් මෙය ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැගීම ලෙස ද හඳුන්වති. ජාතිය යන වචනය ගැටලු සහගත ය. සිංහල, දෙමළ, මුස්ලිම් යනු ජාතීන් බව ඇතැමෙකුගේ තර්කයයි. තවත් අය තර්ක කරන්නේ ඒවා ජනවර්ග බව හා ජාතිය යනු වඩා පුළුල් ශ්‍රී ලාංකිකත්වය බවයි. කුමක් හෝ වේවා වඩා පුළුල් දේශපාලන ප්‍රජාවක් වෙත අප යොමු විය යුතු ය. ජනවාර්ගික හෝ ජාතික අනන්‍යතාවන්ගේ සීමාවන් ඉක්මවා ගිය නව ලාංකික දේශපාලන ප්‍රජාවක් ලෙස මෙරට ජනතාව නැවත සංවිධානය විය යුතු ය.

එවැනි නව දේශපාලන ප්‍රජාවක් තුළ ජාතික අනන්‍යතාවන් ද්විතීයක වේ. එසේ වූ කල ජාතික පදනමින් බලය බෙදා ගැනීමේ සිට වෙනම රාජ්‍යය දක්වා කතිකාවන් ද නො වැදගත් තත්වයට පත් වේ. යුද්ධයෙන් පසු අපි මෙම නව දේශපාලන ප්‍රජාවක් ගොඩනගා ගැනීමේ අවධියට පිවිස ඇත්තෙමු. සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිවාදීන් කුමන තර්ක ගෙන ආවත්, සමාජයක් ලෙස අප ගමන් කරමින් සිටින්නේ පුළුල් දේශපාලන ප්‍රජාවක් වෙතයි. ජනවාරි 08දා සිදු වූ ප්‍රජාතාන්ත්‍රික විප්ලවය මෙම ගමනේ ප්‍රධාන මං සලකුණකි. එය මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් සමගියේ වැදගත් සන්ධිස්ථානයකි. අප යා යුත්තේ එතැනින් ඉදිරියට මිස ආපස්සට නො වේ.

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමෙන් තොරව අපට නව ලාංකික දේශපාලන ප්‍රජාවක් ගොඩනගා ගත නො හැකි ය. කුමන අඩුපාඩුකම් තිබුණත් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අපි එ් සඳහා පදනමක් සැකසුවෙමු. එය ක්‍රියාත්මක වීම අවශ්‍ය ය. මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන කතිකාව ද අතිශය වැදගත් ය. එය තව දුරටත් ඉදිරියට යා යුතුව තිබේ. මධ්‍යම රජය තුළ සුළුතර ප්‍රජාවන්ට වැඩි අවස්ථා ලබා දීම මෙහි ඊළඟ අදියරයි. මධ්‍යම රජය හා පළාත් සභා අතර සුහද සංහිඳියාවක් සහිත සංවර්ධන අදියරක් වෙත රට ගෙන යා යුතු ය. ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් තිබෙන්නේ ඒ මාවතේ ය.

මෙම පූර්විකාව ලියන්නට අප පෙළඹුණේ මේ දිනවල කතාබහට ලක් වී තිබෙන කරුණක් නිසා ය. ඒ වනාහි දෙමළ ඩයස්පෝරාව සමග අන්තර් ක්‍රියාකාරිත්වයකට යන්නට ලංකාවේ රජය ගෙන තිබෙන පියවරයි. ගැටුම් කළමනාකරණය හා සාමය ගොඩනැගීම සම්බන්ධව කටයුතු කරන දකුණු අප්‍රිකානු රාජ්‍ය නොවන සංවිධානයක අනුග්‍රාහකත්වයෙන් ගෝලීය දෙමළ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන් හා විදේශ ඇමති මංගල සමරවීර අතර පැවති සාකච්ඡා පිළිබඳ රටේ අවධානය යොමු වී තිබේ. ජුනි 23දා ඩේලි නිව්ස් පුවත්පතේ මුල් පුවතේ අරමුණ වී තිබෙන්නේ මේ සාකච්ඡා හේතුවෙන් දෙමළ ඩයස්පෝරාව බෙදී ඇති බව පෙන්වීමයි. එවැනි ප්‍රකාශනයක් මේ සාකච්ඡා ඉදිරියට ගෙන යන්නට කෙසේ ඉවහල් වේ ද යන්න සැක සහිත ය. තමන් සාකච්ඡා කරන්නේ දෙමළ ඩයස්පෝරාව දුර්වල කරන්නට ය කියා කී විට සිදු වන්නේ තමන් සමග සාකච්ඡාවට පැමිණි පාර්ශ්වයට එරෙහිව අවි අමෝරා ගන්නට විරුද්ධවාදීන්ට අවස්ථාව ලැබීමයි. ගෝලීය දෙමළ සංසදය හා දෙමළ ජාතික සන්ධානයේ එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයාට එරෙහිව මේ වන විටත් ඩයස්පෝරාවේ දෙමළ ජාතිවාදීහු අවි අමෝරාගෙන සිටිති.

විදෙස්ගත ලාංකික ප්‍රජාව හෙවත් ඩයස්පෝරාව යනු සිංහල, දෙමළ, මුස්ලිම් ආදී විවිධ ජාතීන් ඇතුළත් වන බහුවිධ ප්‍රජාවකි. ඩයස්පෝරාවෙන් සැලකිය යුතු පංගුවක් දෙමළ ජනයා බව ඇත්ත ය. එසේ වුණේ ලංකාවේ තිබුණු තත්වය හේතුවෙන් ලෝකයේ අනුකම්පාව දෙමළ ජනයාට ලැබී ඔවුන්ට සංවර්ධිත රටවල රැකවරණ ලැබුණු නිසා ය. ඒ අවස්ථාව සිංහලයන්ට ලැබුණේ නැත. අපේක්ෂා භංගත්වයට පත් සිංහලයන්ට විදෙස් රටවලට යන්නට සිදු වී තිබෙන්නේ බෝට්ටුවලිනි. දෙමළ විදෙස්ගත ප්‍රජාව වඩා සංවිධානාත්මක ය. පසුගිය සමයේ කොටි සංවිධානය ඔවුන් අතර සුවිසල් සංවිධාන ජාලයක් ගොඩනැගුවේ ය. කොටි සංවිධානය ලංකාව තුළ ශක්තිමත්ව තිබුණු අවධියේදී දෙමළ ඩයස්පෝරාව විවිධ ස්වරූපවලින් එයට ආධාර කිරීම සිය මූලික වගකීම කර ගත්තේ ය. එහෙත්, කොටි සංවිධානයේ පරාජයෙන් පසු දෙමළ ඩයස්පෝරාව තුළ විභේදනයන් කැපී පෙනෙන්නට විය. කොටි හිතවාදී කොටස් අතර ද බල අරගලයක් ඇති විය.

මේ අතර පුළුල් ම විභේදනය නිර්මානය වූයේ ඩයස්පෝරාව හා ලාංකීය දෙමළ ජනතාව අතරයි. තවත් යුද්ධයක් යෝජනා කරන දෙමළ ඩයස්පෝරා කොටස්වල උවමනාව මත යුද්ධයේ බිලි බවට පත් වන්නට තරුණ තරුණියන් පිරිසක් ලංකාවේ උතුරු නැගෙනහිරින් යළි නිර්මානය කර ගැනීම අතිශය දුෂ්කර තත්වයට පත් වී තිබේ. යුද්ධයෙන් පසු උතුරු නැගෙනහිර පළාත් රටේ සෙසු පළාත් සමග යළි සම්බන්ධ වීමත්, ප්‍රාග්ධනයේ හා ශ්‍රමයේ නිදහස් සංචලනයකට අවස්ථාව ලැබීමත් හේතුවෙන් ලංකාවේ දෙමළ ස්වෝත්තමවාදී යුද්ධයක් යළි ඇරඹීම කළ නො හැක්කක් වී තිබේ. මෙම අර්බුදය නිසා, ඩයස්පෝරාවේ දෙමළ ජාතිවාදීන්ගෙන් කොටසක් ලංකාවේ දෙමළ ජනයාට හා තම තමන්ට ම අලෙවි කර ගත්තේ ප්‍රජාතාන්ත්‍රික අරගලයක් ඔස්සේ වෙන් වීම සඳහා ජනමතවිචාරණයක් වෙත ජාත්‍යන්තර පිළිගැනීම ලබා ගැනීමයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් ලංකාව බෙදා වෙන් කිරීම සඳහා වූ ජනමතවිචාරණයක් පැවැත්වීම මෙම උපායමාර්ගයේ ඉලක්කය වී තිබේ.

මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා දෙමළ ජාතිවාදීන්ට අවශ්‍ය මූලික ම කොන්දේසිය වන්නේ සිංහල ජාතිවාදයයි. ලංකාවේ මධ්‍යම රජය හැකි තරම් දුරට සිංහල ජාතිවාදයට නතු වීම ඔවුන්ට ආශිර්වාදයකි. එසේම, පළාත් සභා අසාර්ථක කිරීම ද මෙම උපායමාර්ගයේ ම කොටසකි. පසුගිය ජනාධිපතිවරණයේදී ඔවුන්ට අවශ්‍ය වුණේ ලංකාවේ දෙමළ ජනයා අකර්මන්‍ය කිරීමටයි. එය 2005 ජනාධිපතිවරණයේදී කොටි සංවිධානය විසින් දියත් කරන ලද මැතිවරණය වර්ජනය කිරීමේ උපායමාර්ගයේ ම දිගුවකි. එම වර්ජනය සිදු නො විණි නම්, එදා මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරණය දිනා ගන්නට ලැබෙන්නේ නැත. එසේම, මෙදා ද දෙමළ ජනයා ලවා මැතිවරණය වර්ජනය කරවන්නට කොටි සංවිධානය සමත් වුණා නම් ජනාධිපතිවරණය නැවත වතාවක් දිනන්නේ මහින්ද රාජපක්ෂ ය.

මහින්ද රාජපක්ෂ පාලන ක්‍රමය සිංහල ජාතිවාදය මත පදනම් වූවකි. සිංහල ජාතිවාදීහු සාම සාකච්ඡාවලට විරුද්ධ වූ හ. සාම සාකච්ඡා තුළ සිර වී ඊලාම් සංකල්පය අතහැර දමන්නට බල කරනු ලැබ තිබුණු කොටින්ට මහින්ද රාජපක්ෂ බලයට පත් වීම ආශිර්වාදයක් විය. යුද්ධයෙන් සිය අරමුණ ජයගන්නට හැකි වනු ඇතැයි හෝ යුද්ධයෙන් බලවත් වී නව සාකච්ඡා වටයකට පිවිසෙන්නට හැකි වනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු වූ හ. එහෙත් ශ්‍රී ලංකා රජය කොටි සංවිධානය යුද්ධයෙන් පරාජය කළේ ය.

කොටි හිතවාදී ඩයස්පෝරා බලවේගයේ දැන් උපායමාර්ගය වන්නේ වෙන් වීම සඳහා වන ජනමතවිචාරණයක් දිනා ගැනීමයි. වෙන් වීම සාධාරණීකරණය කරන්නට නම් ලංකාවේ දෙමළ ජනයා දිගින් දිගට ම අසාධාරණයට  හා මර්දනයටලක් විය යුතු ය. යාපනය හමුදා කොලනියක තත්වයේ ම තිබිය යුතු ය. ඉඩම් වැඩි ප්‍රමාණයක් අධි ආරක්ෂක කලාප තුළ තිබිය යුතු ය. ඉඩම් අහිමි ජනයා සරණාගත තත්වයේ ම සිටිය යුතු ය. දෙමළ ජනයා දිළිඳුභාවයේ හා කාලකන්නිකමේ ම ගිලිය යුතු ය. ලංකාවේ සුළුතර ප්‍රජාවන් ජාතිවාදී පීඩාවන්ට ලක් විය යුතු ය. වසරකට පෙර ධර්ගා නගරයේ සිදු වූ ආකාරයේ ක්‍රියා රට පුරා පැතිරිය යුතු ය. 

ඔවුන්ගේ මෙම උපායමාර්ගය හා සමපාත වන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට ගෙන ආ දේශපාලන ව්‍යාපාරය නො වන බව ඔබට සක් සුදක් සේ පැහැදිලි වනු ඇත. කොටින්ට අවශ්‍ය රාජපක්ෂ ක්‍රමයයි. සිංහල ජාතිවාදයයි. සිංහල ජාතිවාදය පසුබසින තරමට ඔවුන්ගේ දෙමළ ජාතිවාදී වැඩසටහන ද පසුබසියි. 

මේ වන විට කොටි සංවිධානයේ හා වෙනත් දෙමළ ජාතිවාදී සංවිධානවල ජාතිවාදී ප්‍රවණතා සෑහෙන දුරට පසුබැස තිබේ. කොටි සංවිධානය හා සම්බන්ධ එක් පාර්ශ්වයක් විසින් පිහිටුවන ලද රුද්‍රකුමාරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ඊලාම් පාරජාතික ආණ්ඩු ව්‍යූහයට ඉදිරියට යන්නට අවස්ථාවක් ලැබුණේ නැත. එහි ඊනියා මන්ත්‍රීන්ට ලොකු සමාජ පිළිගැනීමක් නැත. මේ ඊනියා ආණ්ඩුව වෙනුවෙන් දෙවන වටයක මැතිවරණවත් පැවැත්වීමට ඔවුන්ට ශක්තිය නැත. 

දෙමළ ඩයස්පෝරාව සමග ඍජුව අන්තර්ක්‍රියා කිරීමෙන් ජාතිවාදී ප්‍රවණතා වෙනුවට සාමූහිකත්වය ප්‍රවර්ධනය කරන්නට පුළුවන. මේ වන විට දෙමළ ජාතිවාදී සන්නද්ධ අරගලයකට ලංකාවේ භූමියේ ඉඩක් නැති තරම් ය. යම් හුදකලා ත්‍රස්තවාදයකට අවකාශයක් ඇතත්, පැතිරුණු සන්නද්ධ අරගලයක් ගැන නම් හිතන්නටවත් බැරි ය. ලංකාවේ දෙමළ ජනයාට තම ජාතිය ගැන හැඟීම් තිබෙන මුත් ඔවුන්ට යළි යුද්ධයක පැටලීමේ කිසිදු උවමනාවක් නැති බව පැහැදිලි ය.

දෙමළ සමාජයට මූලික වන්නේ යුද්ධයෙන් විනාශ වූ තම ජන ජීවිත යළි ගොඩනගා ගැනීම සහ ආර්ථික හා සමාජ සංවර්ධනය මිස ජාතිවාදය නො වේ. එහෙත්, සිංහල ජාතිවාදය පවතින තාක් කල් දෙමළ සමාජය තුළ ද ජාතිවාදයට වෙළඳපොළක් සොයා ගත හැකි ය. සිංහල සමාජයේ මෙන් ම දෙමළ සමාජයේ ද ජාතිවාදය ඔස්සේ බලය ගොඩනගා ගැනීමට උත්සාහ කරන කපටි අවස්ථාවාදීහු සිටිති. සිංහල සමාජයට ද ජාතිවාදයෙන් කිසිදු යහපතක් අත් කර ගත නො හැකි බවට හොඳ ම උදාහරණය යුද්ධයෙන් පසු වසර පහමාරක් තිස්සේ මහින්ද රාජපක්ෂ පාලනයේ පැවති අසාර්ථකත්වයයි.

ඩයස්පෝරාව සමග අන්තර්ක්‍රියාකාරිත්වයක් ගොඩනගා ගැනීම යනු අපෙන් දුරස්ථ වී සිටි අපේම සහෝදර ජනතාවක් සමග යළි සම්බන්ධ වීම මිස වෙනත් අපභ්‍රංශයක් නො වේ. එම අන්තර් ක්‍රියාකාරිත්වය ඔස්සේ සිංහල හා දෙමළ ජාතිවාදී ප්‍රවණතා පරාජය කිරීමට උත්සාහ කළ යුතු ය. දෙමළ, සිංහල සමාජයන් යළි එක්සත් කිරීමේ උත්සාහයන් නො ගෙන ඒ සමාජයන් දෙක අතර තිබෙන දුරස්ථභාවය නඩත්තු කිරීමෙන් ලංකාවට කිසිදු යහපත් ප්‍රතිඵලයක් අත් වන්නේ නැත.

ඩයස්පෝරාව සමග කටයුතු කිරීම සංහිඳියාව සඳහා අවශ්‍ය පියවරකි. එය ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත් කරන ලද උගත් පාඩම් හා සංහිඳියා කමිටුව විසින් ද නිර්දේශ කරන ලද ක්‍රියාමාර්ගයකි. එසේම, එය සංවර්ධනයට ද ඉවහල් කර ගත හැකි ය. විවිධ හේතු මත ලංකාවෙන් බැහැර වූ ජනයාට සිය ධනයෙන්, දැනුමින්, කුසලතාවලින් රටේ සංවර්ධනයට දායක වන්නට අවස්ථාවක් ලබා දිය හැකි ය. ඒ සඳහා සතුටින් ඉදිරිපත් වීමට කැමති මිනිසුන්ට පිළිගැනීමක් ලබා දිය යුතු ය.


මහමැතිවරණයක් ආසන්නයේදී තම අනාගත පැවැත්ම තර්ජනයට ලක් වී තිබෙන ඇතැම් අගතිගාමී බලවේග දැන් මෙම සාධනීය පියවර දඩ මීමා කරගෙන ජාතිවාදය ඇවිස්සීමට පටන් ගෙන තිබේ. එයට ඉඩ නො දිය යුතු ය. එය ජනවාරි 08 ජයග්‍රහණයේ හරය පාවාදීමකි. මේ කුමන තුප්පහිකමක් දජනතාව නො මග යවමින් පටු ජනප්‍රියත්වය වෙනුවෙන් කරන මේ ජරා ක්‍රීඩාව මොවුන්ට ඇති වන්නේ නැද්ද? මොවුන්ට තමන්ගේ බල ව්‍යාපෘති හැර රට ගැන අන් කිසිදු හැඟීමක් තිබේ දමොවුන් මේ ජාතිවාදයෙන් මිදෙන්නේ කවදා ද? ඔවුන් රටට කරන විනාශය ජනතාව තේරුම් ගන්නේ කවදා ද

කියවන්න:

ඩයස්පෝරාව සමඟ සාකච්ඡාවලට එරෙහි වීම මුවාවෙන් යළි ජාතිවාදය පිට නැඟීම

සිළුමිණ 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

4 comments:

  1. You seem to be very naive or hypocritical! LTTE has not stopped its campaign! You seem to be a so-called Marxist or socialist. Can't you think why the West is supporting this ultra terrorist movement! The west is concerned by human rights? Do you know that 1400000 civilians have been butchered only in Iraq by NATO ? Balkanization is their policy. I can imagine your friendly attitude towards NATO when they bombed Libya! What has happened to that once self sufficient country. Either you are an idiot or a rascal to think that they do everything for peace!

    ReplyDelete
  2. දකුනේ සිංහල ජාතිවාදීන්ටත් උවමනා හැමදාම ඩයස්පෝරා දමිලයින් ඊලාම් කොඩිය වනනු දැකීමයි, නැවත සුලුවෙන් හෝ උතුරේ ප්‍රචන්ඩ ක්‍රියා සිදුවෙනු දැකීමයි (යාපනයේ පාසැල් සිසුවිය ඝාතනයෙන් පසු උතුරේ පිරිසක් උසාවි වලට ගල් ගැසීම දකුනේ ජාතිවාදීන් සුරාන්තයට පත් කලේ ඒ නිසායි ), දමිලයින් හැමදාම ප්‍රභාකරන් සමරනු දැකීමයි.
    එවිට ඔවුන්ගේ 'බෙදුම්වාදයේ බිල්ලා' හැමදාම දකුනට අලෙවි කල හැකි වනු ඇත, උතුරේ ජනතාව හැමදාම හමුදා කදවුරු වලින් වටකොට තැබීමේ ඔවුන්ට රටේ අනිකුත් ප්‍රදේශවල ජනතාවට ලැබෙන සිවිල් අයිතීන් ලබා නොදීමේ, දමිලයින් යනු සිංහල ආන්ඩුවේ නිරන්තර පාලනයට යටත්ව තබාගතයුතු 'කසිලිකාරයින් පිරිසක්' බව දකුනට ඒත්තු ගන්වා එයින් දේශපාලන වාසි ලබාගැනීමේ ව්‍යයාමය සාර්තක වනු ඇත..

    ReplyDelete
  3. // ඩයස්පෝරාවෙන් සැලකිය යුතු පංගුවක් දෙමළ ජනයා බව ඇත්ත ය. එසේ වුණේ ලංකාවේ තිබුණු තත්වය හේතුවෙන් ලෝකයේ අනුකම්පාව දෙමළ ජනයාට ලැබී ඔවුන්ට සංවර්ධිත රටවල රැකවරණ ලැබුණු නිසා ය. ඒ අවස්ථාව සිංහලයන්ට ලැබුණේ නැත. //

    මෙය පැහැදිලිවම සිංහල බෞද්ධ විරෝධී බටහිර කුමන්ත්‍රණය හෙළි කරන්නකි. දශක ගණනක් පීඩිතව සිටි සිංහල ජනයා හට ඉවසාගනීම බැරිම තැන 83 දී සුළු අරගලයක් සිදු කළ පමණින් කෘර බටහිරයා විසින් පර දෙමළා රැකගත්හ. අනේ සිංහලයාට ලන්ඩන් ජර්මන් යන්න බැරිවුනානේ.

    ReplyDelete
  4. "සිංහල බෞද්ධ විරෝධී බටහිර කුමන්ත්‍රණය"

    කතෝලික කාන්තාවක් ලස්සනට රැවටී විවාහ කරගත්, සහෝදරයන් තුන් දෙනෙක්ම බටහිර ට සංක්‍රමණය වූ, අසනීපයක් වූ පමණින් බටහිරටම දුව යන කුමන්ත්‍රණ කාරය ගැන නෙවෙයි නේද කියන්නේ?

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.