2015-09-24

මළමිනී සහ ළමයින් සමග ලිංගිකව එක් වීම

නෙක්‍රොෆීලියා කියන්නේ මළ මිනී කෙරෙහි ආසක්ත වී ඇතැම් විට ඒවා සමග සංසර්ගයේ යෙදීමට පෙළඹෙන මානසික රෝගී තත්වයක්. නෙක්‍රොෆීලියා යන වදන ශවකාමය ලෙස සිංහලට පරිවර්තනය කරන්නට පුළුවන්. කොටදෙනියාවේ සේයා දැරිය මරා දැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා ගැන ජනමාධ්‍ය විසින් කරනු ලබන විස්තරවල ඔහු මෙවැනි මානසික රෝගියකු බව පැවසෙනවා.

ජනමාධ්‍ය විසින් වෛරී චේතනා ජනතාව තුළ ඇති කිරීමේ අරමුණින් කරන මෙවැනි වාර්තාකරණයන් සම්පූර්ණයෙන් විශ්වාස කළ නො හැකි වුණත්, මෙම සැකකරුවා මානසික රෝගියකු වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

නෙක්‍රොෆීලියා මානසික තත්වයෙන් පෙළෙන පුද්ගලයකු පිළිබඳ ගාමිනි වියන්ගොඩ විසින් ‘මායාවාස’ ලෙස පරිවර්තනය කරන ලද ඉසබෙල් අය්යන්දේ ලියූ The House of Spirits නවකතාවේ සඳහන් වෙනවා.

“ලෑලි පෙට්ටිය උඩ ගල්ගැසී, අවසානය දක්වා ම ඒ දසුනින් දෑස් ඉවතට ගන්නා ඈ අසමත් වූවා ය. පිරිමි දෙන්නා රෝසා ගේ සිරුර හිස් කොට අවසන් වන තෙක්, නහරවැල්වලට බෙහෙත් එන්නත් කර, සිරුර නහවා ආමෝදි විනාකිරෙන් හා සැවැන්දරා සාරයෙන් දෝවනය කර අවසන් වන තෙක්, ක්ලාරා ඇසි පිය නො හෙලා ඒ තැන රැඳී සිටියා ය. මෘත ශරීර සංරක්ෂක පාප්ප තවරා, වක් වූ ගෝනි ඉදි කට්ටකින් මෘත දේහය මසා අවසන් වන තෙක් ඈ එ තැන රැඳී සිටියා ය. අන්තිමේ දී දොස්තර කුළුවාස් පයිප්ප බක්කියට ගොස් දෑත් සෝදා ගත්තේ ය. දෑසේ කඳුළු පිස දා ගත්තේ ය. අනිකා ලේ සෝදා හැර බොකු එකතු කෙළේ ය. තවමත් ක්ලාරා එතැන ය. අනතුරු ව, අපරිමිත ශෝකයෙන් දොස්තර කුළුවාස් සිය කළ කබාය ඇඟලාගෙන එත තැනින් පිට විය. එ විට, මීට පෙර ක්ලාරා දැක නො සිටි තරුණයා රෝසාගේ දෙ තොල සිඹින්නට විය. ගෙල සිඹින්නට විය. දෙ තන උරන්නට විය. ඇගේ දෙ පා අතරේ මුහුණ හොවා රහසඟ සිඹින්නට විය. තව මත් ක්ලාරා ගේ දෑස් එ තැන ය. අන්තිමේ දී තරුණයා මළ සිරුර මුහුදු හත්තකින් පිසලෑවේ ය. එම්බ්‍රොයිඩරි කළ රෑ ගවුම ඇන්දෙව්වේ ය. හති දමමින් ඇගේ හිස පීරුවේ ය. ඉන් පසු, දොස්තර කුළුවාස් සහ නානා විත් සුදෝ සුදු වස්ත්‍රෙයන් රෝසා සරසා, ඇගේ සරණ මංගල්‍යය වෙනුවෙන් කළ ඔටුන්න ඇගේ හිස ලෘවේ ය. අනතුරු ව, රෝසා සිය මනාලිය වී නම් තමා ගේ ගෙයි එළිපත්ත හරහා ඈ ඔසවාගෙන යන සෙනෙහසින් ම, තරුණයා රෝසාව දෑතට ගත්තේ ය...." (මායාවාස, ගාමිනී වියන්ගොඩ, පි. 61, 62)

නෙක්‍රොෆීලියා මානසික තත්වය ගැන ඉතිහාසය පුරාමත් යම්, යම් සඳහන් වීම් තිබෙනවා. අලුත මිය ගිය කාන්තාවකගේ සිරුර සමග ලිංගික ක්‍රියාවක යෙදුණු මළ මිනී සංරක්ෂකයකු පිළිබඳව වාර්තා වීමෙන් පසු, නැවත එසේ සිදු වීම වැළැක්වීම සඳහා පැරණි ඊජිප්තුවේ මිය ගිය රූමත් කාන්තාවන්ගේ සිරුරු සංරක්ෂණය කළේ දින කීපයකට පසුව බව ග්‍රීක් ලේඛක හෙරඩෝටස් (ක්‍රි.පූ. 484-425) සිය ‘ඉතිහාස' නම් කෘතියේ සඳහන් කර තිබෙනවා.

බෞද්ධ විනය පිටකයේත් මේ ගැන සඳහන් කිරීමක් ඇති බව මා අසා තිබෙනවා. ලංකාවේත්, ඇතැම් මෘත ශරීරාගාරවල මෙවැනි ක්‍රියා සිදු වන බවට කටකතා තිබෙනවා.

ළමයකු ලිංගිකව ආසක්ත වන පුද්ගලයකු ගැන සාහිත්‍යයේ සඳහන් වන ප්‍රකට ම උදාහරණය තමයි, ව්ලැදිමිර් නබුකොවුගේ ලොලිටා නවකතාව. ළමයින්ට ලිංගිකව ආසක්ත වන මානසික තත්වය හැඳින්වෙන්නේ පීඩොෆීලියා හෙවත් ළමාකාමය යන නමින්. ශවකාමීන් වගේ නෙමෙයි, මේ සමාජයේ ළමාකාමීන් සුලබයි. සමාජයේ සෑම තරාතිරමක ම මෙවැනි පුද්ගලයන් දකින්නට ලැබෙනවා. ඉතා ප්‍රසිද්ධ පුද්ගලයන්ට පවා ළමාකාමී චෝදනා එල්ල වී තිබෙනවා. පැරණි සංස්කෘතීන් බොහොමයක ළමාකාමයට ඉඩ දී තිබෙනවා. ළමයින් විවාහ කර ගැනීම වර්තමානයේදී පවා දුර්ලභ තත්වයක් නොවෙයි.

එහෙත් නවීන සමාජය මෙහි තිබෙන අමානුෂිකත්වය හඳුනාගෙන තිබෙනවා. එහෙයින් ශිෂ්ට සමාජය එය පිටුදකිනවා. එපමණක් නොවෙයි, එය වැළැක්වීම සඳහා නීති සම්පාදනය කර තිබෙනවා. ළමා විය හා සම්බන්ධ වන කුමන හෝ ආකාරයක ලිංගිකත්වය අපචාරයක් ලෙසයි සැලකෙන්නේ. ළමයාගේ කැමැත්තෙන් සිදු වුණත්, එය දූෂණයක් ලෙසයි සැලකෙන්නේ. ළමයින්ගේ ආරක්ෂාව සඳහා මෙය ඉතා වැදගත්.

එහෙත්, සමාජ ආකල්ප තවමත් මුළුමනින් ම මෙම තත්වය හා අනුගත වී නැහැ. එසේම, මෙය මනෝ විද්‍යාත්මකව හා සමාජ විද්‍යාත්මකව තරමක් අවුල් සහගත කලාපයක් ලෙසත් සලකන්නට පුළුවන්. කොහොම වුණත්, වැඩිහිටියන් ළමයින් දූෂණය කිරීම ඉවසන්නට නවීන ශිෂ්ට සමාජය කිසි සේත් ම සූදානම් නැහැ.

කොටදෙනියාවේ ඝාතනය නිසා ශවකාමය හා ළමාකාමය ගැන බැරෑරුම් ලෙස සිතන්නට අපට සිදු වී තිබෙනවා. ලංකාවේ සිටින මෙවැනි මානසික රෝගීන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට විධිමත් වැඩපිළිවෙලක් තිබෙනවා ද? විශේෂයෙන් ම ළමාකාමීන් දරුවන්ගේ ආරක්ෂාවට බරපතල තර්ජනයක්. ඒ නිසා එය සමාජාරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ලෙස සලකන්නට සිදු වෙනවා. එවැනි රෝගීන්ට ලංකාවේ නිසි පරිදි ප්‍රතිකාර සිදු වන්නේ නැහැ. ඔවුන් දීර්ඝකාලීනව සමාජයෙන් ඈත් කර ප්‍රතිකාර කළ යුතුව තිබෙනවා. ලෝකයේ වෙනත් රටවල මෙවැනි සමාජ ගැටලු කළමනාකරණය කර ගන්නා ආකාරය ගැන අපි හැදෑරිය යුතුයි.

සියල්ලට විසඳුම තිබෙන්නේ මරණ දඬුවම තුළ යයි සිතන ජනප්‍රිය මුග්ධ සිතුවිල්ල පසෙක ලා මේ ප්‍රශ්න ගැන ගැඹුරින් සාකච්ඡා කළ යුතුයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

12 comments:

  1. මොහු වරදකරුවුවත් (එහෙම කිව්වෙ අද මාධ්‍යය කියන දේ එකපාරටම විශ්වාස කරන්න බැරි නිසා) මොහු පැරෆීලියා මානසික රෝගීයකු බව හඳුනාගන්නට පහසුකම් තිබියදිත් , “පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමට “ වඩා කළ යුතුව තිබුණේ , නීතිමය ආරක්ෂාව යටතේ මානසික ප්‍රතිකාරයට යොමු කිරීමටයි (වෙනත් රටවල නම් සිදුවන්නේ එය Correction Facility ඔස්සේ) එසේ වුවා නම් මෙවන් අපරාධ දාමයක් මේ පුද්ගලයා හරහා සිදුනොවන්නට ඉඩ තිබුණා ,

    එම නිසා මරණ දන්ඩණයට පෙර රටේ නීති පද්ධතියේ ඇති බිඳවැටුනු තැන් , විශ්වාසය පළුදු වූ තැන් නිවැරදි කිරීම සහ අද දවසට , තාක්ෂණයට ගැලපෙන අයුරින් යාවත්කාළීන කිරීමයි කළ යුතු , එවිටයි සාධාරණ තීන්දුවක් මත වැරදිකරු “සිපිරිගෙටත් “ නිවැරදි කරු “ගෙදරටත්“ යන්නෙ .

    http://www.nursinglk.com/2011/08/41-paraphillia.html (පැරෆීලියාව ගැන)

    http://www.nursinglk.com/2015/09/174.html (මරණ දන්ඩනේ ගැන)
    ස්තුතියි ඔබට

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න විදිහක් නෑ මචං මේ ලංකාවේ.... ලංකාවේ පොලීසිය කොච්චර නීතිගරුකද කියල තනියම කේස් එකකට අහුවෙලා බලන්න ඕන... හැමදේම තීරණය වෙන්නෙ බලය තියෙන කෙනාට අනුව.... මේකේස් එක පහුගිය කාලෙ උනානම් එක්කො සේයාගේ තාත්තව නැතනම්අර ස්කෝලෙ යන ළමයව ගඟක ගිලිල නැත්නම් මරණයේ සාක්ෂියක් පෙන්නන්න ගිහින් පැනල යන්න ගිය වරදට මරණයට පත්වෙලා කේස් එක යට ගිහිං කතාව ඉවර වෙන්න තිබුනා.. පාලකයට ලේසියි. සති කීපයකට පසු නැවතත් මේක 2500 වසරක් බණ ඇසූ රට... ලංකාව පාලනය කරන පාලකයෝ මේ තත්ත්වයන් ගැන කිසිම දෙයක් දන්නෙ නෑ. උන්ට තමයි ඉස්සරවෙලාම ප්‍රතිකාර අවශ්‍ය කරන්නේ කියල මම හිතන්නේ.

      Delete
  2. පීඩපයිල් වලට එල්ලනවා නම්.. අපේ සංඝ පරම්පරාවම එල්ලන්න වෙයි නේ...

    ReplyDelete
    Replies
    1. ඔව් බං..... මම නම් හිතන්නේ නෑ ඔය එක සාමණේරයෙක්වත් තමුන්ගේ ගුරු ස්වාමීන්වහන්සේගෙන් බේරිලා හිටියා කියලා. "ගල්සාදු" කියන පදය හැදුණේ නිකංයැ?

      Delete
  3. මේ ගැටළුව සම්බන්ධ වැදගත් අර්ථවත් සාකච්ඡාවක් ඇරඹී තිබිම හා සාකච්ඡාවට බඳුන් වීම ගැන සතුට

    ReplyDelete
  4. //අන්තිමේ දී තරුණයා මළ සිරුර මුහුදු හත්තකින් පිසලෑවේ ය.// ලිපියේ අරමුණටනම් අදාල නැහැ. මෙතැන 'මුහුදු හත්තකින්' කියා පරිවර්තනය කර තිබෙන්නේ sponge කියන වචනය නේද? තෙතමනය අවශෝෂනය කිරීමට ගන්නා sponge එකකටත් සිංහලෙන් මුහුදු හත්ත කියලමද කියන්නේ?

    ReplyDelete
  5. //ලෝකයේ වෙනත් රටවල මෙවැනි සමාජ ගැටලු කළමනාකරණය කර ගන්නා ආකාරය ගැන අපි හැදෑරිය යුතුයි.//
    මා දන්නා එක් ක්‍රමයක්නම් මෙවැනි අයගේ තොරතුරු පොදු තොරතුරු (public information) බවට පත් කිරීම. කෙනෙකුට ඉතා පහසුවෙන් වෙබ් අඩවියකට ගොස් තමන් අවට සිටින ළමාකාමය සම්බන්ධව වරදකරුවන් වූ අය ගැන තොරතුරු ලබා ගත හැකියි (උස, ශරීර ස්වභාවය, ඡායාරූපය ආදිය). මෙවැනි අය ගොඩක් සිටින පැත්තක් අළුත් පදිංචි කරුවෙකුට ආකර්ශනීය නොවිය හැකියි. මෙවැනි ඇතැම් අයට ළමයින් සමඟ සෘජුව සම්බන්ධ වන කටයුතු (පෙර පාසල් හා දිවා සුරැකුම් රැකියා, පාසැල් බස් රියදුරු) වාරණය කර තිබෙනවා. මේ ගොඩක් අය අවුරුදු හතේ අටේ ළමයින්ව අපයෝජනය කළ අය නෙමෙයි. බොහෝ විට නීත්‍යනුකුල වැඩිහිටි වයසට කිට්ටු ළමයෙක් සමඟ කැමැත්තෙන් (නීතිය අනුව පොළඹවාගැනීමෙන්) අපයෝජනයක් සිදු කළ අය. මෙවැන්නක් සිදු කළ අයෙකුට ජීවිත කාලයටම එයින් ගැලවීම අපහසුයි. ඔබ කියන පරිදිම මෙය මානසික රෝගයක් නිසා උගත්, වැඩි ආදායම් අය අතරත් මෙවැනි අය අඩු නැතුව ඉන්නවා.

    ReplyDelete
  6. මෘතශීලියා

    http://transyl2014.blogspot.ca/2014/12/blog-post_16.html

    ReplyDelete
  7. Necrophilia is a psychosexual disorder and is categorized with the group of disorders which comprise the paraphilias, a subtype of psychosexual disorder involving unusual or bizarre fantasies or acts that are necessary for full sexual excitement (Ochoa & Jones, 1997). The most common motive for necrophilia is possession of an unresisting and unrejecting partner (Rosman & Resnick, 1989).


    The Jātaka Storyteller provides some clues about necrophilia tendencies in a king in Assaka Jātakaya. According to Assaka Jātakaya there was a pretty queen named Ubbari and her untimely death brings sorrow and severe grief to the king. He was devastated and does not allow anyone to bury her body. He preserves her body and keeps it in his bed room for many days. The Jātaka Storyteller does not indicate whether the king had any bodily relationship with the corpse. Though there are no graphic details about what the king did with the dead body, keeping it on his bed indicates some form of physical or emotional connection with the corpse.


    (Human Sexuality Discussed in the Jātaka Stories)

    http://transyl2014.blogspot.ca/2014/10/human-sexuality-discussed-in-jataka.html

    ReplyDelete
  8. මේ වගේ රටේ ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය වල කවදා කතිකාවක් ඇතිවෙයිද කියල තමයි මට නම් හිතෙන්නේ.. මේ ටික දකින්නේ කින් කි දෙනාද?

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.