2015-12-11

මහින්ද රාජපක්ෂගේ සිට පුබුදු ජයගොඩ දක්වා විකාරකාරයන්ට උත්තර දෙන්නට සැබෑ වැඩ කරන ජනතාව වීදියට පැමිණිය යුතු ය

ගතානුගතික මාක්ස්වාදීන්ගේ ප්‍රායෝගික දේශපාලන දර්ශනය අනුව ඔවුන් වැඩ කරන්නේ නිර්ධන පංතික ආඥාදායකත්වයක් පිහිටු වීම සඳහා ය. නිර්ධන පංතියේ පක්ෂය රාජ්‍ය බලය අතට ගන්නා තෙක් ඔවුහු ධනපති පංතියේ ආණ්ඩුවලට එරෙහිව සම්මුතියකින් තොරව සටන් කරති.

මේ ලියන මොහොත වන විටත්, රජයේ වෘත්තීය සමිති, දොස්තර සංගමය, බස් හිමි සංගම්, ශීෂ්‍ය සංගම්, රැකියා විරහිත උපාධිධාරීන් ලෙස තමන් හඳුන්වන රජයේ රැකියා අපේක්ෂකයන් ආදිය වැඩ වර්ජනයකට සැරසී සිටිති. වැඩ කරන ජනතාව ධනපති ආණ්ඩුවට එරෙහිව වීදි බැස ඇතැයි ගතානුගතික මාක්ස්වාදීහු උද්දාමයෙන් පවසති. අටෝරාශියක් ගතානුගතික මාක්ස්වාදී පක්ෂ දැන් සැරසෙන්නේ නිර්ධන පංතික ආඥාදායකත්වය තමන්ගේ නායකත්වයෙන් පිහිටුවන්නට ය. එකී එක්, එක් පක්ෂයට අනුව, නිර්ධන පංතියට නායකත්වය දිය යුතු පක්ෂය තමන්ගේ පක්ෂයයි.

මට තිබෙන ප්‍රශ්නය මේ පංති විග්‍රහය කෙතරම් නිවැරදි ද යන්නයි. ලංකාවේ දේශපාලන බලය තිබෙන්නේ ධනපති පංතිය අත ද? රජයේ සේවකයන්, වෛද්‍යවරුන්, බස් හිමියන්, ශීෂ්‍යයන්, රජයේ රැකියා අපේක්ෂකයන් නිර්ධන පංතිය ද?

ගතානුගතික මාක්ස්වාදීන්ගේ සමස්ත පංති විග්‍රහය ම ව්‍යාජයකි. සියවසකට ආසන්න කාලයක් තිස්සේ පටලවාගෙගන තිබෙන මේ පටලැවිල්ල ලිහා ගන්නට ඔවුන්ට කිසිදු උවමනාවක් ද නැත. ලංකාවේ දේශපාලන බලය හිමි පංතිය ධනපති පංතිය ය යන්න මිථ්‍යාවකි. එය එතරම් සරළ ලෙස විග්‍රහ කිරීම ම විද්‍යාත්මක නො වේ. වර්තමාන ආණ්ඩුව ගත්තත්, රනිල් වික්‍රමසිංහ ධනපති පංති නියෝජිතයකු ලෙස සැලකිය හැකි මුත්, මෛත්‍රීපාල සිරිසේන එවැන්නෙක් ද? පසුගිය දශකයේ ලංකාවේ ඉතිහාසය මත බර සලකුණක් තැබූ මහින්ද රාජපක්ෂ ධනපති පංති නියෝජිතයෙක් ද?

ගතානුගතික මාක්ස්වාදීන් නිතර මතුරන තවත් මන්ත්‍රයක් වන්නේ නව ලිබරල්වාදයයි. මේ මන්තරය අනුව ආණ්ඩුව කරමින් සිටින්නේ ලංකාවේ භාණ්ඩ හා සේවා වෙළඳපොළ පූර්ණ ලෙස නිදහස් කිරීම, පෞද්ගලික අංශය වර්ධනයේ යන්ත්‍රය බවට පත් කිරීම හා ප්‍රාග්ධන ගෝලීයකරණයට රට විවෘත කිරීමයි. එහෙත්, 2002 බලයේ සිටි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව හැර අන් කිසිදු ආණ්ඩුවක්, දැන් බලයේ සිටින ආණ්ඩුව ද ඇතුළුව, ශුද්ධ ලෙස මෙම ආර්ථික, දේශපාලන දර්ශනය ක්‍රියාත්මක කරන්නට උත්සාහ කර තිබේ ද? එසේ කරන ආණ්ඩුවක් නම්, එය ධනපති පංතියේ ආණ්ඩුවක් ලෙස සැලකුවාට කමක් නැත. එහෙත්, ලංකාවේ ආණ්ඩු තුළ ධනපති පංතියට තමන්ගේ උවමනාවන් ඉටු කර ගැනීමේ මේ ශක්තිය නැත. එසේම, ධනපති පංතිය ගත්තත්, ගෝලීය ධනවාදය සමග පූර්ණ ලෙස බද්ධ වන සමජාතීය කණ්ඩායමක් නො වේ. විශේෂයෙන් ම මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමියන්ට ගෝලීය ධනවාදය සමග ගැටලු තිබේ.

ඉතිහාසයේ වැඩි කාලයක් මුළුල්ලේත්, විශේෂයෙන් ම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බලයට ගෙන ඒම හා පසුගිය දශකය තුළත් ලංකාවේ බලවත් ම පංතිය වූයේ ධනපති පංතිය නො වේ. 2004 ආණ්ඩු වෙනස හැසිරවූ ජනතා විමුක්ති පෙරමුණ, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ආරක්ෂා කළ ජාතිවාදී බලවේග ආදිය ප්‍රධාන වශයෙන් ම සමන්විත වන්නේ කාගෙන් ද යන්න විමසා බැලිය යුතු ය. මේ වනාහි ශක්තිමත් මධ්‍යම පංතියකි. එය මහින්ද රාජපක්ෂ පවුල වැනි රජයේ සාරය උරා බී වැඩුණු ධනවත් නිලධාරි පැළැන්තියක සිට වාහන බලපත්‍ර හිමි ජ්‍යේෂ්ඨ රජයේ නිලධාරීන් හරහා වැඩ නො කර පඩි ගන්නා ඇට මහත්තුරුන් දක්වා විහිදුණු අති දැවැන්ත අතරමැදි පංතික බලවේගයකි. සංඛ්‍යාත්මකව ගත්තොත් එය අඩු තරමේ පසළොස් ලක්ෂයක පංති බලවේගයකි.

පසුගිය දශකයක් පුරා රාජ්‍ය බලය, ආර්ථික බලය, සංස්කෘතික බලය ගොඩනැගුණේ මේ අතරමැදි පංතිය කේන්ද්‍ර කරගෙන ය. ඔවුන්ගේ ආර්ථික විද්‍යාව සරළ ය. රාජ්‍ය අංශය ප්‍රසාරණය කිරීම එහි ප්‍රධාන ලක්ෂණයකි. කොටින් ම රජය දැවැන්ත සමාගමක් බවට පත් කරනු ලැබේ. හරක් ගොවිපළේ සිට මොබිටෙල් කොම්පැනිය හෝ ශ්‍රී ලංකන් ගුවන් සේවය දක්වා දැවැන්ත ව්‍යවසාය ප්‍රමාණයක් මේ කොම්පැනිය සතු ය. ඒවා රෝහල් හෝ පාසල් වැනි මහජන සේවා නො වේ. බිස්නස් ය. එහෙත්, මේ ව්‍යවසාය බොහොමයක් මෙන් ම රජය නම් දැවැන්ත සමාගම ද ලාභ ලබන්නේ නැත. ලබන්නේ පාඩු පිට පාඩු ය. ඒ පාඩු පියවන්නේ සමස්තයක් ලෙස මේ රටේ ජනතාව උගසට තබමින් ලබා ගන්නා විදේශ ණයවලිනි.

රජය නම් කොම්පැනිය පාඩු වුණාට මේ අතරමැදි පංතියට කමක් නැත. ඔවුන්ට වැටුප් හා වරප්‍රසාද ලැබේ. මෙහි විෂමතා ඇත. රජයට අයත් මොබිටෙල් සභාපති සිරිසේන කුමාරසිංහ මසකට ලක්ෂ අනූවක පඩියක් අපේක්ෂා කළත්, ගෙදරට වී හිඳිමින් සතියට වරක් කාර්යාලයට ගොස් රවුමක් ගසා එන උපාධිධාරී ක්ෂේත්‍ර නිලධාරියකුට රුපියල් 30,000කට වඩා මාසික පඩියක් ලැබෙන්නේ නැත. එහෙත්, මෙම දෙපිරිසගේ ම අපේක්ෂා මූලික වශයෙන් එක සමාන ය. ඒ මෙසේ ය:

ලංකාවේ ඇත්ත පීඩිත කම්කරු ජනයා වන මැද පෙරදිග ගෘහ සේවිකාවන් ප්‍රමුඛ විදේශ ශ්‍රමිකයන්, ඇඟලුම් කම්කරුවන් ප්‍රමුඛ පෞද්ගලික අංශයේ සේවකයන්, වතු කම්කරුවන්, ඉදිකිරීම් කම්කරුවන්, කුලී කම්කරුවන් ආදීන් වැඩ කරමින් මේ පංතියේ වරප්‍රසාද ආරක්ෂා කළ යුතු ය. පීඩිතයන්ට යන්නට පොදු ප්‍රවාහන සේවා නැති වුණත්, දේශපාලකයන්ට හා නිලධාරීන්ට වාහන බලපත්‍ර ලබා දිය යුතු ය. තමන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් ප්‍රමාණවත් ආරක්ෂාවක් නැති වුණත්, රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප වෙනුවෙන් බර කර ගැසිය යුතු ය. මේ පීඩිත පංතියට වෘත්තීය සමිති, නියෝජන, දේශපාලන පක්ෂ ආදී කිසිවක් නැත. ඔවුන්ට දී තිබෙන අපේක්ෂාව වන්නේ තමන්ගේ දරුවකු හෝ මේ අතරමැදි පංතියට ඇතුළත් කර ගැනීමයි. සරළව කියනවා නම්, ලංකාවේ පීඩිතයන් වැඩි දෙනෙකුගේ අපේක්ෂාව තමන්ගේ දරුවා දොස්තර කෙනෙකු හෝ දේශපාලකයකු කර ගැනීමයි.

ලංකාවේ විප්ලව කෙරුවාවල් ඔන්න ඔය වගේ ය. මේ ගතානුගතික මාක්ස්වාදීන්ට හැදිය හැකි උපරිම දෙය වන ජාතිවාදයෙන් තෙම්පරාදු කරන ලද රාජ්‍ය ධනවාදය මහින්ද දශකයක් පුරා මේ රටේ ක්‍රියාත්මක කළේ ය. දැන් එය පිළුණු වී හමාර ය. තව කරනවා නම් කළ හැකි එක ම දෙය වන්නේ සෝවියට් දේශයේ බෝල්ෂෙවික් පක්ෂය වැනි විනයගත නිලධාරි පැළැන්තියක් ලවා නැවත වතාවක් මහින්ද චින්තනය ම රතු පාටින් ලියවා ගැනීම පමණි.

මෙම සටහන තබන මොහොතේ අතරමැදි පංතික වෘත්තීය සමිති හා දේශපාලන පක්ෂ වත්මන් ආණ්ඩුවට එරෙහිව අවි අමෝරාගෙන සිටියි. ඔවුන් පසුපසින් අවතාරයක් සේ නැගිටිමින් සිටින්නේ ඔවුන්ගේ පරමාදර්ශී තත්කාර්යවාදී ‘සමාජවාදියා' වන මහින්ද රාජපක්ෂයි. ඔහුගේ කාලය ගැන අතරමැදි පංතිකයන් අතර පැතිරෙමින් තිබෙන අතීතකාමී අඳෝනාවල යථාර්ථය එයයි.

අපට කියන්නට තිබෙන්නේ එක දෙයකි. වැඩ කරන පංතිය මත අතරමැදි පංතියේ ඒකාධිපති පාලනයක් පවත්වාගෙන යන එක ආර්ථික විද්‍යාත්මකව තව දුරටත් කළ නො හැකි ය. ඒ වෙනුවෙන් පසුගිය දශකයක් මුළුල්ලේ ලෝකයෙන් ගන්නා ලද ණය ගෙවන්නට දැන් සමස්ත රාජ්‍ය වැයවලින් 40%ක් ම වෙන් කරන්නට සිදු වී තිබේ. තමන්ට ආතල් දුන් මේ ණය කන්දරාව මත හිඳිමින් අතරමැදි පංතියට තව තවත් වරදාන දෙන්නට මුදල් වෙන් කරන්නේ කෙසේ ද යන්න පැහැදිලි කර දීමේ වගකීමක් වෘත්තීය සමිති නායකත්වයට හා විප්ලවවාදී ය යි කියන පක්ෂවලට තිබේ.

අතරමැදි පංතිය රතු පාට කොඩි ගනිමින් වර්ජන ක්‍රියාමාර්ග හරහා රජය බ්ලැක්මේල් කරන්නට සැරසෙමින් සිටියි. එයින් උද්දාමයට පත් වී සිටින අටෝරාශියක් මාක්ස්වාදීන්ට කළ හැකි එක ම දෙය වන්නේ මේ රට ම්ලේච්ඡත්වයට ඇද දැමීම පමණි. මහින්ද රාජපක්ෂගේ සිට පුබුදු ජයගොඩ දක්වා විකාරකාරයන්ට උත්තර දෙන්නට සැබෑ වැඩ කරන ජනතාව වීදියට පැමිණිය යුතු කාලය එළඹ තිබේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

11 comments:

  1. මේ රාජ්‍යසේවක තව තවත් කේවල් ඉල්ලීම් කරන්නේ එදා "රාජ්‍ය සේවකයා හිගන්නා" වු ලේබලේට වහන්වීය.ඈත්ත ඒකද? කොයි තරම්වු වු රටේ බහුතර කොටසක් පුරා මාසයක්ම කඹුරා 20,000/= හෝ ගනීද? උදා:පෞද්ගලික ආරක්ෂක සේවයේ සිටින රාජ්‍ය ආරක්ෂක රාජකාරි නොකල(විශ්‍රාම වැටුපක් නැති) ස්‍රමිකයෝ!!!!

    ReplyDelete
    Replies
    1. ග්‍රාමීයව ජීවත් වන පහළම රජයේ සේවකයන් පවා අද කාර් මිළට ගෙන ඇත. මීට අවුරුදු ගණනාවකට පෙරනම් මෙය සිහිනයකි.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. රාජ්‍ය සමාගම් පිළිබඳව ඔබේ මතය එතරම් නිවැරදි නොවේ. ශ්‍රී ලන්කන් වැනි රාජ්‍ය සමාගම් ඇතිවන්නේ හුදෙක් රාජ්‍ය අංශයේ දෙපාර්තමේන්තු ව්‍යුහය මෙවන් ව්‍යාපාර සඳහා නුසුදුසු වීම නිසයි. තවත් හේතුවක් තමයි මේවන ව්‍යාපාර තරඟ කාරීව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය රජයකට දැරීමට අපහසු වීම. ලංකාවේ පමණක් නොව මේ තත්ත්වය ඇතැම් විදෙස් රටවලත් දැකිය හැකියි. උදාහරණයක් ලෙස ඕස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය ලංකාවේ වගේම රජයට වැඩිපුර කොටස් හිමි රාජ්‍ය සමාගමක්. ගුවන් සේවය, පොදු ප්‍රවාහන සේවා (දුම්රිය වැනි) රාජ්‍ය සහ පෞද්ගලික අංශ දෙකේම සහභාගීත්වයෙන් ලෝකයේ අනිත් රටවල බොහෝ හොඳින් ක්‍රියාත්මක වෙනවා. මේ ආයතන 100%ක් පෞද්ගලික අංශයට නොදෙන්නේ ඒවා රටේ පොදු සේවා සපයන ආයතන නිසයි. ලංකාවේ දුම්රිය සේවය දැන් තිබෙන තැනින් ඉදිරියට ගෙනයන්න කවදා හෝ සිදුකළ යුත්තේත් පෞද්ගලික අංශය හා එක්ව සමාගමක් ලෙස ව්‍යුහ ගත කිරීමෙන් පමණයි. ලංකාවේ රාජ්‍ය සමාගම්වල කොටස් යම් ප්‍රමාණයක් හෝ පෞද්ගලික අංශයට යා යුතුයි. පවතින රජය යටතේ එය බොහෝ දුරට සිදුවන්නට ඉඩ තිබෙනවා. රජයට අදායම් උපයාගන්න හොඳම ක්‍රමයක් තමයි ඔය සමාගම්වල කොටස් විකිණීම.

    නමුත් මේ රටවල් ලංකාවේ වගේ මේ සමාගම් වල කටයුතු වලට රජයේ ඇඟිලි ගැසීමක් කරන්නේ නැහැ. රජය ඒවායේ පරිපාලනයට මැදිහත්වන්නේ කොටස්කරුවෙකු ලෙස පමණයි. ලංකාවේ තත්ත්වය මීට වඩා වෙනස්. රජයේ දෙපාර්තමේන්තුවට, සංස්ථාවට වගේම රජයේ සමාගමටත් පාලනයේ ඇඟිලි ගැසීම් එක විදිහට සිදුවෙනවා. මේ රාජ්‍ය ආයතනවල වෙනසක් දකින්නට නොහැකිවන්නේ ඒ නිසයි.

    ReplyDelete
  4. ඔබ සාහන් කර ඇති ආකාරයට ලංකාවේ " ඇත්ත පීඩිත ජනකොටසක්" සිටී.නමුත් ඔවුන් ඒ බව නොදනී යන්න මගේ අදහසයි.
    තවද එක් පන්තියකට බැනවදිමින් එම පන්තියේම සාමාජිකත්වය තමාට බැරිනම් තම දරුවාට හෝ ලබා දීමට වෙහෙසෙන පිරිසක් බවට ඔවුන් , ඔවුන් වත් නොදැනුවත්ව පත්ව තිබීම සමස්ත රටටම සාපයකි.
    ඔව් , ඔබ සදහන් කර ඇති ආකාරයට ,කල යුත්තේ ජනතාව ජාතිවාදයෙන් තෙම්පරාදු කිරීම නොව තමා සිටින තැන සහ සිටිය යුතු තැන නිවැරදි කර දීම සහ එයට යා යුතු නිවැරදි මග ජාතිවාදය පසෙක ලා පෙන්වාදීමයි.

    ReplyDelete
    Replies
    1. මෙතැනදී සැලකිල්ලට ගත යුතු තවත් කාරණයක් තිබේ. ලංකාවේ පීඩිත ජනතාවට නිර්ධන පංති ආඥාදායකත්වයක් පිහිටුවා ගන්නට උවමනාවක් තිබේ ද? එහෙම පිහිටුවා ගත්තා ය කියා තමන්ගේ ජීවිත යහපත් කර ගැනීමට කළ හැකි දෙයක් තිබේ ද? සෝවියට් දේශයේ අසාර්ථක අත්දැකීම අප නො තකා හළ යුතු ද?

      ජවිපෙ, පෙසප වැනි මාක්ස්වාදී මූලධාර්මික පක්ෂ බැහැර කළ යුත්තේ ඒ නිසා ය. සම්භාව්‍ය මාක්ස්වාදී න්‍යායන්ගෙන් හා සෝවියට මාදිලියේ විප්ලවයකින් 21වන සියවසේ ලංකාවේ කළ හැකි දෙයක් නැත.

      ලංකාවේ සියලු ජනතාවට මීට වඩා යහපත් සමාජයක් නිර්මානය කර ගත හැකි විකල්ප දේශපාලනයකින් මිස පොතේගුරුවාදවලින් ලංකාවට කිසිදු ප්‍රයෝජනයක් නැත.

      අප විසින් සලකා බැලිය යුතු කාරණා වන්නේ අප මේ වන විට සමාජ සංවර්ධනය පැත්තෙන් අත්පත් කරගෙන ඇති තැන කුමක් ද, එතනින් ඉදිරියට යාමට කළ යුත්තේ කුමක් ද, ඉදිරි ගමන වැළැක්වීමට හේතු වන අභියෝග මොනවා ද? ඒ අභියෝග ජය ගත හැක්කේ කෙසේ ද යන කාරණා ය.

      ලංකාව පහසුවෙන් බිඳිය හැකි භංගුර රාජ්‍යයකි. සමාජ යහපත වෙනුවෙන් කළ යුතුව තිබෙන්නේ හැකි තරම් ගැටුම් හා අර්බුද රහිත වාතාවරණයක් පවත්වාගෙන යාමයි.

      Delete
  5. මහත්මයා.. වැඩ කරන ජනතාව මේ පාර වැඩ වර්ජන කරන්නෙ කහනවට නෙවෙයි. එහෙමත් නැත්තං ඔය කෙහෙල්මල් සමාජවාදී කාරයන් කියන දේවල් තේරෙනවටත් නෙවෙයි. මේ කාලකන්ණි ආන්ඩුව කෝටියක් බොරු කියා බලය ලබාගෙන ඒ බලය ලබාදුන් මධ්‍යම පාන්තිකයාටම කටුකම්බි පස්චාත් භාගයේ අරිනවට විරුද්ධව. එහෙමත් නැත්තං ඒ පොරොන්දුත් මේ අයවැයෙන් කල දේත් මත ඇතිවූ අපේක්ෂා භංගත්වය නිසා. ආණ්ඩුව ජනතා විරෝධී වැඩ කරනකොට ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතු විපක්ෂයත් ආණ්ඩුවටම කඩේ යාම නිසා ඇති වූ අපේක්ෂා භංගත්වය නිසා.

    ReplyDelete
    Replies
    1. ඔයා බබෙක් ද? දේශපාලකයන් ඡන්දවලදී දුන් පොරොන්දු ඉටු නො කළ පළමු අවස්ථාව මේක ද? අනෙක ඉටු කරපු පොරොන්දු කිසිවක් නැද්ද?

      අපි නම් ඔය පොරොන්දු නිසා නෙමෙයි මේ ආණ්ඩුවට ඡන්දය දුන්නේ. බලයට පත් වෙන කවර ආණ්ඩුවකට වුණත් ප්‍රාතිහාර්ය කරන්නට බැරි බව අපි නම් දැනගෙන හිටියා.

      මෙවැනි ආර්ථික තත්වයකට රට පත් වුණ විටදි වගකිව යුතු පුරවැසියන් නම් කළ යුත්තේ කරන්නට බැරි දේ ඉල්ලා ආණ්ඩු පෙරළීම නොවෙයි. දුෂ්කර අවස්ථාව පියමං කරන්නට සහාය දීමයි.

      මේ වසර මුලදී රජය රු. 10,000කින් රජයේ සේවකයන්ට පඩි වැඩි කළ බව මෙච්චර ඉක්මණට අමතක කරන්නේ ඇයි? එවැනි මුදලකින් එක වර පඩි වැඩි කළ කිසිම ආණ්ඩුවක් ඉතිහාසයේ තිබුණා ද?

      ආණ්ඩුව දැන් බැලිය යුත්තේ මේ රටට ආදායම් උපදවන සැබෑ වැඩ කරන ජනතාව ගැන මිස රජයේ සේවකයන් ගැන නොවෙයි.

      Delete
  6. ඇත්ත. මෙතෙක් බලයට පත්වූ කිසිම ආණ්ඩුවක් චන්දයට කලින් ලබා දුන් පොරොන්දු 100% ඉටු කර නැහැ. නමුත් ඒ කිසිම ආණ්ඩුවක් මේ ආණ්ඩුව තරමට තමන් බලයට ඒම ට පෙර දුන් පොරොන්දු වලට මේ තරම් අසික්ෂිත ලෙස පශ්චාත් භාගය පෙන්වාත් නැහැ. අමතක කරන්න එපා පෞද්ගලික බැංකුත් මේ වර්ජනයට සහභාගි වෙනවා කියල. හරි විපක්ෂයක් තිබුණා නම් වැඩ කරන ජනතාවට (රාජ්‍ය හා පුද්ගලික අංශ වල ) උන්ගේ පිටින් හරි කේන්තිය යවාගන්න තිබුණා. දැන් එහෙම එකක් වත් නෑ. ඉතිං වැඩ වර්ජන නොකර වෙන මොනවා කරන්න ද ?

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ මධ්‍යම පංතිය වැඩියෙන් ම අසතුටු කළ අයවැය මේක නෙමෙයි. මීට වඩා ඕනැ තරම් අයවැයවලින් මධ්‍යම පංතියට අසතුටු වෙන්න කාරණා තිබුණා. මධ්‍යම පංතිය වැඩියෙන් ම අසතුටු කරපු එක කාරණාවක් තමයි ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස. දැන් ඔවුන්ට ඒක තිබෙනවා. දැන් තිබෙන ගැටලුව මධ්‍යම පංතියට සිය බලය අහිමි වීම පිළිබඳ ගැටලුවයි.

      මේ වර්ජකයන්ට සාමාන්‍යයෙන් ලංකාවේ සැබෑ වැඩ කරන ජනතාවට වැඩිය උසස් ජීවිත තිබෙනවා.ඒවා අහිමි වීමේ තර්ජනයකුත් ඇත්තෙන් ම අයවැයෙන් නිර්මානය වන්නේ නැහැ. මේ වර්ජනය කරන්නේ තනිකර ම පවත්නා නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී තත්වය අවභාවිතාවේ යොදවමින් සමස්ත සමාජය ම මත සිය බලය පතුරුවන්නටයි.

      මොවුන් ඉල්ලා සිටින කිසිවක් දීමේ හැකියාව ආණ්ඩුවට නැහැ. ඔවුන් කරන දෙයින් සිදු වන්නේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය හැකිළෙන එකයි.

      Delete
  7. ලංකාවේ ඉන්නා ගතානුගතික මාක්ස්වාදීන් කවුරු උනත් මාක්ස්වාදය, ලෙනින්ගේ බොල්ෂෙවික් පක්ෂය, නිර්ධන පංති අඥාදායකත්වය, ධනපති පංතිය, ආදිය කතාකිරීමේදී ඔබගේ වාක්‍ය කකිහිපයක ඇති පැහැදිලි කිරීම් අසාර්ථකය. සමාජවාදය හෝ මාකස්විදය ගැන විවේචනය කිරීමට පෙර ධනවාදය යනු කුමක්දැයි සවිස්තරව තේරුම් ගතයුතුය. අප ධනවාදය යනු කුමක්දැයි හරියට නොදැන කරන විශ්ලේෂන අපේම නොදැනුවත්කම පෙන්නුම්කරයි. ඔබේ ලිපිය ඔබ නැවත කියවන්න. ඔබ කියන්න අදහස් කරන්නේ කුමක්ද?

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.