2016-01-25

මේ අවුරුද්දේ රජය ගෙවිය යුතු ණය ප්‍ර‍මාණය රු. බිලියන 300ක් බව ඔබ දන්නවා ද?

(උපුටා ගැනීම රාවය පුවත්පතෙනි.) 
ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට 2016 වසරේදී ගෙවීමට තිබෙන දේශීය හා විදේශීය ණය ප්‍රමාණය කොපමණ යයි ඔබ සිතනවා ද?

එය දළ වශයෙන් ඩොලර් බිලියන දෙකක් ලෙස ගණන් බලා තිබේ. ඒ කියන්නේ රුපියල් බිලියන 300කට ආසන්න මුදලකි. 

ඉලක්කමෙන් කියනවා නම් රු. 300,000,000,000ක් ගෙවිය යුතු ය.

ඒ කියන්නේ ලංකාවේ මිලියන 20.4ක් වන ජනගහණයෙන් සෑම පුරවැසියෙක් ම මේ වසරේදී රු. 14,700ක පමණ මුදලක් රජයේ ණය වෙනුවෙන් ගෙවිය යුතු ය.

ණය හා පොළී වෙනුවෙන් රජය ගෙවිය යුතු මුදල 2016 වසරේ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් වෙන් කර තිබෙන මුදලට සමාන ය. 

රජය මෙතරම් ණය ගනිමින් කරන දේ මොනවා ද? රජයේ වියදම්වලින් 50%ක් පමණ වැය වන්නේ ගත් ණය වෙනුවෙන් පොළී ගෙවන්නට හා රජයේ සේවක වැටුප්, විශ්‍ර‍ාම වැටුප් ආදිය ගෙවන්නට ය. 

එහෙත්, රජයෙන් ලැබෙන සේවාවන් ගැන කිසිවෙක් තෘප්තිමත් නැත. 

අකාර්යක්ෂම රාජ්‍ය අංශයක් නඩත්තු කරන්නට අප මෙතරම් ණය විය යුත්තේ ඇයි. 

රජය වෙනුවෙන් අප ගෙවන හා ණය වන මුදලට සාපේක්ෂව අපට වටිනාකම් ලැබේ ද? 

අනෙක් පැත්තෙන් මේ අන්දමින් රජයට ඉදිරියට යා නො හැකි ය. ණය වෙමින්, ණය ගෙවන්නට නැවත නැවත ණය වෙමින් රජයක් නොව සාමාන්‍ය ගෘහ ආර්ථිකයක්වත් පවත්වාගෙන යා නො හැකි බව අපි දනිමු. 

රජය ගොඩනගා ගත්තේ මහජනතාව ය. එය පවත්වාගෙන යන්නේ ද මහජනතාව විසිනි. එහෙයින් මේ යථාර්ථයට මුහුණ දීමේදී ජනතාවට රජයට පරිබාහිර බලවේගයක් ලෙස කටයුතු කරන්නට බැරි ය. 

මහජනතාවගෙන් කොටසක් එසේ කටයුතු කරති. ඒ වනාහි දේශපාලකයෝ ය. ලංකාවේ දේශපාලකයන් යනු වගකීමක් නැති, බලලෝභී, දේශද්‍රෝහී, නීච බලවේගයක් බව අමුතුවෙන් කිව යුතු නැත. 

නිදසුනක් ලෙස වාමාංශිකයන් සලකා බලමු. රජය මෙවැනි ආර්ථික අර්බුදයක් මැද සිටියදී ඔවුහු යට ඇඳුම දක්වා දේවල් රජයෙන් ඉල්ලා සිටිති. කාර්යක්ෂමතාව ගැන තඹ දොයිතුවකට මායිම් නො කර, රාජ්‍ය අංශය තව තවත් පුළුල් කරන්නැයි ඉල්ලීම් ඉදිරිපත් කරති. 

මෙයින් ඔවුන් බලාපොරොත්තු වනවා ඇත්තේ කුමක් ද? රජය කඩා වැටී ඔවුන්ට බලය ලබා ගත හැකි වාතාවරණයක් නිර්මානය වනවා ඇත. මන්ද, ලංකාවේ රජය ඇත්තේ ඉතා පහසුවෙන් බිඳ වැටිය හැකි භංගුර තත්වයක ය. 

වාමාංශිකයන් බලය ගත්තා ය කියා මේ පවතින අර්බුදයට විසඳුම් දෙන්නට ඔවුන්ට වැඩපිළිවෙලක් තිබේ ද? 

අවසානයේදී සිදු වනු ඇත්තේ නැවත වතාවක් 2005දී සිදු වූවා සේ උම්මත්තකයන් පිරිසක් අතට බලය යාමයි. 

මේ සියලු අර්බුද මැද ලංකාව සමාජ සංවර්ධනය පැත්තෙන් අත් කර ගත් බොහෝ ජයග්‍ර‍හණ තිබේ. නිදසුනක් ලෙස ජනතාවගේ සාක්ෂරතාව, ආයු අපේක්ෂාව, මාතෘ හා ළදරු මරණ අනුපාතික, පෝෂණය, ආහාර සුරක්ෂිතතාව ආදී කාරණා විෂයෙහි අප විසින් අත්පත් කරගෙන තිබෙන තත්වයන් අහිමි වීමේ අවදානමක් අප භාර ගත යුත්තේ කුමට ද? 

අර්බුදයට විසඳුම් සෙවීමේදී හා විකල්ප නිර්මානය කිරීමේදී අප කටයුතු කළ යුත්තේ කඩල අහුරක් අතින් ගෙන ගසකට නැගි වඳුරා කළ පරිද්දෙන් නො වේ. එක් කඩල ඇටයක් බිමට වැටුණු විට වඳුරා කළේ කඩල අහුර ම අතහැර අර වැටෙන කඩල ඇටය අල්ලා ගැනීමට පැනීමයි.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

38 comments:

  1. අකාර්යක්ෂම රාජ්‍ය අංශයක් නඩත්තු කරන්නට අප මෙතරම් ණය විය යුත්තේ ඇයි? I don't know why ?

    කාර්යක්ෂමතාව ගැන තඹ දොයිතුවකට මායිම් නො කර, රාජ්‍ය අංශය තව තවත් පුළුල් කරන්නැයි ඉල්ලීම් ඉදිරිපත් කරති. It's true.

    රජය වෙනුවෙන් අප ගෙවන හා ණය වන මුදලට සාපේක්ෂව අපට වටිනාකම් ලැබේ ද? No. Therefore,

    රජය මෙවැනි ආර්ථික අර්බුදයක් මැද සිටියදී ඔවුහු යට ඇඳුම දක්වා දේවල් රජයෙන් ඉල්ලා සිටිති.

    This is a cycle.

    ReplyDelete
  2. පැරකුම් විසින් මෙම ආණ්ඩුව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙන සිටිමට පටන් ගෙන ඇති අතර වාමාශිකයින් විසින් රට මේ තරම් ආගාධයකට තල්ලුකර දමා ඇති බවත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිසා රජය මේ තරම් අර්බුධයට ගොස් ඇති බවත් ප්‍රකාශකර සිටියි. පැවති ආණ්ඩුවලට සහ දැනට තියෙන රනිල් මෛත්‍රී යහපාලන නඩයට ණය ගැනීමට සිදුවී ඇත්තේ වාමාංශිකයින්ගේ වරදින්ය. රාජ්‍ය සේවය අකාර්යක්ෂම වී ඇත්තේ වාමාංශිකයින්්ගේ තිබෙන දුර්වලතාවයන් නිසාය. රාජ්‍ය සේවයට පැවති ආණ්ඩු විසින් කිසිදු සොයා බැලීමකින් තොරව මිනිසුන් පත්කරවාගෙන ඇත්තේද, තමන්ගේ සහචරයින්ට ආණුඩුවේ ආයතනවල තනතුරු ලබාදී ඇත්තේද වාමාංශිකයින්ගේ ඉල්ලීම පරිදිය.

    මෙවැනි ගැටලු විසදීමට පැරකුම් සොයාගෙන තියෙන හොදම දෙයනම් රනිල් මෛත්‍රී යහපාලනයයි. නැවත මහින්ද ඇතුලු පිරිස අතට බලය ලැබිම වැලැක්වීම සදහා මෙම ආණ්ඩුව මොනදේ කලත් එය හොද ලෙස අප කල්පනා කල යුතුය. සියලුම වාමාංශික දේශපාලන පක්ෂ විනාශකර දැමිමෙන් තොරව ආණ්ඩුවට කිසිවක් කල නොහැක ඒ නිසා ජනතාවනි වාමාංශික දේශපාලනික භාවිතාවන් විනාශ කිරීම සදහා සියල්ල පසෙකලා සංවිධානය වන්න..........

    ReplyDelete
    Replies
    1. අදහස් වලින් එල්ලවූ ප්‍රහාර දරාගැනීමට නොහැකිව බ්ලොග් වසා පැනගිය උන්දලාට උත්තර දීමට මොකට මන්සිවෙනවා ද මන්ද මේ පැරා ?
      මංගලට එකෙන්ම පිස්සු. පැරාට නම් සමාජවාදී පිස්සුව සම්පූර්ණයෙන්ම සුවයි වගේ පෙන්නේ.

      Delete
    2. මා කිසිදා බ්ලොග් එකක් පවත්වාගෙන නොගිය බැවින් ඔබ කිසියම් වැරදි වැටහිමක ඉන්නා බව පෙනේ.

      Delete
  3. ඔබ ඔය කියන කිසිවක් මා කියා ඇති ද කියා ආපසු පරීක්ෂා කර බලන්න. ඔය සියල්ල ඔබගේ ඔලුවේ නිර්මානය වූ අදහස් ය.

    යමක් කියවා එහි කියා ඇති දේ තේරුම් ගැනීම වෙනුවට මෙවැනි නර්මාලාප දෙඩීම සාමාන්‍යයෙන් වාමාංශිකයන්ගේ ලක්ෂණයකි.

    ඔබ වැනි අයට කෙතරම් කීවත් තේරෙන්නේ නැත. හේතුව ඔබගේ ඔලුව මෙවැනි මනස්ගාතවලින් පිරී තිබේ.

    මා වාමාංශිකයන් ගත්තේ උදාහරණයකට ය. එසේම, මා වාමාංශිකයන් විවේචනය කරන්නේ නිවැරදි වාමාංශික දේශපාලනය ඔබ කරන දේ නො වන නිසා ය.

    පළමුව කියවා තේරුම් ගෙන මා මතු කරන කාරණාවලට පිළිතුරු දෙන්න.

    ReplyDelete
    Replies
    1. //වාමාංශිකයන්ට ලංකාවේ මේ මොහොතේ පවතින ප්‍රශ්නවලට විසඳුම් දෙන්න කිසිදු වැඩපිළිවෙලකුත් නැහැ. කුමන අඩුපාඩුකම් මධ්‍යයේ වුණත්, 2015 ජනවාරි 08දා බලයට පැමිණි ආණ්ඩුව ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන ගැටලු සමග පොරබැදීමක යෙදී සිටින බව කිව යුතුයි. ලොකු ප්‍රාතිහාර්යයක් දකින්නට නැති වුණත්, ඔවුහු අරගලයක් කරනවා. ලංකාවේ රජයේ අය වැය පරතරය හා ණය බර අඩු කර ගන්නට, ආයෝජකයන් හා සංචාරකයන් ආකර්ශනය කර ගන්නට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය කරන්නට, නීතියේ ආධිපත්‍යය යළි පිහිටුවන්නට හා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නට පාලකයෝ යම් උත්සාහයක් දරනවා. ඒක පරිසමාප්ත නැහැ. දිගු කලක සිට රෝගී වී සිටින දේශපාලන ක්‍රමයක් තුළ අපට එකපාරට ම එවැනි තත්වයක් බලාපොරෛාත්තු වන්නට බැහැ. ඒ වගේ ම කලින් සිට පැවති රෝග ලක්ෂණ මතු වන එකත් වළක්වන්නට බැහැ.// මේ රනිල් මෛත්‍රී යහපාලන නඩය පිලිබදව ඔබගේ දැක්මය

      //වාමාංශිකයන් ගැන අතිශය අසුබවාදී වීම අත්‍යවශ්‍ය දෙයක්. මන්ද, වාමාංශිකයන් මේ රටේ පරම්පරා දෙකක්, තුනක් ගඟේ යැව්වා. ඒවායින් පාඩමක් ඉගෙන නො ගත්, විජේවීරගේ කතා විලාසයේ සිටන් කොපි කරන අනුකරණවාදීන් කැලතක් නැවත මතු වී ඉතිහාසය පුනරුච්චාරණය කරන්නට උත්සාහ කරමින් ඉන්න සංදර්භයක තවත් පරම්පරාවක් ගඟේ යවන්නට ඔවුන්ට ඉඩ නො දිය යුතු බවයි මම නම් හිතන්නේ. // මේ වාමාංශික දේශපාලනය විනාශ කල යුතුය යන ඔබගේම අදහසය

      //නිදසුනක් ලෙස වාමාංශිකයන් සලකා බලමු. රජය මෙවැනි ආර්ථික අර්බුදයක් මැද සිටියදී ඔවුහු යට ඇඳුම දක්වා දේවල් රජයෙන් ඉල්ලා සිටිති. කාර්යක්ෂමතාව ගැන තඹ දොයිතුවකට මායිම් නො කර, රාජ්‍ය අංශය තව තවත් පුළුල් කරන්නැයි ඉල්ලීම් ඉදිරිපත් කරති.// මේ රජයේ සේවය වැඩිකිරිම සහ සියල්ල රජයෙන් ඉල්ලා සිටින වාමාංශිකයින් පිලිබදවය.

      Delete
  4. රජ්‍ය සේවයේ අකර්යක්ෂමතාවයන් බොහෝමයක් ඇත එහෙත් එය පැරකුම් කියන තරමේ දෙයක් නොවේය. රජයේ සේවකයින්ට ගෙවන වැටුප් සහ දීමනා වෙනුවෙන් ලැබෙන සල්ලි කොල එම රජයේ සේවකයින් අන්‍ුභව කරන්නේ නැත. ඒවා නැවත බදු මුදල් ලෙස රජය අතටම එනවාය. එයින් ජනතාවට අවශ්‍ය භාණ්ඩ හා සේවවන් ගැනීම වෙනුවෙන් විදේශයන්ට යන කොටස හැර ඉතිරි සියල්ල රට ඇතුලේම කැරකෙනවාය. එම මුදල් වියදම් කිරීම නිසා ජනතාවගේ අපේක්ෂිත ආයුකාලය වැඩිවෙනවාය, සාක්ෂරතාවය ඉහල යනවාය.

    රජයේ සේවය කාර්යක්ෂම කිරීම යනු දැනට සිටින රජයේ සේවකයින් ගෙවල් වලට එළවීම නොවේය. ඒ වෙනුවට ඔවුන්ට සේවය කල හැකි කර්මාන්තයන් , සේවවන් ඇතිවිය යුතුය. එලෙස නොකර දැනට සිටින රජයේ සේවකයින් ගෙදර යවා රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්නට බැරිය. ආරක්ෂක වියදම් සියල්ල කපා දමා ණය ගෙවීමට නොහැකිය.

    //රජයේ සේවකයාට කරන තවත් ජනප්‍රිය චෝදනාවක් නම් බදු මුදලින් පඩි කනවා යන්නය. රජයේ සේවකයාද වැඩකරයි. ඔහු/ඇය වැටුප් ලබන්නෙ කරන වැඩවලටය. ඒ නිසා රජයේ සේවකයා කාටවත් ණය නැත.රජයේ සේවකයාගේ ස්වාමියා රජයයි. රජයේ සේවකයා රජය නම් හාම්පුතාට වැඩකර වැටුප් ලබයි. වෙන දෙයක් නැත. රජය සුබසාධන ආයතනයක් ලෙසද ක්‍රියා කරයි. සුබසාධන වැඩ , ආරක්ෂක කාර්යයන්, වැනි දේ රජය කරයි. රජය ලාභ ලබන සමාගමක් නොවේ. මේ නිසා රජයේ සේවකයාටද පෞද්ගලික අංශයේ සේවකයාගේ මානසිකත්වය ආරෝපනය කළ නොහැක. රජයේ සේවකයා දෙස පෞද්ගලික අංශයේ සේවකයන් දෙස බලන ලෙස බලන්නට සමාජයද පුරුදු නොවිය යුතුය.
    රජයේ සේවකයාගේ වැරදි ඇත්තටම ඔහුගේ වැරදි නොව ක්‍රමයේ වැරදිය.මෙය කළැ යුත්තෙ පෞද්ගලික අංශයේ ආකර්ශනය වැඩි කිරීමෙනි. අවිධිමත්ව රජයේ සේවයට බදවාගැනීම් නොකිරීමෙනි.// මාගේ අදහසද මෙයට ආසන්න වන බැවින් මෙම කොටස යකාගේ අඩවියෙන් උපුටා ගන්නා ලදි (http://yakaageadaviya.blogspot.com/2015/12/blog-post.html)

    පැරකුම්ගේ ඊලග යෝජනාව වන්නේ රජය විසින් ලබාදෙන සේවාවන් ඵලදායි නොවන බැවින් එම සේවාවන් පෞද්ගලික අංශයට පැවරිය යුතුය යන්නය. ඒ අනුව රජය සෞඛ්‍ය, අධ්‍යපනය, (ලක්ෂ 5කට ආසන්න රජයේ සේවකයින් පිරිසක් සිටින්නේ මෙම ක්ෂෙත්‍ර දෙකෙය, තවත් ලක්ෂ 4කට වැඩි පිරිසක් සිටින්නේ ආරක්ෂක හමුදාවල හා පොලිසියේය) දුම්රිය, ඛණිජ තෙල් සැපයිම, වරාය, විදුලිය, පානීය ජලය බෙදා හැරීම ආදි අංශයන් පෞද්ගලික කල යුතු බවය.

    ReplyDelete
    Replies
    1. ඔබ ඔය කියන කිසිවක් මා කියා ඇති ද කියා ආපසු පරීක්ෂා කර බලන්න. ඔය සියල්ල ඔබගේ ඔලුවේ නිර්මානය වූ අදහස් ය.

      යමක් කියවා එහි කියා ඇති දේ තේරුම් ගැනීම වෙනුවට මෙවැනි නර්මාලාප දෙඩීම සාමාන්‍යයෙන් වාමාංශිකයන්ගේ ලක්ෂණයකි.

      ඔබ වැනි අයට කෙතරම් කීවත් තේරෙන්නේ නැත. හේතුව ඔබගේ ඔලුව මෙවැනි මනස්ගාතවලින් පිරී තිබේ.

      Delete
    2. මේ කිසිවක් ඔබ කියුවා කියා නොමැත. මෙහි අවසාන ජේදයේ ඇත්තේ ඉදිරියේදි ඔබ කිමට නියමිත කරුණුය. ඉතිරි කරුණු මාගේ අදහස්ය.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. මා ඉදිරියට කියන්නට සිටින දේ මාවත් තවම දන්නේ නැත. එහෙත්, ප්‍ර‍දීප් මංගල දනියි. ඇත්තට ම ඔබ මහින්ද රාජපක්ෂට ගැලපෙන ආශ්චර්යයකි.

      Delete
    5. ඔබ ආණ්ඩුව වෙනුවෙන් පෙනි සිටිමේ සීමාව අනුව ඉදිරියේදි ඔවැනි ප්‍රකාශයන් කල හැකි බව කල්පනාවීම ආශ්චර්යයක් නොවේය. ඔබලාගේ සීතීම අනුව පළමුව කලයුත්තේ මහින්දට අවස්ථාව ලබා නොදිමය. ඒ වෙනුවට ඔහුගේ වැඩපිලිවෙල වෙනත් කෙනෙකු කලාට කම් නැත.

      ණය වෙමින් සහ නැවත එම ණය ගෙවීම සදහා ණය වෙමින් මෙම ක්‍රමය පවත්වා ගෙන යාම සිදු කරන්නේ බහුතරයක් ජනතාවගේ එකගතාවය ඇතුවය. එබැවින් බහුතරයක් ජනතාවගේ ආකල්ප හා දැක්ම වෙනස් කරන්නේ නැතුව වාමාංශිකයින්ට හෝ වෙන කාට හෝ මෙම පවතින තත්වය වෙනස්කල නොහැකිය.

      මාගේ විශ්වාසය අනුව වාමාංශික දේශපාලන මැදිහත්වීමකින් ජනතාවගේ ආකල්ප හා දැක්ම වෙනස් කිරීමකින් තොරව දැනට සිටින පාලකයින් කළමනාකරණය කර ගැනීමෙන් හෝ පාලකයින්ගේ මුහුණු වෙනස් කිරීමෙන් පොදුවේ ජනතාවට විශේෂ වාසියක් අත්වන්නේ නැත.

      Delete
  5. මේ පිස්සු යකාට වඩා හිටපු යකා හොඳයි වගේ.

    ReplyDelete
  6. ගෙවන්නට තිබෙන ගණන පමණක් නොව 2015 වසරේදී ගත් ණය සහ නිකුත් කල මහබැංකු බැඳුම්කර (මෙයද ණය විශේෂයක් වන නමුත් රජය සටකපට ලෙස ණයක් බව නොපෙන්වයී) වල වටිනාකම දන්නවාද? එයද බිලියන ගණනකි. මෙම 2016 වසරේද චීනයෙන්, අයි.එම්.එෆ් ආදී ආයතනවලින් ඉතා විශාල ලෙස ණය ගැනීමටත් බැඳුම්කර නිකුත්කිරීමටත් බලාපොරොත්තුවන බව ගරු අගමැතිතුමාගේ 2016 ස්විස් ඉකොනොමික් ෆෝරම් කතාවෙන් පැහැදිලි වුනා.

    https://www.youtube.com/watch?v=qxfw6dFvr9g

    ඒ සමගම ප්‍රතිව්‍යුහගත කිරීම සහ පුද්ගලීකරණය සඳහාත් යොමුවන බවක් පෙනෙනවා. මීට විසඳුම් කවරේද?

    ReplyDelete
    Replies
    1. ඔව්. ප්‍ර‍ශ්නය සාකච්ඡා කළ යුත්තේ එතැන සිටයි. අපි පත් කර ගත යුතුව තිබෙන්නේ තව තවත ණය ගනිමින් අප අමාරුවේ දමන ආණ්ඩුවක් ද? එහෙම නැති ආණ්ඩුවක් සම්බන්ධ වගකීම භාර ගන්න මහජනතාව ලෙස අපි සූදානම් ද?

      මහජනතාව කියන්නේ රාජ්‍ය පාලනයේ කොටස්කරුවන් පිරිසක් මිස බාහිර බලවේගයක් නෙමෙයි. මහජනතාව දේශපාලකයන්ගෙන් නත්තල් සීයා වැනි තත්වයක් බලාපොරොත්තු නො වී, විසඳුම් නිර්මානයේ වගකීම අතට ගන්න ඕනැ.

      Delete
  7. මත්තලට, සූරිය වැවට, නෝරච්චෝලෙට ගත්ත ණය ගෙවන්න ඕන ඒවයින් ආදායම රට ලැබුණත් නැතත්. අනික ණය අරගෙන තියෙන්නේ 8% පොලියට. මහවැලියට ගත්ත ණය ගෙවන්න ගියේ අවුරුදු 12 යි. ඒකට හේතුව ඒවා පොලී රහිත හෝ 0.5% පොලියට ගත්තු ණය නිසා. සිමෙන්ති කොන්ක්‍රීට් සංවර්ධනේ මවල පෙන්නුවම රැවටුන අයයි අනික් අයයි දෙගොල්ලොම ණය ගෙවන්න දායක වෙන්න වෙනව. ඕනම රටක්, පවුලක්, පුද්ගලයෙක් තමන්ගේ ආදායම් මාර්ග වල ප්‍රමාණයට වඩා ණය ගත්තම මේක වෙනව. අනික ඩොලර් ආපු මාර්ග ජී එස් පී ප්ලස් වලටත් කෙලෙව්වනෙ.

    ReplyDelete
    Replies
    1. "මත්තලට, සූරිය වැවට, නෝරච්චෝලෙට ගත්ත ණය ගෙවන්න ඕන ඒවයින් ආදායම රට ලැබුණත් නැතත්. අනික ණය අරගෙන තියෙන්නේ 8% පොලියට. ලංකාවේ හැම කෙනෙක්ම රුපියල් ලක්ෂ 4 ක් පමණ ලෝක බැංකුවට සහ චීනෙට ණය බව."

      ඔය කිවුවාට අපි හැමෝම ඕක හරියටම දැන ගැනීමටනම් පළමුව මහ බැංකුව වාර්තාවට යායුතුය. මහ බැංකු වාර්තාවේ හැටියට පහුගිය 2014 අවසන් වන විට අප විසින් පහුගිය කාලයේ තෝරාගත් පාලකයින් විසින් පක්ෂ භේදයකින් තොරව අපි වෙනුවෙන් ණය වී ඇති මුදල රුපියල් කෝටි වලින් හත් ලක්ෂ තිස් නමදාහකි. කෝටි දෙකකට ටිකක් වැඩි අපේ රටේ ජනගහනයෙන් මේ මුදල බෙදූ විට එක් අයෙකුගේ පංගුව රුපියල් 358,103කි.

      1990දී රුපියල් 18,265ක් වූ ඒක පුද්ගල ණය සෑම වසර පහකටම පසු දෙගුණයක් පමණ දක්වා වැඩි වී 2014 වසර අවසන් වන විට රුපියල් 358,103ක් දක්වා විසිගුණයකින් පමණ වැඩි වී තිබේ. රුපියල අවප්‍රමාණය වීම නිසා සිදු වන වෙනස ඉවත් කළත් ණය ප්‍රමාණය හයගුණයකින් වැඩිවී ඇත. 2015 වසරේ පසුගිය මාස හය තුලදී තොග ගාණට විකිණූ බැඳුම්කර ඇතුළු අළුත් ණය එකතු කළ විට මේ ගණන දැන් රුපියල් ලක්ෂ 4 ඉක්මවා තිබීමට ඉඩ තිබේ.

      කෙසේ වුවද, උඩින් සඳහන් කළ රුපියල් 358,103ක මුදල අපි ණය වී ඇත්තේ ලෝක බැංකුවට සහ චීනයට පමණක් නොවේ. අපේ ණයකාරයින්ගේ ලැයිස්තුව ඊට වඩා ගොඩක් දිගය. එයින් වැඩි ප්‍රමාණයක් එනම් රුපියල් 207,267ක් දේශීය ණයයි. ඉතිරි රුපියල් 150,836 විදේශීය ණයයි.

      විදේශීය ණය වලින් රුපියල් 43,023ක් අපි ලබාගෙන ඇත්තේ ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව වැනි බහුපාර්ශ්වීය ගිවිසුම් යටතේ ණය දෙන ආයතන වලිනි. මේ ණය සාමාන්‍යයෙන් පොලී රහිතවම හෝ සහන පොලියක් යටතේ දිගු කාලයකින් ආපසු ගෙවීමට ලබා දෙන සංවර්ධන ආධාරයි. අපේ ආදායම් තත්ත්වය අනුව දැන් අපිට මෙවැනි 'අනුකම්පාවට ලැබෙන' ණය ලබා ගැනීම පහසු නැත. ඒ ණය වැඩි වශයෙන් ලැබෙන්නේ ආදායම් තත්ත්වය අපටත් වඩා ඉතා අඩු අප්‍රිකානු රටවලටය.

      තවත් රුපියල් 38,432ක් වෙනත් රටවලින් කෙලින්ම ලබා ගත් ද්විපාර්ශ්වික ණයයි. චීන ණය ඇත්තේද මේ ගොඩේය. මෙවැනි ණය බොහෝ විට ලැබෙන්නේ නිශ්චිත ව්‍යාපෘති සඳහාය. ඇතැම් විට කෙලින්ම මුදල් වෙනුවට අදාල රටේ නිෂ්පාදනය කරන භාණ්ඩ, ශ්‍රමය හෝ උපදේශනය ලැබීමට ඉඩ තිබේ. උදාහරණයක් ලෙස යම් ප්‍රාග්ධන ව්‍යාපෘතියක් සඳහා ණය ලබා දීමේදී එහි ඉදිකිරීම් කටයුතු අදාල රටේ සමාගමකට ලබා දීම කොන්දේසියක් විය හැකිය. මේ ණය ලබාදෙන්නේ අනුකම්පාවටම නොවේ. කිසියම් වාසියක් අපේක්ෂාවෙනි. එහෙත් මේ අපේක්ෂිත වාසිය බොහෝ විට දිගුකාලීන වාසියක් වන අතර ඇතැම් විට ආර්ථික නොවන දේශපාලනික වාසියක්ද විය හැකිය.

      පසුගිය වසර අවසානයේදී අප විසින් ලබාගෙන තිබුණු එක් අයෙකුට රුපියල් 38,432ක් බැගින් වැටෙන ද්විපාර්ශ්වික ණය මල්ලේ ලොකුම ණයකරු වූයේ චීනය නොවේ. ජපානය හා ඉන්දියාව සිටියේ චීනයට උඩිනි. එක් පුද්ගලයෙකු ජපානයට රුපියල් 20,176ක්ද, ඉන්දියාවට රුපියල් 5,813ක්ද, චීනයට රුපියල් 4,251ක්ද, ජර්මනියට රුපියල් 2,100ක්ද, ඇමරිකාවට රුපියල් 1,708ක්ද ආදී වශයෙන් ණය වී තිබුණේය. කෙසේ වුවද, අළුතෙන්ම ගත් ණය සැලකිය යුතු ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ චීනයෙනි.

      Delete
    2. අතිශයින්ම අසාර්ථක වත්මන් රජයට සම්බන්ධ පිරිස් තම නිරුවත වසාගැනීමට යොදන සරල බාල බොළඳ තර්කයක් නම් පසුගිය රජයේ අධික ණය නිසා සියලුම අවුල් වී ඇති බවයි. රාජපක්ෂ රෙජීමය විසින් කරන ලද තකතිරු ක්‍රියා සහ අන්වශ්‍ය නාස්තිකාර ණය රැසකි. හැම මගුලම හම්බන්තොට හදන්න ගිහින් පටන් ගත් සූරියවැව පිටිය ඉතාම නාස්තිකාර මුග්ධ වැඩකි.

      හම්බන්තොට වරාය හෝ මත්තල ගුවන්තොටුපල තරම් නිශේධාත්මක විවේචන වලට ලක්වූ සංවර්ධන ව්‍යාපෘතියක් මෙතෙක් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වී නැතැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. එහෙත් ප‍්‍රසිද්ධියේ එම ව්‍යාපෘති වලට එරෙහිව එල්ල වූ අවලාද වලට සාධාරණ යයි පෙනෙන හේතු තිබෙන බවද පිළිගැනීමට සිදුවේ. එම ප‍්‍රසිද්ධ අවලාද වලට එරෙහිව පිළිගත හැකි මට්ටමේ පිළිතුරු රාජපක්ෂ රෙජීම රජයේ පැත්තෙන්ද ඉදිරිපත් නොවිනි. නමුත් රටේ අනාගතය පැත්තෙන් ගත් විට බරපතලම ගැටළුව වන්නේ එම ව්‍යාපෘති වලට එරෙහිව තිරය පිටුපස සිට දියත්වන ආර්ථික ඝාතක කුමන්ත‍්‍රණ එළිදරව් නොවීමය.

      හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපල එකිනෙක මත වානිජ වශයෙන් සෘජු බලපෑම් සහිතව ක‍්‍රියාත්මක විය යුතු ව්‍යාපෘති දෙකකි. ඇත්තවශයෙන්ම මත්තල ගුවන්තොටුපල ආර්ථික සහ භූ දේශපාලන උපායමාර්ගික වශයෙන් ඵලදායී වන්නේ වරාය එහි උපරිම ධාරිතාවෙන් ක‍්‍රියාත්මක වීම ආරම්භ කෙරෙන විටය. නමුත් වරාය පියවර කිහිපයකින් ක‍්‍රියාත්මක වන දිග් ගැසුනු ව්‍යාපෘතියක් බවට පත්වන තත්වයක් තුල තුවන්තොටුපල නොවැදගත් ආයෝජනයක් ලෙස විවේචනයට ලක් වේ. හම්බන්තොට වරාය එහි උපරිම විභවය අත්පත් කර ගතහොත් එය ලෝකයේ වැදගත්ම වරායවල් 10 ට අයත්වනවා පමණක් නොව කලාපයේ ප‍්‍රධානතම වරාය බවටද පත්වනු ඇත. ඊට අමතරව ඉදිරි වසර 50 කට පසුව බල ශක්ති අර්බුදයට මුහුණදීම සඳහා නිර්මාණය වන මහා පරිමාන නාවික යාත‍්‍රා ඇතුල්විය හැකි කලාපයේ එකම වරාය හම්බන්තොට බවට පත්වනු ඇත. එවිට ජාත්‍යන්තර නාවික මාර්ගයේ නාවික සැතපුම් 12 ක් ඈතින් පිහිටා ඇති පුංචි කොළඹ වරාය එම මාර්ගය ඇසට පෙනෙන දුර පිහිටි හම්බන්තොට යෝදයා අභියස අඟුටු මිට්ටකු බවට පත්වනු ඇත.

      එපමණක් නොව හම්බන්තොට ලෝකයේ අඩුම වියදමකින් ඉදිකෙරෙන වරාය බවට පත්වන්නේ එය ගොඩබිම කපා ඉදිකිරීම නිසාය. නමුත් එය පියවර කිහිපයකින් ඉදිකිරීමට යාම නිසා පිරිවැය ඉතා විශාල වශයෙන් ඉහළ යන අතර තාක්‍ෂණික ගැටළු වලටද මුහුණ දීමට සිදුවේ. ඊට අමතරව වරායට අදාල මහා පින්තූරය නිමකොට එය ලෝක නාවික ක්‍ෂේත‍්‍රයේ අලෙවිකිරීමට නොහැකි වීම නිසා වරාය ආශ‍්‍රිත අනෙකුත් කර්මාන්ත සහ සේවා සඳහා ආයෝජන අද්දවා ගැනීමටද නොහැකි වී ඇත. දැන් එම දිග්ගැසුනු ක‍්‍රියාවලියේ නිශේධාත්මක බලපෑම මත්තල ගුවන් තොටුපල මත පැටවී ඇත. ඒ නිසා මත්තල ගුවන්තොටුපලේ ඇත්ත විභවය සලකා අනාගත ආයෝජන සැලසුම් සකස් කිරීමටද නොහැකි වී ඇත. මෙම ක‍්‍රියාවලිය දැන් වරාය සහ ගුවන්තොටුපල අතර නිශේධාත්මක බලපෑම් සිදුකෙරෙන විෂම චක‍්‍රයක් බවට පත්වී ඇත.

      එම නිසා හම්බන්තොට සහ මත්තල ව්‍යාපෘති ඝාතනය කිරීම කාගේ අවශ්‍යතාවයක්ද යන්න සහ එම ඝාතක ක‍්‍රියාවලිය කුමක්දැයි හඳුනාගැනීම අද අන්තිම පැයේදී වූවද ජාතියට ඉතා වැදගත් වනු ඇත. මෙම වරාය සහ ගුවන්තොට ඒවායේ උපරිම විභවය අත්පත්කර ගතහොත් එක් පැත්තකින් සිංගප්පූරුව බරපතල ආර්ථික අර්බුධයකට ලක්වේ. එයට හේතුව එම රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම පාහේ වරායේ සහ ගුවන්තොටුපලේ ක‍්‍රියාකාරීත්වය සමඟ ගැටගැසී තිබීමය. අනෙක් පැත්තෙන් චීනය සහ ශ‍්‍රී ලංකාව අතර පැවති දැඩි ආර්ථික සබඳතා හේතුකොට ගෙන කලාපයේ නාවික සහ ගුවන් බලය ඉන්දියාවට සහ ඇමෙරිතාවට අහිතකර ලෙස කේන්ද්‍රගත විය. එම නිසා මෙම වරාය සහ ගුවන්තොටුපල වැට්ටවීම සිංගප්පූරුව, ඉන්දියාව සහ ඇමෙරිකාව යන තුන් ඈදුතු බල කේන්ත‍්‍රයට උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත් විය.

      Delete
    3. හම්බන්තොට වරායේ තාක්‍ෂණික සක්‍යතාවය පිළිබඳව මාස්ටර් ඩයිවර්ස් ආයතනයේ සභාපති, නාවික විශේෂඥ ආරියශීල වික‍්‍රමනායක විසින් අධ්‍යනයක් සිදු කළේ වරාය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර වසර 12 කට පෙරය. එදා එම අධ්‍යනය සඳහා ඒ මහතා තම පුද්ගලික ධනය මිලියන 02 කට අධික මුදලක් වියදම් කලත් ඊට රාජ්‍ය අනුග‍්‍රහය ලැබුනේ නැත. වසර 12 ක් තිස්සේ එම අධ්‍යන වාර්තාව නොසලකා හරිමින් හැංඟි මුත්තන් කෙළියේ කවුද?

      විශේෂයෙන්ම භාණ්ඩාගාර නිළධාරීන් එම ව්‍යාපෘතිය ණය ලැයිස්තුවෙන් ඉවත්කොට තැබීම සඳහා කළහැකි සෑම දෙයක්ම කළ බවට චෝදනා එල්ල වී ඇත. කෙසේවෙතත් පසු කාලීනව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ කුමන හෝ හේතුවක් මත (හැම මගුලම හම්බන්තොට හදන) ඊට දැක්වූ උනන්දුව නිසා එම ආර්ථික ඝාතකයින්ට තාවකාලිකව පසු බැසීමට සිදුවිය.

      එහෙත් මෙම ඝාතකයින් ඉතා සූක්‍ෂම ලෙස වරාය ව්‍යාපෘතිය පියවර දෙකකින් ඉදිකරන තැනට තල්ලූ කිරීමට සමත් විය. එපමණක් නොව ඔවුන් ආර්ථික හා භූගෝලීය වශයෙන් වැදගත්කමේ අනුපිළිවෙල අනුව ලැයිස්තුවේ පහලින්ම ඇති කොළඹ උතුර වරාය ඉදිරියට ගෙන ඒමට ක‍්‍රියා කළේය. නමුත් නාවික විශේෂඥයින්ට අනුව කොළඹ උතුර වරායේ විභවය හම්බන්තොට වරායේ විභවයෙන් 10% කටත් අඩු ප‍්‍රමාණයකි. ඇත්තවශයෙන්ම කොළඹ උතුර වරායට වැයකළ ඇමෙරිකානු ඩොලර් මිලියන 300 කට ආසන්න මුදලද හම්බන්තොට සඳහා යෙදවූවා නම් එම වරාය අංග සම්පූර්ණ ලෙස නිම කිරීමට වැයවන්නේ තවත් ඩොලර් මිලියන 300 කට ආසන්න මුදලකි. පළමු අධියර සඳහා වැයකළ ඩොලර් මිලියන 350 මුදල යනු කිරිපිටි ආනයනය සඳහා පමණක් වසරකට වැය කරන මුදලට ආසන්න වශයෙන් සමාන ප‍්‍රමාණයකි. ඊට අමතරව කටුනායක අධිවේගී මාර්ගයේ පිරිවැය ඩොලර් මිලියන 350 කි. ඒ අනුව හම්බන්තොට සඳහා මුදල් යෙදවීම ඝාතකයින්ගේ උවමනාව මත පියවර තුනකින් සිදුකලත් එය එකවර සම්පූර්ණයෙන්ම නිම කිරීම යනු ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට දරාගත නොහැකි ආයෝජනයක් නොවේ.

      ඒ සියළු වැරදවීම් වලට අමතරව අදවන විට කොළඹ උතුර වරායේ අධික පිරිවැය කොටස වන ‘‘දිය කැඩුම’’ සහ ඒ ආශ‍්‍රිත ඉදිකිරීම් ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවේ වියදමින් සිදුකොට අඩු වියදම් ජැටිය ඉදිකරන සමාගමට වරායේ ආර්ථික ප‍්‍රතිලාභ ලබාගැනීමට ඉඩ සලසා ඇත. එම ක‍්‍රියාව අර්ථ දැක්විය හැක්කේ ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීමක් ලෙසය. එපමණක් නොව හම්බන්තොට වරාය පළමු පියවර සඳහා ජලය ඇතුල්කිරීම නිසා දෙවන පියවර සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවේ. ඊට අමතරව පළමු අදියරේ වැඩ සම්පූර්ණයෙන්ම නිම කිරීමට පෙර විවෘත කිරීම සඳහා ජලය ඇතුල්කිරීම නිසා වරාය මුවවිටේ පතුලේ කළුගල කැඞීම සඳහාද අමතර පිරිවැයක් යෙදවීමට සිදුවිය. ඒ සඳහා අමතරව ඩොලර් මිලියන 138 ක් වැය කිරීමට සිදුවිය. එම ප‍්‍රමාණය දළ වශයෙන් පළමු පියවර සඳහා වැයකළ මුදලින් භාගයකි. එම ගල අවශ්‍ය ප‍්‍රමාණයට කඩා වරාය විවෘත කළානම් ඒ සඳහා වැය වන්නේ ගොඩබිම ගල් කොරියක ගල් කඩන වියදම පමණි.

      කෙසේවෙතත් කොළඹ වරාය මීටඒ 07 සිට මීටර් 15 දක්වා ගැඹුර කිරීම සඳහා වතුර යට ගල කැඞීමට ඉදිරිපත් වු ලංකාවේ මාස්ටර් ඩයිවර්ස් ආයතනය කියන්නේ තමාට හම්බන්තොට වරායේ වතුර යටදී ගල කැඩිීම යනු මීයකු චීස් කනවා වැනි වැඩක් බවය. අවසානයේදී මහා ගාම්භීර උත්සවයක් පැවැත්වුවත් වරාය විවෘත කළේ 1950 දශකයේ කොළඹ වරායේ භාණ්ඩ ගොඩබෑම සිහිපත් කරන පින්තූරයක් නිර්මාණය කරමිනි. මීට පෙර සඳහන් කළ ආකාරයට වරායේ මහා පින්තූරය අලෙවි කිරීමට අප රටක් ලෙස අසමත් වීම තුළ වරාය ආශ‍්‍රිත කර්මාන්ත සහ සේවා සඳහා අයෝජනය කිරීමට ආයෝජකයින් ඉදිරිපත් වන්නේ නැත. ඒ නිසා දැන් ආර්ථික ඝාතකයින් උත්සාහ කරන්නේ ’’ සීනි සේදීම’’ වැනි ‘‘ලෝකයේ අපත කර්මාන්ත’’ ලෙස හැඳින්වෙන ආයෝජනයක් හම්බන්තොට වරාය පරිශ‍්‍රයට ගෙන ඒමටය. ඒ මගින් මුහුදට සල්පියුරික් අම්ලය මුදා හැරීම හරහා වරායේ පාරිසරික ප‍්‍රමිතීන් පහල වරටීම තුළ අර්බුදය තවත් උග‍්‍රවනු ඇත. එපමණක් නොව ඒ මගින් දේශීය සීනි කර්මාන්තය වලපල්ලට යනවාට අමතරව මහා පරිමාන විදේශ විනිමය සහ තීරු බදු වංචා වලටද ම`ග පෑදෙනු ඇත. ලෝකයේ වෙනත් රටවලින් පිටමන් කරන එවැනි කර්මාන්ත අප වැනි රටවලට ගෙන එන්නේ එවැනි මහා පරිමාණ වංචා සඳහා ඉඩ ලබා ගැනීමටය.

      Delete
    4. දැන් වරාය ව්‍යාපෘතිය ආර්ථික ඝාතකයින්ට සතුටුවිය හැකි තරමට අඩපණ කොට ඇතත් ඔවුන් ඊට සමගාමීව මත්තල ගුවන්තොටුපල අඩපන කිරිමේ මෙහෙයුම නවත්වා නැත. පළමුවෙන්ම ණය දෙන ආයතන මත්තල විවෘත කිරීමටත් පෙර කටුනායක දෙවන ගුවන් පථයක් ඉදිකිරිම සඳහා ණය දීමට ඉදිරිපත් විය. නමුත් ඔවුනට එය තාක්‍ෂණිකව සාධාරණීකරනය කළ නොහැකි විය. උදාහරණයක් ලෙස කටුනායක ගුවන්තොටුපලලේ "වැඩිම මෙහෙයුම් සහිත පැය" තුළ සේවා සපයන්නේ ගුවන්යානා 10 කට පමණි. (පැමිණීම් සහ පිටත්වීම් දෙකම ඇතුළත්ව අන්තර්ජාතික ගුවන් ප‍්‍රවාහන සංවිධානයට අනුව ගුවන් ගමන් වල කලාපීය වර්ධනය 6‍්‍ර කි. එමෙන්ම අප රටේ 2000 වසරේ සිට 2010 දක්වා ගුවන් ගමන් ඝනත්වය විමසා බැලීමේදී පෙනී යන්නේ එහි වර්ධනය 8‍්‍ර පමණ බවය. ඒ අනුව 2025 දී අප රටේ වැඩිම මෙහෙයුම් සහිත පැය තුළ සේවා සැපයීමට පහසුකම් අවශ්‍ය වන්නේ ගුවන්යානා 20 කට පමණී.

      එසේවූවත් අප රටේ සිවිල් ගුවන්සේවා අධ්‍යක්‍ෂකවරයාගේ ගුවන් නාවික තොරතුරු ප‍්‍රකාශණයට අනුව අප රටේ දැනටමත් වැඩිම මෙහෙයුම් සහිත පැය තුල ගුවන් යානා 25 ක් හැසිරවීමට ධාවන පථයේ ධාරිතාව ඇත. ඒ අනුව අප රටේ දැනටමත් 2025 අවශ්‍යතාවයට වඩා 25% කට වැඩි ධාරිතාවක් ඇත. ඊට අමතරව මත්තල ගුවන්තොටුපල ආරම්භවීමත් සමඟ එම ධාරිතාව දෙගුණයක් වේ. එසේම ක්‍ෂෙත‍්‍රයේ ප‍්‍රවීනයන්ට අනුව කටුනායක ගුවන් පථය සහ "ටැක්සි මාර්ගය" සම්බන්ධවන කොටසේ ආනතිය අංශක 90 සිට 30 දක්වා අඩු කල හොත් එම පැයේදී හසුරුවන ගුවන්යානා ප‍්‍රමාණය කිසිඳු ගැටළුවකින් තොරව 25 සිට 35 දක්වා වැඩිකළ හැක. එසේම එය ගමේ පාරක් කාපට් කරනවා වැනි සුළු දෙයක් බව ඔවුන්ගේ මතයයි. එසේ නම් දෙවැනි ගුවන් පථයක් යෝජනාවන්නේ මුදල් වැයකිරීම මඟින් කොමිස් ගැසීමේ සහ මත්තල අවතක්සේරු කිරීමේ ද්විත්ව උවමනාව මත බව පැහැදිලි වේ.

      දැන් දෙවන ගුවන් පථයක් ඉදිකිරීමේ යෝජනාව අත්හැර දැමුවත් ඊට වඩා වියදමක් දරමින් තිබෙන ගුවන් පථය පළල් කිරීමට උත්සහයක් ආරම්භ කොට ඇත. ඒ සඳහා මෙම ආර්ථික ඝාතකයින් ගෙන එන තර්කය වන්නේ එයාර් බස් 380 ගොඩබෑමට පහසුකම් සැලසීමයි. මෙම තර්තයද කිසිදු ආර්ථික හෝ තාක්‍ෂණික පදනමක් නොමැති දුප්පත් එකකි. මේ වන විට මේ වසරේ කටුනායකට එම යානා එකක්වත් පැමිණ නැත. එම ගුවන්යානා භාවිතා වන්නේ ඉතා දුර ගමන් සඳහා පමණී. අප රටේදී එවැනි ගමන් ආරම්භ වන්නේ හෝ අවසාන වන්නේ හෝ අතරමැදි නැවැත්වීමක් කරන්නේ නැත. දැනට එම යානා අප රටට උඩින් පියාසර කරයි. එම යානා සේවයට යොදවා ඇත්තේ එම්රේට්ස්, ක්වාන්ටාස්, සිංග්පූර් සහ කැතේ පැසිෆික් යන ගුවන් සේවා විසිනි. නමුත් එම ගුවන්සේවා වල ඉදිරි වසර 10 ක සැලසුම් තුළ කටුනායකට එවැනි යානා ගොඩබෑමට ඉල්ලූම් කොට නැත.

      Delete
    5. කෙසේ වෙතත් එම යානා හදිසි තත්වයන් මත ගොඩබෑමට කරන ලද ඉල්ලීම් කටුනායක ගුවන් තොටුපල විසින් කිසිඳු ගැටළුවකින් තොරව ඉටුකර ඇත. අවස්ථා 3 කදී එවැනි ඉල්ලීම් ඉටුකර ඇත. ඒ සියල්ලටම වඩා ජාත්‍යන්තර ගුවන්සේවා ප‍්‍රමිතීන් වලට අදාලව 4එෆ් ඛේතය යටතේ එයාර් බස් 380 හදිසි ගොඩබෑම් සඳහා කටුනායක ගුවන්තොටුපල සුදුසු බවට නිර්දේශ කොට ඇත. එසේ නම් නැවත ඇසිය යුතු ප‍්‍රශ්නය ගුවන් පථය පුළුල් කිරීම සඳහා වළිකන්නේ ඉහත සඳහන් ද්විත්ව අරමුණ සඳහා නොවේද යන්නයි. ඔවුන්ගේ එම කූඨ අරමුණු ඉතා සරලව තහවුරු කල හැක. පළමු වැනි තර්කය ඒ සඳහා දැරීමට යෝජනා වන අතිමහත් පිරිවැයයි. එය ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 70 ක් පමණ වේ. ඊට අමතරව ඉදිකිරීම් කාලය තුළ ගුවන් පථයේ ධාරිතාව අඩුවීම නිසා වන පිරිවැය සහ වෙනත් පාරිසරික පිරිවැය ඊට එකතු කල විට තත්වය තවත් බරපතල වනු ඇත.

      දෙවැනි තර්කය මත්තල ගුවන්තොටුපලේ දැනටමත් එයාර් බස් 380 ගොඩබෑම සහ පිටත්වීම සඳහා පහසුකම් තිබීමය. මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ධාවන පථය මීටර් 60 ක් පළල වන අතර දිග මීටර් 3500 කි. ඒ අනුව ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව එම ගුවන්යානා සඳහා ඕනෑම තත්වයකට අදාලව එහි පහසුකම් ඇත. ඇත්ත වශයෙන්ම එම ප‍්‍රමිතීන්ට අනුව මත්තල කටුනායකට වඩා ඉදිරියෙන් සිටියි. කටුනායක ගුවන් පථය මත්තලට වඩා මීටර් 450 ක් දිගින් අඩු වන අතර පළල මීටර් 45 කි. දැන් එම ප‍්‍රමිතීන්ද මත්තල මෙන් උපරිම මට්ටමට නොමැති වූවත් හදිසි ගොඩබෑම සහා ප‍්‍රමාණවත් බව තහවුරු වී ඇත. තුන්වන තර්කය වන්නේ අවශ්‍ය උපරිම පළල මීටර් 60 ක් ලෙස හඳුනාගෙන තිබියදී දිගින් අඩු කටුනායක ගුවන් පථය මීටර් 75 ක් දක්වා පළල් කිරීමට යෝජනා වන්නේ කුමක් නිසාද යන්නය. පාර්ලිමේන්තුවේ පඹයින් මේ තර්ක මතුකරන්නේ නැතිනම් මහජනයාවත් එම අඩුව පිරවිය යුතු නොවේද?

      ඇත්ත වශයෙන්ම ශ‍්‍රී ලංකාවේ ගුවන් සේවා ක්‍ෂෙත‍්‍රය දීර්ඝකාලයක් තිස්සේ ආර්ථික ඝතකයින්ගේ ග‍්‍රහණයට ලක්වූවකි. එයට හේතුව අපේ රටට එය වැදගත් නැතත් සිංගප්පූරුව සහ ඉන්දියාව නිරතුරුව ඒ දෙස ඇස ගසාගෙන සිටීමය. මත්තල ගුවන්තොටුපල ජාත්‍යන්තරව ප‍්‍රචලිත වීම වැලැක්වීම සඳහා ඔවුන් බොහෝ පියවර ගෙන ඇත. ඔවුන්ගේ පළමු උත්සාහය එය කටුනායකට වඩා දෙවැනි කිරීමය. ඊට හේතුව කටුනායක තවදුරටත් මහා පරිමාන තත්වයකට ගෙන ඒමට විභවය නැති ගුවන්තොටුපලක් බැවින් එය සිංගප්පූරුවට තර්ජනයක් නොවීමය. මත්තල ඉදිකිරීමේදී වියදම් කපාහැරීම ඉදිරියට දමා ගුවන්පථයේ ප‍්‍රමිතීන් සහ ගුවන් පාලන කුළුණේ ප‍්‍රමිතීන් අඩු කිරීමට ඔවුන් උත්සාහයක් ගත් බව දැන් රහසක් නොවේ. එම උත්සාහය යම් පමණකට සාර්ථක වී ඇති බව විශ්වාස කිරීමට සාක්‍ෂි ඇත.

      Delete
    6. රේඩාර් පහසුකමට අදාලවද එම ඝාතක මෙහෙයුම් දියත් වූ බවට සාක්‍ෂි ඇත. පිදුරුතලාගල තිබූ රේඩාර් යන්ත‍්‍රය සැක කටයුතු ලෙස ඉතා අධික වියදමක් දරමින් වෙනස් කිරීමේදී මත්තල ගුවන්තොටුපල ප‍්‍රමිතීන් වර්ධනය කිරීම සඳහා එය මොණරාගල ප‍්‍රදේශයේ සවිකළ යුතු බවට යෝජනා විය. නමුත් ඔවුන් විද්වත් උපදෙස් නොසලකා හරිම්න් එය පිදුරුතලාගලම සවිකළේය. ඊට අමතරව එම යන්ත‍්‍රයේ ප‍්‍රමිතීන්ද අවශය මට්ටමට නොමැති බව ඔප්පු වී ඇත. එම යන්ත‍්‍රය මඟින් මීටර් 10000 ට පහළ සහ මීටර් 40000 ට ඉහළ ආවරණය වන්නේ නැත. එම නිසා ඊට පහළින් එන සිවිල් සහ සතුරු යානා ඒ මඟින් හඳුනාගත නොහැක. එය ජාත්‍යන්තරව පිළගත හැකි තත්වයක් නොවේ. ඊට අමතරව එම මට්ටමට ඉහලින් ගමන්කරන ගුවන්යානා වලට සේවා සැපයීමට අවස්ථාව මත්තලට අහිමි වේ. ඒ මඟින් අනාගතයේදී එම සේවා සැපයීමේ අවස්ථාව වෙනත් සමාගමකට හිමි වීමට ඉඩ ඇත. ඉන්දියාව යෝජනා කරන සීපා ගිවිසුමට ගුවන්සේවා ක්‍ෂෙත‍්‍රය ඇතුල් කරන්නේ එම ආර්ථික ඉඩප‍්‍රස්ථා ලබාගැනීමට යයි පැහැදිලි සැකයක් මතුවේ. එසේ වන්නේ ඊට පෙරද ඉන්දියාව විසින් ශ‍්‍රී ලංකාවට අයත් ඊසාන දිග ගුවන් තොරතුරු කලාපයක් ඉතා කූඨ ලෙස අත්පත්කර ගැනීම තුලය. එම කලාපය හොර රහසේම කිසිදු කොන්දේසියකින් තෙරව ඉන්දියාවට පවරා දෙන්නේ අප රටේ සිවිල් ගුවන්සේවා බලධාරීන් විසින්මය. ඒ මඟින් දැනට ශ‍්‍රී ලංකාවට සිදුවන පාඩුව රුපියල් මිලියන 2000 ක් පමණ වේ යයි ඇස්තමේන්තු කළ හැක.

      මෙම ගුවන්සේවා ඝාතක ක‍්‍රියාවලියට අදාල ලැයිස්තුව තව බොහෝ දිගු කළ හැක. ඒ අතුරින් හාස්‍ය, කණගාටුව සහ කෝපය මුසු හැඟීමකින් කථා කළයුතු ඝාතනයක් රත්මලාන ගුවන් තොටුපලේ සිදුවේ. එම ගුවන් තොටුපලේ පුද්ගලික ගුවන්සේවා සමාගමක් විසින් ඉඳිකළ ගුවන්යානා නැවතුම් පියසක් නිසා ගුවන් පාලක කුළුණට ගුවන් පථයේ දෙකළවර නිවැරිදිව නොපෙනේ. එයට ඇති විසදුම සමාගම විසින් සුළු පිරිවැයක් දරමින් එම පියස නැවත ස්ථානගත කිරීමය. නමුත් යෝජනා වන්නේ රජයට විශාල පිරිවැයක් දැරීමට සිදුවන ලෙස ගුවන් පාලක කුළුන උස් කිරීමයටය. එහෙත් අවසානයේදී මහදැන මුත්තාගේ වෙස්ගන සිටින ඝාතකයින් උපදෙස් දෙන්නේ ඒ දෙකම නොකර ගුවන් පථය කෙටි කිරීමය. ඒ මඟින් ගුවන් තොටුපලට සිදුවන හානිය දැන් ගණන් බැලිය යුතව ඇත.

      අප රටට අයත් ගුවන් තොරතුරු කලාපය වර්ග කිලෝ මීටර් දශ ලක්‍ෂයකට ආසන්න වේ. වෙනත් කිසිදු රටකට නොමැති එම වාසිය අපට ලැබී ඇත්තේ අප රටේ ස්වාභාවික පිහිටීම නිසාය. සිංගප්පූරුව විසින් අප එම විභවය ප‍්‍රයෝජනයට නොගන්නා තැනට තල්ලූ කිරීම සඳහා කළ හැකි සියළු දේ කරමින් සිටින බවට කිසිදු සැකයක් නැත. එසේම ඉන්දියාව කෙළ හලමින් සිටින්නේ ඒ මහා සම්පතින් කොටසක් හෝ සීපා ගිවිසුම හරහා සූරා කෑමටය. ආර්ථික ඝාතකයින් උත්සාහ කරන්නේ එම සම්පත් හැකිතාක් අවතක්සේරු කිරීමටය. ඉතින් මෙවැනි රටක් ලෝක සිතියමේ තවත් තිබිය හැකිද?

      Delete
    7. ඇනෝ මහත්තයව ගෙදර එක්කන් ගිහින් කවල පොවල නාවලා රන් කූඩුවෙ දමලා ඇති කරන්න හිතෙනවා අම්මපා....

      xxඋම්මා!!

      Delete
    8. @AnonymousJanuary 25, 2016 at 4:33 PM
      ඇනෝ ස්තුතියි.
      පුන්නක්කු කන උං ට නං ඒ කනෙන් ඇහිලා මේ කනෙන් ගියා වගේ තියෙයි. NGO ඩොලර් බලේ ලොකුයි නේ තර්ක බුද්ධියට , හර්ධය සාක්ෂියට වඩා

      Delete
    9. මාස්ටර් ඩයිවර්ස් ආයතනයේ සභාපති, නාවික විශේෂඥ ආරියශීල වික‍්‍රමනායක යනු හැරීලා, ගෙම්බලා, විමල් ලා, දත් ගුණදාස ලා කළා මෙන් ලාංකිකයන් ගොනාට අන්දවා ජනතාවට "තවරාගත් දේශීයත්වය" යන සීතාම්බර අමුඩය ගැස්සවූ තවත් එක කුක්කෙකි.

      ඉහත ඇනෝ කතාකරන්නේද පනික්කි රාලගේ ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ වල තවල් එක උප විශේෂයක් වන ආර්ථික ඝාතකයන් ගැනයි. සිතින් මවාගත් කුමන්ත්‍රණ ගැන අපට දෙසබෑම විනා වෙනයම් අලුත් දෙයක් කිරීමට කාලයක් මොවුන්ට නොමැත.

      Delete
  8. වඩා වැදගත් දේ ණය අඩු කර ගන්නේ කෙසේ ද යන්න කතා කිරීම මිස එක එක අයට වරද පටවන එක නොවෙයි. දේශපාලකයින් රාජ්‍ය සේවකයින් ගේ ස්වාමිවරු ය. ඔවුන් ඡන්ද බලාගෙන පඩි වැඩි කරති. අපට ද සහනාධාර දෙති අපේ ඡන්ද බලාගෙන. බදු වැඩි නො කරති. නාස්ති කරති. ඉතින් ණය වැඩි වෙති. මේ චක්‍රයෙන් ගැලවීමට ජනතාව දැනුුවත් කරමු.

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම, ඇනෝ. සිදුවියයුත්තේ එයයි.

      Delete
  9. පැරාත් චූටි කාලෙ වාමාන්සිකයෙක් වෙලා හිරෙත් ගිය හාදයෙක් නේද?

    මොනවා උනත් වාමාන්සික උණ සනීප වෙච්චි එක ගැන සන්තෝසයි...

    ReplyDelete
  10. පැරා,
    // රජයෙන් ලැබෙන සේවාවන් ගැන කිසිවෙක් තෘප්තිමත් නැත. //
    මේ ගැනනම් කතා කිරීම තේරුමක් නෑ පැරා!
    // අකාර්යක්ෂම රාජ්‍ය අංශයක් නඩත්තු කරන්නට අප මෙතරම් ණය විය යුත්තේ ඇයි. //
    පැරා, ඔබ යෝජනා කරන්නේ කුමක්ද ? මේ සේවකයන් රැකියාවෙන් ඉවත් කිරීමද ? මම නම්
    http://lankasithuwili.blogspot.com/2016/01/blog-post_56.html ඊයේ අලුත් අදහසක් ලබාදුන්නා මේ උපාධිදරින්ට කලයුතු දේ ගැන.

    ඇනෝ,
    // ඊට අමතරව වරායට අදාල මහා පින්තූරය නිමකොට එය ලෝක නාවික ක්‍ෂේත‍්‍රයේ අලෙවිකිරීමට නොහැකි වීම නිසා වරාය ආශ‍්‍රිත අනෙකුත් කර්මාන්ත සහ සේවා සඳහා ආයෝජන අද්දවා ගැනීමටද නොහැකි වී ඇත.//
    ඔබ ඉදිරිපත් කරන අදහස වටිනවා නමුත් දැනගතයුතු වැදගත්ම දෙය නම් හම්බන්තොට වරාය සම්පුර්ණ කරන තුරු (විශාල ධාරිතාව ඇති තෙල් පිරිපහදු සකසන තුරු මෙයින් ආදායම් ඉපයීම ඉතාම සුළුවෙන් තමයි සිදුවන්නේ )
    // මෙම වරාය සහ ගුවන්තොට ඒවායේ උපරිම විභවය අත්පත්කර ගතහොත් එක් පැත්තකින් සිංගප්පූරුව බරපතල ආර්ථික අර්බුධයකට ලක්වේ//
    100% එකයි. මෙනිසා ශ්‍රී ලංකාව කලයුත්තේ රටගැන දැඩි හැගීමක් ඇති උගත් බුද්ධිමත් තානාපති සේවයක් ඇති කිරීමයි, මොකද මෙවැනි ප්‍රශ්න විසදිය හැක්කේ බලවත් විදේශ සේවයක් ඇත්නම් පමණයි.
    මා අදත් කියන්නේ මහින්ද රාජපක්ෂ විසින් කරන ලද හොදම ආයෝජනය හම්බන්තොට වරායයි, නමුත් ඔහු අවංකව රට ගැන හිතපු මිනිහෙක් නෙමෙයි, එහෙම හිතුවනම් කරන්නේ මේ වියප්පෘතිය ඉවර කර හදන ගුවන්තොටුපොළක් හැදීමයි අද සිදුවී විශාල අවදානමක් ගෙන කරපු මුදල් නාස්තියක්.

    ReplyDelete
    Replies
    1. Lankika Sithuwili

      ඔබ සමග එකඟයි. හම්බන්තොට වරාය සම්පුර්ණ කර උපරිම විභවය අත්පත්කර ගැනීමට නම් පිරිපහදුවක් අත්‍යවශ්‍යයි.

      මෙම හම්බන්තොට වරාය සැපයීමට අපේක්‍ෂිත සේවා;

      01. සාමාන්‍ය නැව් බඩු හෙවත් සාමුප‍්‍රදායික නැව්බඩු (සිමෙන්ති, පොහොර, පිටි, යකඩ, දැව වැනි).
      02. රෝ රෝ (Raw Raw) පහසුකම් - වාහන ප‍්‍රවාහන පහසුකම් නෞකා මෙහෙයවීම් (ආනයන/ප‍්‍රති අපනයන).
      03. බන්කරින් (Bunkering - fill the fuel containers of ships/ refueling) පහසුකම් සැලසීම.
      04. නෞකා සඳහා එළවළු ඇතුළු ආහාර ද්‍රව්‍ය (Ship Stores) සැපයීම, වෛද්‍ය පහසුකම් සැපයීම.
      05. ජලය සැපයීම.
      06. නෞකා සඳහා කාර්ය මණ්ඩල සැපයීම, කාර්ය මණ්ඩල හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස ක‍්‍රියා කිරීම.
      07. නෞකා ඉදිකිරීම් හා අලුත්වැඩියා (Dry Doc) වියළි තටාකාංගන පහසුකම් සැලසීම.
      08. වරාය භූමිය තුළ කර්මාන්ත ශාලා ඇරඹීමට පහසුකම් සැලසීම.
      09. බහළු (Container)මෙහෙයුම් පර්යන්ත ඇති කිරීම.
      10. ගල්අඟුරු බල උත්පාදන කටයුතු සඳහා උපයුක්ත කර ගැනීම

      වරාය භූමිය වටා වන කි.මි. 15ක දුර ප‍්‍රමාණය හරිත බිම් තීරුවක් ලෙස (Green belt) මීටර් 12-15ක් අතර ප‍්‍රමාණයකින් ප‍්‍රදේශයට උචිත ශාඛ ගහනයක් ලෙස පවත්වා ගැනීමට නියමිත ය. ශ‍්‍රී ලංකා පාරිසරික පනතට අනුකූලව වරායේ භාවිතය ට ගන්නා ජලය හා නොයෙක් අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීකරණය ද මූලික ම සැලසුමකි.

      හම්බන්තොට ප‍්‍රධානත ම දේශගුණික තත්ත්වයන් වන සුළං හා අධික සූර්යතාපය වරායෙහි කටයුතු සඳහා බලශක්ති ප‍්‍රභවයක් ලෙස යොදා ගැනීමට ද සැලසුම් කර ඇත. කෙසේ නමුත් මෙම සැලසුම් සාර්ථක කරගැනීම රජය සතු වගකීමකි.

      Delete
    2. ඇනෝ,
      ඔබ සදහන් කරන // බන්කරින් (Bunkering - fill the fuel containers of ships/ refueling) පහසුකම් සැලසීම. //
      ඇයි http://lankasithuwili.blogspot.com/2016/01/blog-post_9.html
      ත්‍රීකුනාමලයේ තෙල් ටැංකි යොදාගන්න බැරි, අඩුගානේ මේ වරාය පාවිච්චි කල නොහැකිනම් යම් ක්‍රමවේදයක් තියනවද තෙල් ටැංකි ගලවා හම්බන්තොට සවිකිරීමට, මා හිතන පරිදි අදත් හොද තත්වයේ පවතින මේ ටැංකි නිමවා ඇත්තේ සුදු යකඩ වලින්, බවයි කිසියම් වාර්තාවක සදහන් වුනේ, මෙය සත්‍ය නම් මේවා අදත් ප්‍රයෝජනයට ගත හැකියි, දැනටමත් මින් 2ක් ප්‍රයෝජනයට ගන්නවා.

      Delete
  11. ඉයන්,

    මහවැලි ව්‍යාපෘතිය ආරම්භ කළේ 1970 සමගි පෙරමුණු රජයෙන් වන අතර එය කිසිසේත්ම එජාප (UNP) සැලැස්මක් නොවේ. පසුව ඊළඟට පත් වුණු UNP ආණ්ඩුව එය ඉදිරියට කරගෙන ගියා. ඒ මහවැලි මහ සැලැස්මේ තිබුණු ඔක්කොම දේවල් එක්සත් ජාතික පක්ෂ රජය විසින් කළේ නැහැ. මහවැලි මහ සැලැස්මේ තිබුණු ව්‍යාපෘතිවලින් සියයට 45ක් විතරයි කළේ. ඒ කාලයේ දී ඔක්කොම කරලා තිබුණා නම් මේ වාගේ ජල හිඟයක් ඇති වන්නේ නැහැ. යාන් ඔය ව්‍යාපාරය කළේ නැහැ. ඊට අමතරව මහවැලි මහ සැලැස්මේ උතුරු මැද ඇළ, ඒ වාගේම මල්වතු ඔය වැනි ව්‍යාපෘති රාශියක් තිබුණා.

    මහා ජලස්කන්ධයක් රැගෙන, කිලෝමීටර 300 ක් මග ගෙවා ගෙන නිකරුනේ මුහුදට ගලාගිය මහවැලි ජලය උතුරට හරවා රජරට වී වගාව දියුණු කිරීම සමගි පෙරමුණු රජයේ සංකල්පයකි. වසර 30 ක දීර්ඝ කාලීන සංවර්ධන යෝජනා ක්‍රමයක් ලෙස පොල්ගොල්ල හැරවුම් වේල්ල ඉදිකරමින් මේ ව්‍යාපෘතියේ මුල් පියවර තැබුවේ 1970යි. මීලඟට බලයට පත්වූ එ.ජා.ප රජය මහවැලි ව්‍යාපෘතිය අත් හැර නොදැමීම අගය කලයුතු උව ද (UNP රජයේ විශාලතම සංවර්ධන යෝජනා ක්‍රමය වූයේ ද මෙයයි), වසර 30ක ව්‍යාපෘතිය වසර 6 කට හකුලුවා “කඩිනම් මහවැලිය” බවටපත් කිරීම විවාදාපන්නය. විශේෂයෙන් ම පරිසරය හා සම්බන්ධ ව්‍යාපෘතියක් බැවින් කඩිනම් කිරීම තුල පරිසර හානිය ද වැඩිය. වසර 30 ක දීර්ඝ කාලීන ක්‍රියාවලියක දී පරිසර හානිය විශාල නොවන්නේ පරිසරයට තම විසින්ම තම හනිය ප්‍රති පූරන කිරීමට ප්‍රමාණවත් කාලයක් ලැබෙන බැවිනි. කෙසේ උව ද ජනතාවට ප්‍රතිලාභ ලැබීම ඉක්මන් වීම කඩිනම් මහවැලියයේ සාධනීය ලක්ෂනය යි.

    UNP රජය විසින් කඩිනමින් ක්‍රියාත්මක කල ද පොල්ගොල්ල වේල්ල ඉදිකරමින් මෙම ව්‍යාපෘතිය අරඹා කෘශිකාර්මික නවෝදයකට ද, අදටත් ලබදායී ම ශක්ති ප්‍රභවය වන ජල විදුලි බලාගාර හරහා රට නව ලොව වෙත ගෙන යාම ඇරඹුවේ සමගි පෙරමුණු රජය නොවේද? මේ ඉදිරියට යාමක් ද පසුපසට යාමක් ද?

    නොබෝදා ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 150 ක් එක්කළ ඉහල කොත්මලේ ජලවිදුලි බලාගාරය ද විවිධ බාධා කිරීම් නිසා ප්‍රමාද වූ මහවැලි ව්‍යාපාරයේ ම අවසන් විශාල ජලාශය බැව් බොහෝ දෙනා දන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. /පොල්ගොල්ල වේල්ල ඉදිකරමින් මෙම ව්‍යාපෘතිය අරඹා කෘශිකාර්මික නවෝදයකට ද, අදටත් ලබදායී ම ශක්ති ප්‍රභවය වන ජල විදුලි බලාගාර හරහා රට නව ලොව වෙත ගෙන යාම ඇරඹුවේ සමගි පෙරමුණු රජය නොවේද? මේ ඉදිරියට යාමක් ද පසුපසට යාමක් ද?/
      මහවැලි එච් කලාපයේ වර්ථාමාන ජල අවශ්‍යතාවට සැපිරීමට පොල්ගොල්ල උමඟ ප්‍ර‍මාණවත් නැත, සමග පෙරමුණේ සැලසුම කලේ දියුණ්‍ර‍රටක් සඳහා නොව පසුගාමී යැපුම් ආර්ථිකයක් සඳහායි.

      Delete
    2. ඇණයා,

      //සමග පෙරමුණේ සැලසුම කලේ දියුණ්‍ර‍රටක් සඳහා නොව පසුගාමී යැපුම් ආර්ථිකයක් සඳහායි//

      ඉතින් එහෙනම් ඇයි 1977 බලයට පත්වුණ ප්‍රගතිශීලී ඉදිරිගාමී එජාප රජය ඒක වෙනම අමාත්‍යංශයක්, අධිකාරියක් හදාගෙන ඉදිරියට කරගෙන ගියේ? 1977-94 දාහත් වසරක එජාප පාලන යුගයේදී කරපු විශාලම සංවර්ධන ව්‍යාපෘතිය මහවැලියයි. ඊළඟට ප්‍රේමදාසගේ ගම් උදා, නිවාස වැඩපිළිවෙල, නමුත් ඒක හුදෙක් නිවාස ප්‍රශ්නය විසඳීමට කළ එකක් මිසක් ආර්ථික සංවර්ධනය ඉලක්ක කල එකක් නෙවෙයි. අනික එජාපය මේක කඩිනම් කළත් මෙහි බොහෝ කොටස් අත්හැර කෘෂිකාර්මික ප්‍රදෙශ සංවර්ධනය අවම කරමින් විදුලි නිශ්පාදනයට පමණක් මූලිකත්වය දුන්නා.ලංකාවේ සාර්ථකව කෘෂිකර්මාන්තය කෙරෙන ප්‍රදෙශයක් මහවැලි ප්‍රදේශ. මේවායේ කලයුතුව තිබුණේ විශාල කෘෂි ගොවිපොලවල් සමාගම් ක්‍රමයට ඇති කිරීමයි.

      එච් කලාපයේ ජල ප්‍රශ්නයට හේතු බොහෝය. එවකට සැලසුම් කල වගා පරිමාවට අවශ්‍ය ජල ධාරිතාව උමගින් ලැබෙන අතර අධික ජලසම්පාදනයක් අවශ්‍ය වී වර්ග වැවීමත් වෙනත් ප්‍රශ්නත් නිසා ඇතිවූ ජල හිඟයට කාර්යක්ෂම විසඳුම් සොයාගත යුතුය.

      Delete
  12. "නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය, 2014 වසරේ දෙසැම්බර් මස අවසානයට පැවති රුපියල් බිලියන 7,309.9 සිට 2015 වසරේ ජූලි මස අවසානයට රුපියල් බිලියන 7,990.8 දක්වා රුපියල් බිලියන 599.9කින් වැඩි විය."
    (උපුටාගැනීම: පිටුව 84, මෑතකාලීන ආර්ථික ප්‍රවණතා, ශ්‍රී ලංකා මහ බැංකුව)

    මේ වාර්තාව අනුවම 2014 මැදදී ලංකාවේ ජනගහණ ඇස්තමේන්තුව 20,771,000කි. මේ අනුව 2015 ජූලි අවසාන වන විට රජයේ ණය ප්‍රමාණය එක් පුද්ගලයෙකුට 384,709 කි. මෙතැන් සිට ගතවුණු මාස හය තුළ මේ ගණන ලක්ෂ හතර ඉක්මවා වැඩි වී තිබිය යුතුය. මේ ආපසු ගෙවිය යුතු ණය මුදල පමණි. මේ ණය වෙනුවෙන් පොලිය ලෙසද විශාල මුදලක් ගෙවීමට සිදු වනු ඇත. පොලී අනුපාතික සහ විණිමය අනුපාතිකය ඉහල යන විට ගෙවිය යුතු පොලී මුදල්ද ඉහළ යයි.

    2016 වසර තුළදී රජය විසින් ලබාගෙන ඇති ණය මුදල් වෙනුවෙන් ගෙවීමට නියමිත පොලිය පමණක් රුපියල් බිලියන 520.4කි. වසර තුළදී ආපසු ගෙවීමට සැලසුම් කර ඇති 'ණය වාරිකය' පමණක් රුපියල් බිලියන 648.9කි. (වසර තුළ ආපසු ගෙවන්නේ මුළු ණය වලින් 8.1%ක් පමණි.) ණය පොලී සහ වාරික වෙනුවෙන් පමණක් රුපියල් බිලියන 1,169.3ක් අවශ්‍යය. මේ සංඛ්‍යාලේඛණ ඔබට මුදල් අමාත්‍යංශයේ වෙබ් අඩවියට ගොස් තහවුරු කරගත හැකිය.

    පැටලී ඇති ණය උගුල ගැනත්, එහි වගකීම 'රජය' නම් වූ පිටස්තරයෙකුට පවරා පැත්තකට වී නොසිටිය යුතු බවටත් ඔබ පළකරන අදහස් අගය කරමි. මා පෙන්වා දෙන්නට හදන්නේ ඇත්ත තත්ත්වය ඔබ දකිනවාටත් වඩා බොහෝ බැරෑරුම් බවයි. මේ වන විට අපේ ආර්ථික උපාය මාර්ගය වන්නේ පුළුවන් තරම් අඩුවෙන් ණයවාරික ගෙවා ගතවන වසර කෙසේ හෝ ගෙවා දැමීමයි. එමගින් කරන්නේ දැනට දරුවන්ට ඉතිරි කර ඇති ප්‍රශ්න දරුවන්ගේ දරුවන් දක්වාත් ඔවුන්ගේ දරුවන් දක්වාත් තල්ලු කිරීමයි. වසරින් වසරම ණය ප්‍රමාණයත්, ගෙවිය යුතු පොලියත් ක්‍රමයෙන් වැඩිවේ. ඉතිරි සැසඳීම් සහ ගණනය කිරීම් ඔබ සඳහන් කර ඇති බිලියන 300 වෙනුවට බිලියන 8000 (හෝ මේ වසර ගෙවා ගැනීමට පමණක් අවශ්‍ය වන බිලියන 1170) ආදේශ කර සිදු කිරීම අපහසු කටයුත්තක්යැයි නොසිතමි. (කමෙන්ට් කියවීමටනම් වෙලාවක් ලැබුණේ නැත. මෙය පෝස්ට් එක පමණක් කියවා දමන කමෙන්ටුවකි.)

    ReplyDelete
  13. හම්මෝ..මෙව්වා දැක්කම බය හිතෙනව..

    ReplyDelete
  14. සාරගර්භ ලිපියක් වූවත් ඊට එකතු කර ඇති කොමෙන්ටු නම් මනෝ විකාරයකින් පෙළෙන අයවළුන් විසින් ලියා ඇති බව පැහැදිලි ය.

    ReplyDelete
    Replies
    1. True. The best example is your comment ! :D

      Delete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.