2016-05-16

දේශපාලන න්‍යාය හා අශෝක හඳගමගේ ඇගේ ඇස අග

අජිත් පැරකුම් ජයසිංහ (2016 - 05 - 15 දින රාවය පුවත්පතේ මුලින් පළ වූ ලිපියකි)

අශෝක හඳගමගේ ඇගේ ඇස අග චිත්‍ර‍පටය ඔහුගේ මෙතෙක් සිනමා වෘත්තියේ සිනමාත්මක අතින් වඩාත් ම පරිණත හා පරිසමාප්ත චිත්‍ර‍පටය බව පැහැදිලි ය. එය බොහෝ දේ කතා කළ හැකි සංවාදයකට බිම සකසන අනගි නිර්මානයකි.

හඳගම එක පැත්තකින් විශ්වීය අහසක් කරා එසවෙන අතර ලාංකීය මහ පොළවේ ඇති රැහැන් විසින් ඔහු ආපසු ලංකාවේ මහ පොළවට ම ඇද ගනියි.

මෙම කරුණ පැහැදිලි කිරීම සඳහා හඳගම සිය ෆේස්බුක් පිටුවෙහි තබන ලද සටහනක් උපයෝගී කර ගනිමි. “'ඇගේ ඇස අග' මාධ්‍ය දැක්ම ඊයේ තුබුණා. මාධ්‍ය සගයින් වෙනුවෙන් මේ දර්ශනය හදිසියේ සංවිධානය කලේ ඉතාම කෙටි කාලයකට, ඉතාම සීමිත සිනමා ශාලා ප්‍රමාණයක ප්‍රදර්ශනය සඳහා ඉඩක් ලැබුනොත් නිදහස් කරන්න හිතාෙගෙන. ආරාධිතවත් අනාරාධිතවත් බොහෝ අය ඇවිත් තිබුණා. අනාරාධිත සමහරුන් ආවේ ආරංචියට ආදරේට. තව සමහරුන් ආවේ තරහට. කිසි කෙනක් ආපහු හරවලා යවන්නේ නැතුව හැමෝටම බලන්න ඉඩ දුන්න."

අශෝක හඳගම නම් සිනමාවේදියා විශ්වීයත්වය කරා එසවිය හැකි ඉපිලුම අතහැර ඇද වැළඳ ගන්නේ මේ සොඳුරු, අවලස්සන ලංකාවයි. ලංකාව සමග ආසක්ත වීමෙහි වරදක් ඇද්දැයි මම නො දනිමි. මන්ද, ඔහු ද එහි ඓන්ද්‍රිය කොටස්කරුවෙකි. එය දමා යන්නට ඔහුට උවමනාවක් නැති වීම සාධාරණ ය. විශ්වීයත්වය හා ස්වීයත්වය අතර ගැටුම ද කලාකරුවකු තුළ අනවරතයෙන් පවතින්නකි.

ඔහු සඳහන් කර තිබෙන කාරණාවලට අමතර තවත් ආර්ථික කාරණාවක් ද මෙහි තිබේ. ඒ වනාහි ලංකාවේ මුල් බැසගෙන තිබෙන හැම දෙය ම නිකම් බලාපොරොත්තු වෙන මානසිකත්වයයි. දේශපාලකයෝ සුර සැප ද, රජයේ නිලධාරීහු අඩුවෙන් වැඩ කර වැඩියෙන් පඩි හා විශ්‍රාම වැටුප් ද, ගොවියෝ ජලය, පොහොර හා අස්වනු සඳහා මිළ ද, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ රස්සා ද, මාධ්‍යවේදියෝ ලැප්ටොප්, කාර් හා මෝටර් සයිකල් ද, කලාකාරයෝ ගෙවල් ද ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙති. මෙම මධ්‍යම පංතියේ ම කොටසක් වන සංස්කෘතික ජනමත නායක පිරිවර ද නාට්‍යවලට ආරාධනා ද, පොතක නම් තිලිණයකි කියා අත්සන් කළ පිටපත් ද, චිත්‍ර‍පටවලට ප්‍රෙස් ෂෝ ද බලාපොරොත්තු වෙති. පුංචි කාලේ සිට ම පෙළ පොත, නිල ඇඳුම, සපත්තු කුට්ටම ආණ්ඩුවෙන් හිඟා කන්නට පුරුදු කළ පසුගාමී ධනේශ්වර සමාජයක කලාවක් පවතින්නේ කොහොම ද? ගීත තැටියක් නිකුත් කළ දා සිට එහි හොර කොපි පදික වේදිකාවේ විකිණේ. චිත්‍ර‍පටය ශාලාවල පෙන්නද්දී ම එය හොරෙන් ඩවුන්ලෝඩ් කරගත හැකි ලින්ක් ගැන සමාජ මාධ්‍යවල ප්‍ර‍චාරය වේ. චිත්‍ර‍පට ශාලාවල මැස්සන් ඇහිරේ. එහෙත් හඳගමගේ චිත්‍ර‍පටයේ ප්‍රෙස් ෂෝ එක ඇතැමෙක් බැලුවේ බිම වාඩි වෙලා ය. එවැනි සංදර්භයක් තුළ චිත්‍ර‍පටයක්, නාට්‍යයක් වැනි අතිශය වියදම්කාරී ව්‍යාපෘතියක් වෙනුවෙන් අතගැසීම ද වීරත්වයකි.

හඳගම 'ඇගේ ඇස අග' තුළින් අමතන්නේ විශ්වීය තේමාවකි. ඒ අතරවාරයේ ලංකාවේ සංස්කෘතික දේශපාලනඥයන්ට හා වාමාංශිකයන්ට සූප්පු කරන්නට ටොපි දෙකක් ද දී තිබේ. පළමුවැන්න චිත්‍ර‍පටයේ වියපත් විශ්වවිද්‍යාල ආචාර්යවරයාට පෙම් බඳින සිසුවියගේ පියා ගැන ඇය ලවා කියවන කතාවයි. ඒ අනුව ඇය සොයන්නේ පියා ය කියන්නට ද සංකේතීය පියා ගැන කතා කරන්නට කැමති අයට ඒ ගැන කතා කරන්නට ද දැන් අවස්ථාව තිබේ. ඒ සඳහා මනෝ වෛද්‍ය විශේෂඥයන් ද අතික්‍ර‍මණය කරමින් මනස ගැන අතැඹුලක් සේ දත් සාහිත්‍ය මනෝ විශ්ලේෂකයෝ මේ රටේ සිටිති. අප නම් මනස ගැන සිතන්නේ එය නිරීක්ෂණය කිරීම මිස න්‍යායකින් විශ්ලේෂණය කළ නො හැක්කක් ය කියා ය. බුදු අම්මෝ, මිනිස් මනස ගැන මේ වගේ අප නම් දන්නේ නැත. ‘අර්චනකාමය පරපීඩකත්වය සමග ගමන් ගන්නේ පරපීඩක විපරීත ක්‍රියාවන්හි උපභෝග පරිභෝග භාණ්ඩ හෝ ආයිත්තම් ලෙස යොදා ගැනෙද්දී පමණි. නොඑසේව රහසින් සඟවා ගෙන සිටින ස්ත්‍රී යට ඇඳුම් පිළිබඳ අර්චනකාමය දර්ශනාශ්වාදය සේම අතිශය අහිංසක ස්වයං පීඩාකාමී ස්වයං මෛථුන්‍යමය ක්‍රියාවක් පමණි. (සර්පයාගේ දියණිය- මනෝවිශ්ලේෂණාත්මක සහ සංඥාර්ථවේදී කියවීමක්, කේ.කේ. සමන් කුමාර, බූන්දි වෙබ් අඩවිය)"

ලංකාවේ ජනගහණයෙන් අඩු තරමේ දහයෙන් එකක්වත් මානසික රෝගවලින් පෙළෙන්නේත්, අවුරුදු 120කට වඩා පැරණී මානසික සෞඛ්‍ය පනතක් මෙරට තවමත් ක්‍රියාත්මක වන්නේත් මේ තරම් මනස ගැන දන්නා අය සිටියදී ය. සාහිත්‍ය මනෝ විශ්ලේෂකයන් මනෝ විනිශ්චයකරුවන් බවට පත් නො විය යුතු ය. තරුණිය සොයන්නේ සංකේතීය පියා ද, වෙන මොකක්දැයි කියා විනිශ්චය කරන්නට දන්නේ කවුරුද? අනුමාන කරන්නට නම් ඕනෑම කෙනෙකුට නිදහස තිබේ. භෞතික විද්‍යාව ගැනවත් පරම සත්‍යය ප්‍රකාශ කළ නො හැකි සංදර්භයක් තුළ මිනිස් මනස වැනි ඉතා සංකීර්ණ, දුරවබෝධ දෙයක් ගැන මෙවැනි නිගමන දෙන සාහිත්‍ය විචාරකයන් සිටින ලංකාව අශෝක ඇද බැඳ තබා ගනියි.

කෙසේ වෙතත්, මෙම චිත්‍ර‍පටය පුරා ම පාසල් දැරිය හැර අන් සැවොම යමක් සොයන බව පැහැදිලිවම පෙනේ. පාසල් දැරිය යමක් සොයනවා ද? සොයනවා නම් එය වනාහි රූපවාහිනියෙන්, අයිපෑඩයෙන් සොයන අපේ පරම්පරාවට නො තේරෙන යම් දෙයක් විය යුතු ය. ඇය එක් අවස්ථාවක සිය පියා සහභාගි වන රූපවාහිනී වැඩසටහනක් නරඹමින් සිටියි. අවශ්‍ය නම් ඇය ද සංකේතීය පියා සොයමින් සිටින බව කිව හැකි ය.
ඇගේ මව නිරතුරු බුදු පිළිම ළඟ වැඳගෙන සොයන්නේ කුමක් ද?

ඇගේ පියා සිය තරුණ සිසුවියගේ සිරුර තුළ සොයන්නේ කුමක් ද? සිය බිරියගෙන් ගිලිහී ගිය තාරුණ්‍යය ද? නැතිනම් අහිමි වූ යමක් ද? බිරිය විශ්වවිද්‍යාල ශිෂ්‍යාවට වෛර කරන ගමන් ම ඇයට ආදරය කරන්නේ ඇයි?
“ඔයත් දැන් ඔහොම හිටියට වයසට යනකොට පෙට්ටියක් වගේ මහත් වෙයි.” ඇය එසේ වී ඇති බව ඇගේ පරණ ඡායාරූප හා සන්සන්දනය කරන විට පෙනේ. ඇය ආගමෙන් සොයන්නේ අහිමි වීම දරා ගැනීමේ හැකියාව ද?

“තරුණ ළමයි මොකට ද පන්සල් යන්නෙ?” යි කියමින් ඇය සිය දියණිය ආගම වෙත නැඹුරු වීම වළක්වයි. ඒ ඇයි? තුරුණු විය යනු හිමි කර ගත යුතු වයසකැයි ඇය සිතනවා විය හැකි ය.

විශ්වවිද්‍යල සිසුවිය ඇත්තෙන් ම සොයන්නේ කුමක් ද? සුන්දරත්වය යනු බලන ඇස තුළ ඇති දෙයකි. ඇය තමන් අතිශය සරාගී යයි සිතයි. එය ස්වයං මෝහනයකි. ඇය සොයන්නේ ඇයට ආදරය කරන කෙනෙකු නොව ඇයට ආදරය කළ හැකි අයෙකු බව ඇය පවසයි. ආචාර්යවරයාගේ දරුවකු කුසින් දැරීමට වුව ඇය කැමති බව ඇය විශ්වවිද්‍යාල ආචාර්යවරයාගේ බිරියට පවසයි. දරුවා යනු වැඩි කාලයක් සන්තක කර තබා ගත හැකි වස්තුවකි. ඇය සොයන්නේ කුමක් ද? තමාව ම ද?

ජීවිතය යනු අත්පත් කර ගැනීම්වලට වඩා අහිමි වීම් ය. හෝටල්, කලාගාර වැනි ගෙවල්, රූපවාහිනී, අයිපෑඩ්, පොත් රාක්ක, සුඛෝපභෝගී වාහන, ආර්ථික සුරක්ෂිතභාවය අත්පත් කර ගත හැකි මුත්, අපට තුරුණු විය සදා අප ළඟ තබා ගත නො හැකි ය. පුරුෂයා ගෙදර එන විට රූපවාහිනී බලමින් සිටින දියණිය දොර අරියි. ඇගේ අතට රසකැවිල්ලක් පත් වේ. දෙදෙනා ඉතා වියළි ලෙස හායි කියති. ඔහු උඩු මහලට යන විට බිරිය බුදුන් වඳියි. ඔහු ඇඳ මත වාඩි වී සපත්තු ගලවන විට ඇය එයි. ඇය සපත්තු රාක්කයේ තබා ඔහු අතට තුවාය දෙයි. මේ ඒකාකාරී ජීවිතය සිනමාකරුවා අපට ද එපා වන තුරු පුන පුනා පෙන්නයි. කතා රසය මතු වන්නට පටන් ගන්නේ මේ ඒකාකාරිත්වය බිඳීමත් සමගයි.

සිනමාකරුවා දෙවන ටොපිය දෙන්නේ වාමාංශිකයන්ට ය. ඒ චිත්‍රපටයේ අවසන් දර්ශනයෙනි. එම දර්ශනය නිර්මානයට පිටින් බද්ධ කරන ලද එකකි. මධ්‍යම පංතික කුටුම්බ ජීවිතය තුළ එතෙක් දක්නට ලැබුණු අහිංසාවාදී, සාමකාමී බුදුදහම වෙනුවට එක පාරට ම වානිජ අරමුණු සහිත ප්‍රචණ්ඩ සිංහල බුද්ධාගම වෙත සිනමාකරුවා ප්‍රේක්ෂකයා නිරාවරණය කරයි. එය චිත්‍රපටයේ මෙතෙක් ගලා ආ රිද්මය සම්පූර්ණයෙන් ම අවුල් කරයි. එක පැත්තකින් එය සාමකාමී මධ්‍යම පංතික කුටුම්බ දූපත් හා ඒ වටා ඇති කෘර වානිජ සාගරය අතර ගැටුම නිරූපණය කරන්නකි. අසපු වැනි ගෙවල් හා මුඩුක්කු වැනි සැබෑ පන්සල් අතර සම්බන්ධය හා ගැටුම නිරූපණය කරන්නකි. බොලිවුඩ් හෝ කොලිවුඩ් චිත්‍රපට දර්ශනයක් වැනි අවසානයෙන් පළා යන මධ්‍යම පංතික පවුලට ඇත්තෙන් ම එසේ පළා යා හැකි ද? ඔවුන්ට ලංකාවේ පසුගාමී සංස්කෘතික ජීවිතයෙන් සම්පූර්ණයෙන් ම මිදිය හැකි ද?

මෙම කෘර අනාරක්ෂිත සමාජය වෙත මෙම සුරක්ෂිත පවුල නිරාවරණය වන එක ම අවස්ථාව පන්සලයි. එහෙත්, එය එසේ විය හැකි තවත් බොහෝ අවස්ථා තිබේ. විශ්වවිද්‍යාලයේදී සිසුවිය බාහිර ලෝකයෙන් වසා තබන්නට උත්සාහ කරන ආචාර්යවරයාගේ කුටි දොර හැර ආචාර්යවරයා එය නො වැසෙන පරිදි එයට බරක් තබයි. එපමණකින් සියල්ල ලෝකයෙන් සඟවා තැබිය හැකි ලංකාවක් ද මේක? විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් හෝ සිසු සිසුවියන් ද, සිසුවියගේ නවාතැනේ අසල්වැසියන් ද, ඔවුන් යන එන තැන්වල සිටින ඕපාදූප සොයන වෙනත් මිනිස්සු හා ගැහැනු ද මේ සාමකාමී මිනිස් සම්බන්ධතා ගොනුව බාහිර කෘර ලෝකයට විවර කරන්නට ඉඩ තිබිණි. එහෙත් කතුවරයා එය නො තකා හැර, වඩා කෘත්‍රිම අවසානයේදී පමණක් එසේ කරයි.

චිත්‍රපටයේ අවසානය ලංකාවේ ආගමික අන්තවාදීන්ට ද සූප්පු කරන්නට නියම ටොපියකි. එසේම, සිනමාකරුවාට ගතානුගතික වාමාංශිකයන් අතර සිය වීරත්වය රැක ගැනීමට එය උපයෝගී වනු ඇත. මීට පෙර අප ප්‍රසන්න විතානගේ විසින් නිර්මානය කරන ලද ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටය විවේචනය කළ විට අප වැනි කුහකයන්ගෙන් ප්‍රසන්න නම් ජනතාවාදී විචාරකයා බේරා ගන්නට පවා ඇතැම් වාමාංශිකයෝ ඉදිරිපත් වූ හ.

අවසාන වශයෙන් කිව යුත්තේ හඳගමගේ සිනමා සීමාව මෙම ටොපි බෙදීමේ උපායෙන් මුදා ගැනීම ඔහු විසින් කළ යුතුව ඇති දෙයක් බවයි. අශෝක හඳගම සිය සිනමා සුවිසැරියේ මිනිස් හැඟීම් ස්පර්ශනය යළි සිය මුල් සිනමා කෘතිය වූ ඩී.එච්. ලෝරන්ස්ගේ Odour of Chrysanthemums ස්පර්ශ කරමින් නිර්මානය කළ චන්දකින්නරිය බිහි වූ උල්පත වෙත යොමු කර තිබෙන බව පෙනේ. දේශපාලන න්‍යාය වෙනුවෙන් චිත්‍රපට නිර්මානය කරන්නට යාම දේශපාලන සිනමාව නො වේ. නිර්මානකරුවාට ජීවිතය විනිවිදීමේ කාර්යයේදී දේශපාලනයට වඩා ඉදිරියෙන් සිටිය හැකි ය. ජීවිත පරිණතිය විසින් අශෝක හඳගම තුළ එම විභවය පැළ කර ඇති බවට ඇගේ නෙතු අග චිත්‍රපටය සාක්ෂියකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

27 comments:

  1. බරසාර වචන නැතුව පැරාගෙ සාමාන්‍ය සරල ස්ටයිල් එකේ ලිව්වනම් මීට වඩා හොඳයි (මට)

    ReplyDelete
    Replies
    1. මේක රාවයටනේ ලිව්වේ. දන්නැද්ද ඉතින්, අපි බ්ලොග් ලියනවා වගේ පත්තරවලට ලියන්න බැහැනේ.

      Delete
    2. මේක කියවද්දී මටත් ඔය ටිකමයි හිතුනේ.

      Delete
  2. දැන් මේක දරුවෝ එක්ක ගිහින් බලන්න පුළුවන් එකක්ද.... කොයි විදියේ එකක්ද....?

    පැරා මේක බැලුවේ තනියමද....?

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ, ළමයි එක්ක එපෝ! අපේ පොඩිම එකී එක්ක ගෝටයිම්බර කෝලම බලලා ඒකි තවමත් මට පුක පෙන්නනවා.

      Delete
  3. ලස්සන කියවීමක්. මේකේ තියෙන සමහර 'ගැටුම්කාරී ඇඟවීම්' නොමැති උනානම් තවත් හොඳයි. නමුත් ඒක ඉතින් අජිත් ගේ විදියනේ. හඳගම ලංකාව සහ කලාත්මක විශ්වීයත්වය අතර දෙකට බෙදීම පිලිබඳ නිරීක්ෂණය ඉතා වටිනා එකක්. හැබැයි මම ඒක අජිත්ට වඩා ටිකක් සාධනීය විදියට බාර ගන්නවා. මේ ගැන මමත් යමක් ලියන්න ඉන්නේ. ඒකට මේක බොහොම ප්‍රයෝජනවත්.

    ReplyDelete
    Replies
    1. 'ගැටුම්කාරී ඇඟවීම්'ය කියා ඔබ කියන දේ මගේ දේශපාලන ව්‍යාපෘතියේ අනිවාර්ය අංගයක්. මම හිතන්නේ සංස්කෘතික ක්ෂේත්‍රයේත් ඊනියා ප්‍ර‍භූ අධිපතිවාදීන් නැට්ටෙන් අල්ලලා පොළවේ ගහන්නැතුව පීඩිතයන් / නිර්ප්‍ර‍භූන් සවිබල ගන්වන්න බැරි ය කියලායි.

      මේ වකවානුව කියන්නේ කලා සංස්කෘතික ක්ෂේත්‍රයේ ඉතා දරුණු කල්ලිවාදයක් හිස ඔසවමින් සිටින මොහොතක්. රාවය පුවත්පත ඇතුළු විවිධ ප්‍ර‍කාශනවල කලා සංස්කෘතික පිටු නිරීක්ෂණය කරලා බලන්න.

      Delete
    2. කල්ලිවාදය පිලිබඳ කරුණ සම්බන්ධයෙන් විරෝධයක් නැහැ. ඒක ඉතින් විකල්ප දේශපාලන කතිකාවේ අවියෝජනීය අංගයක්නේ. මම හිතන්නේ මේකට විසඳුම විය යුත්තේ හැකිතාක් 'සංවාදය, තර්කය, අදහස' සවිබල ගැන්වීමයි. ඔබගේ බ්ලොග් එක ඒක හොඳට වෙන තැනක්. අනිත් එක අජිත් අපේ රටේ මොන 'ප්‍රභූ බුද්ධිමතුන්ද'? මොනවද එහෙම 'ප්‍රභූ බුද්ධිමය මැදිහත්වීම්' කියල තියෙන්නේ? පත්තර ලිපි සහ ෆේස්බුක් සටහන් වලින් එහා ගිය බුද්ධිමය මැදිහත්වීම් තියෙනවද? මට හිතෙන්නේ ඔබගේ ඔය ප්‍රභූ/නිර්ප්‍රභූ විභේදනය අදාළ වෙන්නේ එහෙම 'මහා බුද්ධිමතුන්' කියලා ඉන්න සමාජයක විතරයි. ඒ නිසා මගේ යෝජනවා, ඔය කට්ටිය හැකිතාක් අමතක කරලා ඔබ කරන දේ කරන්න. ඒක බොහොම වටින වැඩක්.

      Delete
    3. ////මම හිතන්නේ මේකට විසඳුම විය යුත්තේ හැකිතාක් 'සංවාදය, තර්කය, අදහස' සවිබල ගැන්වීමයි.ඔබගේ බ්ලොග් එක ඒක හොඳට වෙන තැනක්///////////

      ලංකාවේ සකළ සබ්බ මාධ්‍යයම අයාලේ දුවන යුගයක බ්ලොග්ස් හරහා සිදුවිය යුතු එක් වැඩ කොටසක් ලෙසයි මාත් මෙය දකින්නේ. වෙනත් කිසිම මාධ්‍යයක් හරහා මෙතරම් සංවාදශීලි විය නොහැකි බවයි මගේ අදහස. බ්ලොග්ස් ලියන්නන්ටත් වඩා කියවන අප මේ හරහා බොහෝ විෂයන් පිලිබඳ දැනුවත් වෙනවා. නමුත් බ්ලොග් කරුවන් ඒ සඳහා එතරම් සුදානමක් නැති බවයි මගේ වැටහීම.

      Delete
    4. ආ විපරීත කොලුවො, උඹේ පරිවාස කාලය ඉවර වුනැයි? ඔය කියන සංවාදය / තර්කය / අදහස කියන ඒවාට අමතරව මයෙ හිතේ ගෑනුන්ට තඩිබෑම ත් සවිබල ගැන්නුවාම හරියයි. බොරු නං අමාරිස්, හැලපයා, පබාවාතී වගේ මහා බුද්ධිමතුන් ගෙන් අහලා බලහංකො.

      Delete
  4. නැරඹීමට ආසාවෙන් ඉන්නවා. ඔබ 'වරලත් විචාරකයෙක්' නොවේ යැයි කීවත් ඔබේ විචාරයන් කියවීමට මා ප්‍රිය කරනවා. මෙහි රංගනයෙන් දායකවූවන්ගෙන් චිත්‍රපටයට හොඳ දායකත්වයක් ලැබෙනවාද?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ම. මං හිතන්නේ සියලු දෙනාගේ රංගන ප්‍රතිභාව පසුපස තිබෙන්නේ විශිෂ්ට අධ්‍යක්ෂණයයි.

      Delete
  5. චිත්තර පටිය නොදුටු අපට එය නැරඹීමට පොළඹවන විචාරයකි.ඔබේ සිංහල (?) වචන හරඹය ඉදිරියේ මා දුප්පතෙකු බව ප්‍රත්‍යක්ෂ වේ.

    sudukukula.blogspot.com

    ReplyDelete
  6. Asoka Handagama is good brane man in Sri Lanka. He also not racism man. He make films very good too. He discas all areya social political any problems.

    ReplyDelete
    Replies
    1. Dear Parakum Sir, I hope you a good human bean. Pls do not cut this comment.

      Delete
    2. ඔන්න කැපුවෙ නැහැ මළ වදේ. හැබැයි එක පෝස්ට් එකකට එකයි හරිද?

      Delete
    3. ලොස් ඇන්ජලීස් ඩ්‍යුඩ්May 24, 2016 at 2:11 PM

      පැරා - හිතෙන්නෙ නැද්ද මූ මේක හිතලම වැරදි ඉංගිරිසියෙන් ලියනවා කියල

      Delete
  7. පළමු කොටස

    අජිත් පැරකුම් ජයසිංහ කල්පයක් පෙරුම් පුරා හඳයාගේ අභිනව සිනමාව පිළිබඳ ස්වකීය පැරාමය කියවීම පළ කර ඇත. සකල විධ ලෝක ධාතුවේ සෑම සියලු ගැටලුවකට ම පිළිතුරු සපයන ජයසිංහයන්ගේ මහා ආඛ්‍යානය විසින් ම එහි විසංයෝජනයක් ද එල්ලා සිටිනු ලැබේ. අජිත් පැරකුම් ජයසිංහ සුපුරුදු ලෙස තම මහා ආඛ්‍යානය අවසන් කරන්නේ වමට ආඬපාලියක් පැවසීමෙනි. ඉන් නො නවතින ජයසිංහයන් මනෝවිශ්ලේෂණය පිළිබඳ ද දැවැන්ත විනිශ්චයක් ලබා දෙයි.

    අජිත් පැරකුම් ජයසිංහට අනුව හඳයා “ඇගේ ඇස අග” තුළින් වාමාංශිකයන්ට ද මනෝවිශ්ලේෂකයන්ට ද ටොෆි කවා ඇත. ඩේන්ටී, එඩ්නා, ඩයනා, යා-සොන්කෝ ඈ නේක ටොෆී නිෂ්පාදයන් සිටින රටක තමා ද “ඇගේ ඇස අග” නමින් ටොෆි නිෂ්පාදනයක් එළි දක්වන්නට තරම් හඳයාට මඤ්ඤං යැයි අපි නො සිතමු. ජයසිංහයන් වාමාංශිකයන් පිළිබඳ පවසන මුග්ධ ප්‍රකාශ අප විසින් දිගු කලක් තිස්සේ විචාරණයට ලක් කරනු ලැබ ඇත. එනිසා මෙම ආලෝචනය මඟින් අපි ජයසිංහයන් මනෝවිශ්ලේෂණයත් ඒ හා සබැඳි ලකානියානු මාර්ක්ස්වාදයත් ප්‍රංශ ව්‍යුහවාදයත් පිළිබඳ ප්‍රකට කරවන අස්ථානීය අනවබෝධයන් කීපයක් පිළිබඳ සම්පරීක්ෂා කරමු.

    ෆ්‍රොයිඩ්ගේ ඊඩිපස් සංකීර්ණය හෝ එයට යම් ආකාරයකින් විසංවාදී වූ යුංගේ ඉලෙක්ට්‍රා සංකීර්ණය හෝ එකී ද්විත්වය ව සමතික්‍රමණය කළ ලකාන්ගේ සංකේතීය පියා හෝ අජිත් පැරකුම් ජයසිංහ පවසන ආකාරයේ සීනි බෝල සංකල්පයන් නො වේ. ඒවා දාර්ශනික වශයෙන් සුනිශ්චිත සංකල්පයන් ය.

    ළදරුවෙකු තම මව සමඟ ද ළදැරියක තම පියා සමඟ ද ලිංගික සම්බන්ධතාවයට දක්වන “ආශාව” අවිඥානික ව ගතිකාවරෝධනයකට ලක් කර ගැනීම නිසා එකී ළදරුවාගේ හෝ ළදැරියගේ හෝ මනස තුළ ජනනය වන මනෝගතීන් හා භාවයන් ඥානනය කිරීම සඳහා ෆ්‍රොයිඩ් ඊඩිපස් සංකීර්ණය සංකල්පගත කළේ ය. එහි දී ඔහු සම්භාව්‍ය ග්‍රීක සාහිත්‍යයේ එන සොපොක්ලීස්ගේ ඊඩිපස් නාට්‍යාඛ්‍යායනයේ එක් චරිතයක නාමකරණය භාවිතා කර ඇත. යුං විසින් සම්භාව්‍ය ග්‍රීක සාහිත්‍යයේ එන සොපොක්ලීස්ගේ ම ඉලෙක්ට්‍රා නාට්‍යාඛ්‍යායනයේ එක් චරිතයක නාමකරණය භාවිතා කර සංකල්පගත කරන ලද ඉලෙක්ට්‍රා සංකීර්ණය හෙවත් ළදැරියක තම පියා සඳහා තම මව සමඟ කරන මනෝලිංගික තරඟය, ෆ්‍රොයිඩ් විසින් ඊඩිපස් සංකීරණය මඟින් ස්ත්‍රී පුරුෂ ද්විලිංගයට ම සාර්වත්‍ර කරන ලදී.

    ෆ්‍රොයිඩ් පවසන “ආශාව” යනු මානව ජීවිතයේ වැදගත් ම ගාමක බලය යි. මෙකී “ආශාව” යනු කුමක් ද යන්න විග්‍රහ කරන ලකාන් පවසන්නේ එය හුදු කැමැත්තක් පමණක් නො ව “අහිමි වීම” පිළිබඳ සංවේදනයක් බව ය. ලකාන්ට අනුව මෙම “ආශාව” මානව ජීවිතයේ විවිධ අවධිවල දී විවිධ වස්තු හා සංකල්ප වෙත යොමු වේ. “ආශාව” මෙලෙස යොමු වන වස්තු හා සංකල්පවල සංඝටකයන්ගේ සාර්වත්‍ර කුලකය ලකාන් විසින් “මහා අනෙකා” හෙවත් “සංකේතීය සරණිය” ලෙස සංකල්පගත කෙරිණි (ලකාන් මේ සඳහා යොදා ගන්නා symbolic යන වදන ඔහු යොදන්නේ විශේෂණාර්ථයෙන් නො ව නාමාර්ථයෙන් ය). ෆ්‍රොයිඩ්ට අනුව ළදරුවා හෝ ළදැරිය හෝ තම “ආශාව” අවරෝධනය කර ගන්නේ වන්ධ්‍යකරණයට ලක් වීමට ඇති බිය නිසා වු ව ද ලකාන්ට අනුව එකී “ආශාව” අවරෝධනය කර ගනු ලබන්නේ මහා අනෙකා හෙවත් සංකේතීය සරණිය තුළට ළදරුවා හෝ ළදැරිය හෝ අන්තර්ග්‍රහණය වීමේ දී එකී මහා අනෙකා හෙවත් සංකේතීය සරණිය තුළ පවතින හාෂාත්මක සන්නිවේදනයත් අන්තර්පුද්ගල සම්බන්ධතාත් දෘෂ්ටිවාදීමය රීතීනුත් නීතියට අවනත වීමත් යන සංඝටකයන් සමඟ අනුගත වීමක් ලෙස ය. එනම් මහා අනෙකා හෙවත් සංකේතීය සරණිය තුළට අන්තර්ග්‍රහණය වන ළදරුවා හෝ ළදැරිය හෝ එකී භාෂාත්මක ලෝකය තුළ ව්‍යභිචාරවාරණිත දෘෂ්ටිවාදමය රීතීන්ට හා නීතීන්ට අනුගත වීමක් ලෙස තම මව හෝ පියා හෝ කෙරෙහි පවතින මනෝලිංගික ආශාව අහිමි කර ගනී. මෙලෙස ළදරුවෙකු තම මව කෙරෙහි හෝ ළදැරියක තම පියා කෙරෙහි හෝ දක්වන “ආශාව” අත්හැරීමේ දී ඒ සඳහා විකල්පය ලෙස තෝරාගනු ලබන හැඟවුම්කාරකය කුමක් ද යන්න ලකාන් සංකල්පගත කළේ ය. ලකාන් එකී හැඟවුම්කාරකය “පීතෘ නාමය” ලෙස සංකල්පගත කළේ ය. එනම් මව පිළිබඳ ආශාව අහිමි වීම හැඟවුම්කරණය ලකානියානු “පීතෘ නාමය” යි. මෙනයින් අපට පෙනී යනුයේ ලකානියානු “පීතෘ නාමය” යනු සංකේතයක් බව ය. එනම් “පීතෘ නාමය” යන්නට “සංකේතීය පියා” යන්න පර්යාය වේ. “පීතෘ නාමය” හෙවත් “සංකේතීය පියා” මේ අනුව පුරුෂ වීම ම අවශ්‍ය නැත. එය අහිමි කරනු ලැබූ ආශාවට අනුගත ව පුරුෂ හෝ ස්ත්‍රී හෝ විය හැකි ය. සැබවින් ම “පීතෘ නාමය” හෙවත් “සංකේතීය පියා” යනු ලකානියානු ශාස්ත්‍රීය සම්ප්‍රදානයේ එන සංකේතීය, විත්තරූපීය හා යථාමය යන ත්‍රිවිධ සංකල්පයන්ගෙන් එකක් පමණි. පූර්ව භාෂාත්මක අවධියේ දී මව තම මහා අනෙකා බවට පත් වුව ද, භාෂාත්මක අවධියේ දී පියා තම මහා අනෙකා වන්නා සේ ම මානව ජීවිතයේ පසු අවධිවල දී විවිධ බලාධිකාරීත්වයන් හා සමාජායතනයන් තම මහා අනෙකා බවට පත් වන බව ප්‍රංශ ව්‍යුහාත්මක මාර්ක්ස්වාදීහු න්‍යායසූත්‍රගත කළහ (මහා අනෙකා හෙවත් සංකේතීය සරණිය පිළිබඳ ජීවමාන නිදර්ශන අප මෙහි ලා නො දක්වනුයේ ජයසිංහයන් අමනාප විය හැකි බැවිනි).

    ReplyDelete
  8. දෙවන කොටස

    “සංකේතීය පියා” යනු අජිත් පැරකුම් ජයසිංහ පවසන හෝ සිතන හෝ ආකාරයේ ටොෆියක් නො වේ. ජයසිංහයෝ මෙසේ පවසති:

    //පළමුවැන්න චිත්‍ර‍පටයේ වියපත් විශ්වවිද්‍යාල ආචාර්යවරයාට පෙම් බඳින සිසුවියගේ පියා ගැන ඇය ලවා කියවන කතාවයි. ඒ අනුව ඇය සොයන්නේ පියා ය කියන්නට ද සංකේතීය පියා ගැන කතා කරන්නට කැමති අයට ඒ ගැන කතා කරන්නට ද දැන් අවස්ථාව තිබේ.//

    //ඇය එක් අවස්ථාවක සිය පියා සහභාගි වන රූපවාහිනී වැඩසටහනක් නරඹමින් සිටියි. අවශ්‍ය නම් ඇය ද සංකේතීය පියා සොයමින් සිටින බව කිව හැකි ය.//

    පියා අහිමි වූ තරුණියක වියපත් පුරුෂයෙකුට මනෝලිංගික ආසක්තතාවයක් පෑ පමණින් හෝ තවත් දැරියක තම පියා රූපවාහිනියේ නැරඹූ පමණින් හෝ අජිත් පැරකුම් ජයසිංහ නිගමනය කරනුයේ ඇය සංකේතීය පියා සොයන බව ය. ඒ කියනා ඊනියා “සංකේතීය පියා” ලකානියානු සංකේතීය පියෙකු නො ව පැරාමය සංකේත පියෙකු විය යුතු ය. ජයසිංහයන් තම මහා ආඛ්‍යානය සිංහල බසින් ලියා ඇත්තේ ස්ලාවෝ ජිජැක්ගේ වාසනාවකට ය. මක් නිසා ද යත් යම් හෙයකින් ජයසිංහයන්ගේ ලිපිය අන්තර්ජාතික බසකින් ලියැ වී විශිෂ්ට ම සමකාලීන ලකානියානු අර්ථකථනවේදියා වන ස්ලාවෝ ජිජැක් විසින් කියැවිණි නම් ජිජැක් වස කා ස්ලෝවේනියාවේ ශාන්ත මේරි කඳු මුදුනින් පැන සිය දිවි නසා ගනු නියත ය.

    අජිත් පැරකුම් ජයසිංහට මාර්ක්ස්වාදයේ ව්‍යාකරණය නො තේරෙන නිසා ඔහු මාර්ක්ස්වාදීන් වන අපට සදයෝපහාස නඟන සේ ම, අජිත් පැරකුම් ජයසිංහට මනෝ විශ්ලේෂණයේ ව්‍යාකරණය ද නො තේරෙන නිසා ඔහු සර්පයාට ද සදයෝපහාස නඟයි. සත්‍ය ලෙස ම ජයසිංහයන් සදයෝපහාස නඟාගත යුක්තේ තමන්ට ම ය. පැරකුම් ජයසිංහයන්ට මඤ්ඤං වුණාට සමන් කුමාරයන්ට මඤ්ඤං නැත.

    දෘෂ්ටිවාද ප්‍රචාරණයට කලාකරුවන් කලාකෘති බිහි කළ යුතු නැත. වරක් ලෙනින් ම පවසා ඇත්තේ කලාව සම්බන්ධයෙන් නම් සෝවියට් නිල කලාකරුවන් කියවීමට වඩා ධනවාදී පුෂ්කින් කියවීම මනා බව ය. ප්‍රතිභාසම්පන්න කවියෙකු වූ මයාකොවුස්කි හුදෙක් විප්ලවයේ කවියා පමණක් වූයේ ද දෘෂ්ටිවාද ප්‍රචාරණයට කලාව භාවිතා කිරීමට යාම නිසා ය. සමාජ-දේශපාලන විප්ලවයේ දී කලාකරුවාගේ කාර්යභාරය මාර්ක්ස්වාදී අපට නම් පැහැදිලි ය. එනම් මානව ජීවිතය නිදහසේ සුපුෂ්පිත වන්නට බාධා කරන ඊනියා සමාජ සම්බන්ධතාවල අඵලත්වය ඉස්මතු කර ඒවා ප්‍රශ්න කරනු ලබන තැනට රසික ජනයාගේ ආනන්දයත් ප්‍රඥාවත් පුබුදුවාලීම ය. එලෙස අවදි වන ජනතාව මුළු ගන්වා විප්ලවීය වෙනස කිරීම දේශපාලන කාර්යයකි.

    පතී හෑත්තෑව දශකය පුරාවට ඉටු කළේ ද හඳයා පසුගිය දශක දෙකකට ආසන්න කාලයක් පුරාවට ඉටු කළේ ද කලාකරුවාගේ එකී කාර්යභාරය ය. විශිෂ්ට කලාකෘතිවලින් අවදි වන මාණවමාණවිකාවන්ගේ විප්ලවීය විභවය විප්ලවීය යථාර්ථයක් බවට පරිවර්තනය කරනු පිණිස අවැසි වාම විප්ලවීය දේශපාලන ව්‍යාපාරයක් ගොඩනඟනු වෙනුවට අජිත් පැරකුම් ජයසිංහ කරමින් සිටින්නේ ධනපති පංතිය සමඟ සංවාස වී එහි ප්‍රමෝදයෙන් උද්දීපනය වී වාම විප්ලවීය දේශපාලනයට ගැරහීම ය.

    තරුණ ශිෂ්‍යාව වියපත් ආචාර්යවරයාට මනෝලිංගික ආසක්තතාවයක් පෑමත් එමඟින් අවසානයේ වන වියවුලත් පිළිබඳ නො දන්නා “සංකේතීය පියෙක්” අල්ලාගෙන නන්දොඩවන අජිත් පැරකුම් ජයසිංහට අවසානයේ දී එම වියවුල එසේ වූයේ ඇයි යන වැදගත් ම ප්‍රශ්නයට පිළිතුර මඟ හැරේ. ජයසිංහයෙනි, මානව ජීවිතය නිදහසේ සුෂුෂ්පිත ව වැඩෙන්නට බාධා කරන ප්‍රතිගාමී දෘෂ්ටිවාදයන් බිඳ දැමීමකින් තොර ව ළඟා කරගත හැකි විමුක්තියක් නොමැත. එකී ප්‍රතිගාමී දෘෂ්ටිවාදයන්ගේ ආරක්ෂකයා ද ප්‍රවර්ධකයා ද වන ධනපති පාලක පංතියට කොන්දේසි විරහිත ව පහර දී සුනු විසුනු නො කර ඔවුන් හා සංවාස වී ඔවුන්ගේ වසුරු බුදිමින් නන්දෙඩවීමෙන් ඔබ ද අප ද බලාපොරොත්තු වන සාර සමාජය යථාකරණය කර ගත නො හැකි ය.

    අජිත් පැරකුම් ජයසිංහ කන්දක් විළි ලා වැදූ මුෂික පැටියා වන ඔහුගේ “ඇගේ ඇස අග” කියවීම නම් අජූව ය. මීට දශක එකහමාරකට පමණ පෙර එක් සොඳුරු සැඳෑවක කොළඔ නගරයේ මහවැලි කේන්ද්‍ර ශ්‍රවනාගාරයේ වේදිකාව මත සිට විද්වත් සභාවක් අමතා ලාංකීය වාම විප්ලවීය දේශපාලනයේ අතිදීප්තිමත් තාරකාව වන රෝහිත හාෂණ සහෝදරයා ප්‍රසන්නගේ ඉර මැදියම පිළිබඳ කළ අර්ථවත් හා රසවත් විචාරය මට සිහි වේ. සමාජ-දේශපලෙනමය කලා විචාරය වූ කලී එවැන්නක් නො වේ ද? අජිත් පැරකුම් ජයසිංහයෙනි, තෙපි මේ සා කාලයක් කවර නම් නයක් උගත්තෙහි ද?

    ReplyDelete
    Replies
    1. Wow superb comments on Ajith's post. Well done. What a magnificent views of Marxism. I've been extremely impressed with your ideas though I'm not a fucking leftist stupid idiot. Cheers

      Delete
    2. ඉහත කමෙන්ටුව ඉතා වැදගත් එකකි. ෆ්‍රොයිඩියානු, ලකානියානු විශ්ලේෂණ පිළිබඳ මට කීමට ඇත්තේ එක් දෙයකි. දාර්ශනික වශයෙන් කොයි තරම් විචිත්‍ර වුවත්, කොයි තරම් සමාජ සම්භාවනාවට ලක් වුණත්, මේවා විශ්ලේෂණ මිස පරම සත්‍ය වන්නේ නැත. එම විශ්ලේෂණ වෙනුවෙන් හෝ වෙනත් කවර හෝ විශ්ලේෂණයක් වෙනුවෙන් හෝ පෙනී නො සිටීම නිදහස් චින්තකයන්ගේ ස්වභාවයයි. මම මගේ සැකයන් ප්‍රකාශ කළෙමි. ඔබ කර ඇත්තේ මට බැන වැදීම පමණි. මෙම සටහනෙහි නම්, ඔබ ඇගේ ඇස අග ඔබගේ වන්දනාවට ලක් වන න්‍යායන් ඔස්සේ කියවා නැත. මෙතන නැතත්, වෙන කොහේ හෝ තැනක හෝ එම කියවීම ඉදිරිපත් කරන්න. එසේ කිරීමේදී කියවන්නාට එය නො තේරෙන පරිදි හා කියවීම එපා වන පරිදි නො කරන්නට වග බලා ගන්න. මම නම් සිතන්නේ එසේ කරන්නේ ම තමන්ට තමන් කියන දේ ගැන නො තේරෙන නිසා ය. හැබැයි නිර්නාමික වුවත් ඔබට ඔබ කියන දේ ගැන අවබෝධයක් තිබේ. එහෙත් ඒ ඔස්සේ චිත්‍රපටය කියවා නැත.

      මා නො දන්නා බව කීමෙන් වැඩක් නැත. මම දන්නේ නැති බව මම ඉතා පැහැදිලිව කියමි. ඔබ දන්නා දේ ඔස්සේ චිත්‍රපටය කියවන්න. එය වැදගත් වනු ඇත.

      ඔබගේ සටහන අවසානයේදී රෝහිත භාෂණ ඉර මැදියම ගැන කර ඇති අර්ථවත් හා රසවත් විචාරයක් ගැන සඳහන් කර තිබේ. කරුණාකර එය නැවත පළ කරන්නට හැකියාවක් තිබේ ද? ඔහු ලංකාවේ හැටියට විශිෂ්ට ලේඛකයකු හා චින්තකයකු බව මම පිළිගනිමි. එසේම, දේශපාලනය විසින් දූෂණයට ලක් කර කපටියකු බවට පත් කරන ලද තවත් දක්ෂයෙකි.

      හැබැයි දැන් ඔබ මෙය ලියූ නිසා මම මෙයත් පවසමි. භාෂණ ඔය වගේ ම ඔබගේ වන්දනාවට ලක් වන විචාරයක් පුරහඳ කළුවර ගැනත් සම්මන්ත්‍රණයකදී කළේ ය. ඒ දිනවල භාෂණට ඒ ගැන විහිළු කතාවක් තිබිණි. ඔහුගෙන් ම අසා දැන ගන්න.

      භාෂණ සොඳුරු මිනිසෙකි. ඔහු දැන් ලියන දේ කියවා බලන්න. වසර ගණනාවකට පෙර ලියූ දේ ම නැවත නැවත ලියන්නට ඔහුට සිදු වී තිබෙන්නේ ඇයි ද යන්න ද මනෝ විශ්ලේෂණයෙන් විග්‍රහ කරන්නට උත්සාහ නො කරන්නේ ඇයි?

      භාෂණ සමග අපගේ ගැටුම දේශපාලන එකකි. අප උත්සාහ කරන්නේ අප එකට ආ දේශපාලන ගමන ඉදිරියට යොමු කරන්නට මිස අන් කිසිවකට නො වේ.

      Delete
    3. මේකත් කියන්න ඕනැ. මේක ලියන්න කන්දක් විලි ලෑවෙ නැහැ. චිත්‍ර‍පටය බැලූ දාට පසු දා මේක ලියලා රාවයට දැම්මා. පළ වුණේ සති දෙකකින් එච්චරයි.

      අනෙක අපි කලා කෘති බලන්නේ රසවිඳින්නත්, විඳ ගත් රසය බෙදා ගන්නත් මිස ඒවා කර ගහගෙන යන්න නෙමෙයි.

      බැලුවා. ඉවරයි. එතනින් පස්සෙ ඒක අදාළ වෙන්නේ සමාජ සංවාදයට විතරයි. මොකද චිත්‍ර‍පට කියන ඒවා සාමාන්‍යයෙන් ගීත වගේ නැවත නැවත රස විඳින ජාතියක් නෙමෙයි.

      - අජිත් පැරකුම් ජයසිංහ (ඇනොනිමස් කමෙන්ටුවක් ලෙස පළ කරන්නේ මගේ බ්‍ර‍වුසරයේ මතු වී ඇති ටෙක්නිකල් ප්‍ර‍ශ්නයක් නිසා ය.)

      Delete
  9. අශෝක හඳගමගේ චන්ද කින්නරී චිත්‍රපටය මත්පැන් පානයේ ආදීනවය ගැන කියවෙන ආදර්ශමත් චිත්‍රපටයක්.
    ඔහුගේ තනි තටුවෙන් පියාඹන්න යනු කාමයේ වරදවා හැසිරීමෙන් මෙලොවදීම වන විපාක ගැන කියැවෙන්නක්.
    මේ චිත්‍රපටියේ බෞද්ධ තේමාව කුමක්ද?

    ReplyDelete
  10. /* ආරාධිතවත් අනාරාධිතවත් බොහෝ අය ඇවිත් තිබුණා. අනාරාධිත සමහරුන් ආවේ ආරංචියට ආදරේට. තව සමහරුන් ආවේ තරහට. කිසි කෙනක් ආපහු හරවලා යවන්නේ නැතුව හැමෝටම බලන්න ඉඩ දුන්න. */

    පැරා මේ මූවි එක නැරඹුවේ- ඒ කොයි ආකාරයට ද?

    ReplyDelete
    Replies
    1. මං ගියේ ආරාධිතව. මේ ප්‍ර‍ශ්නය අහපු එක හොඳයි. මං සාමාන්‍යයෙන් කලා කෘති වෙනුවෙන් ගෙවිය යුතු මිළ ගෙවන්න කැමතියි. ඒත්, රසික වගේ කෙනෙක් නිකං පොතක් දුන්නත් ගන්නවා.

      හඳගම වගේ අය අපි වගේ කාවවත් තඹ දොයිතුවකට මායිම් නො කරන රස්තියාදුකාර බ්ලොග්කාරයන්ට තමන්ගේ මූවි එකේ ප්‍රෙස් ෂෝ එකට ආරාධනා කරන්නේ අපට තිබෙන සිවිල් බලයක් නිසා නොවන බවත්, අප කරන මැදිහත් වීම වැදගත් යයි ඔහු සිතන නිසා බවත් මං හිතනවා. ඔහු එහෙම නො හිතුවත් කමක් නැහැ, ඔහු එහෙම හිතනවා ය කියලා මං සතුටු වෙනවා.

      මේක ලිව්වේ ආරාධනා කළ නිසා නෙමෙයි. ලිවිය යුතු යය මා සිතන නිසා. පසුගිය දිනවල මට ගෝඨයිම්බර කෝලම බලන්නත් විශේෂ ආරාධනාවක් ලැබුණා. ඒත්, මං ඒ නාට්‍යය වචන දෙක තුනකින් පතුරු ගැහුවා. වෙනත් වැදගත් කෘති ගැන කිසිවක් නො ලියන ඇතැමුන් ඒ ගැන මේ තරම් ලියන්නේ ඇයි කියන එක කල්පනා කර බැලිය යුතු කාරණයක්.

      ලංකාවට අවශ්‍ය කලා කෘති මුදල් ගෙවා රසවිඳ තමන් විඳ ගත් සැබෑ රසය අවංකව බෙදා ගන්නා සංස්කෘතියක්. මං ලියන්නේ ඒ පදනමින්.

      මං තමන්ගේ කෘතිය ගැන ලිව්වා ය කියලා ඇතැමෙක් දන්නේවත් නැහැ. සමහරු කතා කරලා ස්තුති කරනවා. මං නම් කියන්නේ එහෙම ස්තුති කරන්න දෙයක් නැහැ. මං කරන්නේ පුරවැසියකු ලෙස මා කළ යුතු දෙය මිසක් වෙන අමුතු බෝලයක් නෙමෙයි.

      - අජිත් පැරකුම් ජයසිංහ (ඇනොනිමස් කමෙන්ටුවක් ලෙස පළ කරන්නේ මගේ බ්‍ර‍වුසරයේ මතු වී ඇති ටෙක්නිකල් ප්‍ර‍ශ්නයක් නිසා ය.)

      Delete
    2. හඳගම ගේ චිත්‍රපටයක් විශේෂ දර්ශනයට බ්ලොග්කරුවෙකු ගිය අවස්ථාවක් මෙන්න.
      http://blog.sudaraka.com/2010/05/15/vidhu/

      Delete
  11. මේ මූවි එකේ ටේ‍රලරයක් මා කලින් නරඹා තියෙනවා. මට නම් එහි දර්ශනවලින් කියවුණු මුල් කාරණය තමයි අපි කවුරුත් වයසට යන සත්‍යය. ඒ ස්වර්ණාව කාලඛෙට පසු දුටු විටයි.

    ඊට අමතරව ඇය ගේ ඇඳුමක ලොකු අවුලක් දුටුවා. එය උවමනාවෙන් කළ එකක් ද, වැරදීමක් ද කියා සිතා ගන්න බැරිවුණා!

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.