2016-06-20

අනිවාර්ය අත්ථකිලමතානුයෝගය වෙනුවෙන් අර්ජුන් මහේන්ද්‍ර‍න් ගෙදර යැවීම

අජිත් පැරකුම් ජයසිංහ, 2016-06-19 රාවය

2015 ජනවාරි 8 ජනාධිපතිවරණයේදී මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට වෙහෙස වූ පුරවැසි බලවේග ආණ්ඩුව සමග සටනට එළැඹ තිබේ. ඒ සඳහා මූලික නිමිත්ත වී තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ය. ඔහුට සේවා දිගුවක් ලබා නො දෙන ලෙස පුරවැසි බලවේග උද්ඝෝෂණය කරති.

අර්ජුන් මහේන්ද්‍රන් අගමැති රනිල් වික්‍රමසිංහගේ කිට්ටුවන්තයෙකි. ඔහු විදේශිකයකු වීම හෝ දෙමළ ජාතිකයකු වීම හෝ පුරවැසි බලවේග ප්‍රශ්න කරන්නේ නැත. එහෙත්, ඔහුගේ සමය තුළ සිදු වූ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. මූලිකව ම එහි බරපතල සදාචාර ප්‍රශ්නයක් ඇත. මහ බැංකු අධිපතිවරයාගේ බෑණාට හිමිකාරිත්වය ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනය භාණ්ඩාගාර බැඳුම්කරවලින් අධික ලාභයක් උපයා ගත් බවට චෝදනා එල්ල වේ. ඒ සඳහා මහ බැංකු අධිපතිවරයා අභ්‍යන්තර තොරතුරු ලබා දී තිබේ නම්, ඒ වනාහි සදාචාර ප්‍රශ්නයක් නොව බරපතල මුල්‍ය අපරාධයකි.

එහෙත්, මුල්‍ය වෙළඳපොළේ තරගකාරී සමාගම් විසින් එවැනි පැමිණිල්ලක් කර නැති වීම විශේෂ තත්වයකි. භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් ගමේ සීට්ටු වෙන්දේසි පරිද්දෙන් සිදු නො වන බවත්, ඒවා සිදු වන පාරදෘෂ්‍ය ටෙන්ඩර් පටිපාටියක් ඇති බවත් ඇත්තකි. භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් මෙවැනි සැකමුසු තත්වයක් ඇති වන්නේ මුලින් ටෙන්ඩර් කරන ලද වටිනාකමට වඩා බැඳුම්කර ප්‍රමාණයක් මිළ දී ගන්නට මහ බැංකුවට ඇති අවසරය නිසා ය. සාමාන්‍ය ටෙන්ඩර්වලදී නිදසුනක් ලෙස මිළ දී ගන්නා බව දැනුම් දුන්නේ ඩොප්ලර් රේඩාර් පද්ධතියක් නම්, මිළ ගණන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඩොප්ලර් රේඩාර් පද්ධති දෙකක් මිළ දී ගන්නට හදිසියේ තීරණය කරන්නේ නැත. එහෙත්, භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් එසේ සිදු වේ. පසුගිය මාර්තු 29දා සිදු කළ බැඳුම්කර වෙන්දේසියේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු. බිලියන 10 ක භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කරන බව ප්‍රසිද්ධ කොට ඒ ප්‍රමාණය මෙන් තුන් ගුණයක එනම් රු. බිලියන 29 ක භාණ්‌ඩාගාර බැඳුම්කර සියයට 14.23 ක අධික පොළියට නිකුත් කර ඇත.

මෙය ද අලුත් තත්වයක් නො වේ. කාලයක් තිස්සේ ම මෙම භාවිතාව ද සිදු වී තිබේ. මේ වනාහි ජනතාවගේ දෑස් වසා මහජන මුදල් කොල්ල කන සංවිධානාත්මක මුල්‍ය ජාවාරමක් විය හැකි ය.මහ බැංකුව කරන ප්‍ර‍ධාන කාර්යය වන්නේ ණය ගත හැකි හැම තැනකින් ම ණය ගැනීමයි. එහෙත්, මේ ණය ගෙවන්නේ මහජනතාවගේ මුදලිනි. 

දේශපාලකයන් පමණක් නොව රජයේ නිලධාරීන් ද ඉහළ සිට පහළට ම දූෂිත ය. අප ඉහත උදාහරණයක් ලෙස දැක්වූ ඩොප්ලර් රේඩාරයේ කතාව රජයේ නිලධාරීන්ගේ ස්වභාවය හෙළිදරව් කරන්නකි. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සුනාමියෙන් පසු මිළ දී ගත් ඩොප්ලර් රේඩාර් යන්ත්‍ර‍ය භාවිතාවට නො ගෙන විනාශ වන්නට ඉඩ හැරියේ ය. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 500ක් පමණ වියදම් කිරීමෙන් පසු දැන් අලුතින් එවැනි යන්ත්‍ර‍යක් මිළ දී ගන්නට යන්නේ ඊටත් වඩා මුදලක් ගෙවමිනි. 

දේශපාලකයින් හා රජයේ නිලධාරීන් මේ රටේ මහජන මුදල් නාස්ති කරන්නේ තරගෙට ය. බොහෝ දෙනෙක් ඇඟිල්ල දිගු කරන්නේ දේශපාලකයන්ට වුණත් රජයේ නිලධාරින් කිසි සේත් ම දේශපාලකයන්ට දෙවෙනි වන්නේ නැත. මහජන මුදල් නාස්ති කිරීම වෙනුවෙන් ඔවුන් විශාල වරප්‍ර‍සාද ද ලබා ගනිති. අර්ජුන් මහේන්ද්‍ර‍න් කදිම නිදසුනකි. ඔහුට එරෙහි පුරවැසි අරගලය දේශපාලනික වශයෙන් ඉතා වැදගත් වන්නේ එහෙයිනි. 

මහජන මුදල් නාස්ති කරන තවත් ආයතන පද්ධතියක් කෙරෙහි ද රටේ අවධානය යොමු කරන සිද්ධියකි, සාලාව අවි ගබඩා පිපිරීම. මේ වනාහි අනිවාර්යයෙන් ම හමුදා ප්‍ර‍ධානීන්ගේ සිට මෙම කඳවුරේ සෙබළුන් දක්වා මහජන මුදලින් වැටුප් ලබන නිලධාරීන් වගකිව යුතු තත්වයකි. දැඩි කොන්දේසි යටතේ ණයක් අනුමත කර ගන්නා විට ඒ හා සමාන වටිනාකමකින් යුත් හානියක් හමුදාව විසින් ලංකාවේ කර තිබේ. 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පසුගියදා ඩොලර් බිලියන 1.5ක් අනුමත කළ බව වාර්තා වූ දිනවල ම වාර්තා වූ තවත් කරුණක් වන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා යුද හමුදාව එයින් දෙකෙන් පංගුවකට පමණ වැඩ ලෑස්ති කර ඇති බවයි. ඩොලර් මිලියන 300-400 අතර මුදලක් වැය කරමින් ගුවන් හමුදාව ප්‍රහාරක ගුවන් යානා ආදිය මිළ දී ගන්නට යන අතර, යුද හමුදාව හා පොලිසිය වෙනුවෙන් අවි ආයුධ හා උපකරණ මිළ දී ගැනීමට ද ඒ හා සමාන මුදලක් වැය කිරීමට තීරණය කර ඇත. මහජන මුදලින් ගන්නා දැවැන්ත ණයවලට සිදු වන්නේ මෙයයි. මේ ඊනියා ආයෝජනවලින් මේ රටේ සිදු වන සංවර්ධනය කුමක් ද?  ඒ ණය ගෙවන ජනතාවට වන සුබසෙත කුමක් ද? 

මේ වන විට ලංකාවේ ආර්ථිකය ඇත්තේ අතිශය දුෂ්කර අඩියක බව ඕනෑ තරම් ලියවී, සාකච්ඡා කර තිබේ. නව ආණ්ඩුව අපේක්ෂා කළ ආකාරයට බටහිර රටවලින් හෝ ඉන්දියාවෙන් උපකාර නො ලැබෙන බව දැන් පැහැදිලි ය. ලැබෙන උපකාර ද දුෂ්කර කොන්දේසි මගින් බැඳී තිබේ.  මෙම සංදර්භය තුළ ලංකාවට ගොඩ යාමට උත්සාහ කළ හැක්කේ  දැඩි ලෙස අත්ථකිලමතානුයෝගී ප්‍ර‍තිපත්තියක් අනුගමනය කිරීමෙනි. ආණ්ඩුව මේ වන විට එසේ කිරීම සඳහා ජනතාවට බල කරමින් තිබේ. එහෙත්, ආණ්ඩුව පැත්තෙන් එවැනි සූදානමක් පෙන්වා නැත. 

නාස්තිය, දූෂණය අවම කරමින් රට විනයගත කිරීම හා ඵලදායිතාව නැංවීම හැර වෙනත් ආර්ථික ප්‍රාතිහාර්ය පෙන්වීමේ හැකියාවක් ආණ්ඩුවට හෝ ආණ්ඩු බලය ලබා ගැනීමට සුරංගනා කතා කියන කිසිවෙකුට නැත. 

මහජන මුදල් සමග සෙල්ලම් කරන දේශපාලකයන්ගෙන පටන් ගෙන සාමාන්‍ය ජනයා දක්වා ඉහළ සිට පහළට දූෂණයෙන් කුණු වී ඕජස් ගලන මේ සමාජයට අවශ්‍ය පරිදි නායකත්වය මෙහෙයවා ගැනීම සඳහා පුරවැසි ව්‍යාපාරවලට දැඩි අරගලයක් කරන්නට සිදු වනු අැත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

8 comments:

  1. Show Biz එකේ අයට No publicity is bad publicity කිව්වට රජයේ සේවකයන්ට ANY publicity is bad publicity !

    ReplyDelete
  2. රුපියල් දහදහකින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන බවට මේ රජය පොරොන්දු දෙන විට කියා සිටියේ ඒ වැටුප් වැඩිවීම් වෙනුවෙන් රජයට දරන්න වෙන මුදල නාස්තිය හා දුෂණය අවම කර පිටුදැකීමේන් සොයා ගන්න බවයි.නමුත් සිදුවුනේ රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමේ බර රටේ සමස්ත ජනතාව වෙතම බදු තුලින් පැනවීමයි.පැවති රජයට නොදෙවැනි නාස්තිකාර දුෂණ මේ රජය තුලින්ද දකින්න ලැබීම කනගාටුවක්.අවසානයේ මේ සියල්ලේ බර දරන්න වෙන්නේ රටේ මහා ජනතාවට.රජය බලයට ගෙනා පුරවැසි බලවේග රජයේ එහෙයියෝ නොවී කටයුතු කිරීමද අගය කලයුත්තක්.

    ReplyDelete
    Replies
    1. රජයේ සේවක වැටුප් වැඩි කළාට රජයේ සේවයේ කාර්යක්ෂමතාව අංශු මාත්‍රයකින්වත් වැඩි කරන්නට ආණ්ඩුව සමත් වෙලා නැහැ.

      Delete
  3. හමුදාවට, පොලීසිය ට ආයුධ ගන්නේ වෙනත් රටවල පුරුවැසියන්ට වත් රටේ බලවත් පුරවැසියන් වෙඩි තියන්න නම් නෙවෙයිනේ, අපිටමයි නේ ඒ නිසා සතුටු වෙමු.

    ReplyDelete
  4. ටෙන්ඩර් ගැන ඉතා කුඩා අවබෝධයක් තියන මට උනත් තේරෙනව ඒ ගණුදෙනුව ගැන පරීක්ෂණ කලයුතු බව.(සහ ඊට කලින් එහෙම දේවල් සිදුවෙලා නං ඒවා ගැනත් එච්චරයි). මේ වගේ වෙලාවල අනෙක් සමාගම්වල අයගේ විරෝධය ගැන මහ ලොකුවට සලකන්න බෑ. මම හොඳින්ම දන්න ටෙන්ඩර් ගණුදෙනු (සුළු පරිමාන) තියනව, කට්ටිය බෙදාගෙනයි කන්නෙ. මේ සැරේ එක්කෙනෙකුට, ඊලඟ සැරේ තව එකෙකුට,.... එකෙක්වත් කට අරින්නෙ නෑ, මොකද එහෙම වුනොත් ෆීල්ඩ් එකෙන් කපල දාන එක සිම්පල් වැඩක් බලය තියන එවුන්ට.

    කොහොම උනත් පුරවැසි සංවිධානවල විරෝධය සාධාරණයි වගේම අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තක්. මොකද මීට කලින් එවැනි විරෝධතා ලොකුවට ආවෙ නෑ. අරගල කරන තරමටයි යහපාලනය සොච්චමින් හරි ලැබෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අනෙක් සමාගම්වල විරෝධය නෙවෙයි රාජ්, insider dealing එකකදි පාඩු වෙන්නේ තවත් සමාගමකට.මොකද වෙළෙඳපොලක් කාර්යක්ෂම වෙන්නේ තොරතුරු දැන් ගැනීම මතනේ. එතකොට යම් සමාගමක් අනිසි විදිහට යම් අභ්‍යන්තර තොරතුරක් ලබාගෙන ඒකෙන් ලාභ ඉපයුවොත් ඒකේ අවාසිය තවත් සමාගමකට. දැන් මෙතන ගැටළුව වෙන්නේ වැඩි කරපු බැඳුම්කර වටිනාකම් මේ කියන සමාගම අතරේ විතරක් නෙවෙයි අනික් සමාගම් අතරත් බෙදිලා ගිහිල්ලා තියෙන එක. අනික පොළිය අධිකද නැද්ද කියලා බලන්න වෙන්නේ කල් පිරීමේ කාලයත් එක්ක. නිකමට හිතන්න ස්ථාවර තැන්පතුවක වුනත් අපිට වැඩි පොළියක් බැංකුවක් ගෙවන්නේ කල් පිරීමේ කාලය වැඩි වෙනකොට.

      Delete
  5. ධම්මවයි මොහාන්වයිත් ඉදිරි දින කීපය තුළ ඇතුලට ගන්න යනවා කියලා ආරංචියි. පැරාලගේ යහපාලනය මේක ද? කියලා අපි අහනවා. මාධ්‍යයටත් සරසවිවලටත් අත නොතබනු!

    ReplyDelete
  6. ඔය මොකාව ඇතුලට ගත්තත් විජේවර්ධන වලව්වේ රනිල් හාමු මැදමුලන මහින්ද ව මොන වැරදි තිබ්බත් ඇතුලට ගන්නේ නැති බව පැරාත් දන්නවා

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.