2016-07-03

සමූලඝාතනය

පැරකුම් ජයසිංහගේ කෙටිකතාවකි

“ඉස්කෝලවලට කොටි ගහනවලු." ඒ ආරංචිය ලැව් ගින්නක් සේ පැතිරිණි.

අපේ හමුදාව එහේ ඉස්කෝලෙකට ගුවනින් බෝම්බ දාලා ය කියන පුවත වෙබ් අඩවිවල තිබුණත් කවුරුවත් ඒ ගැන කතා නො කළ හ.

ඒක: වෙබ් අඩවිවල තියෙන්නෙ බොරු ය.
දෙක: එහෙ ඉන්නෙ කොටි ය.
තුන: ළමයි කියන්නෙ කොටි පැටව් ය.
හතර: ඉස්කෝලවල කරන්නෙ අනාගතේ මරාගෙන මැරෙන්න සොල්දාදුවන් හදන එක ය.

ඒවා එහෙම නො වුණත්, උන්ට හොඳ පැටිගිරියක් නැහැ. මායිම් ගම්මානවලට පැනල කිරි දරුවන් පවා කැතිගාලා, වෙඩි තියලා, මරා දමලා තියෙනවා.

අනෙක අපේ හමුදාව එහෙම මානව හිමිකම් උල්ලංඝනය කරන්නෙ නැහැ. අසූනමය දැන් අදාළ නැහැ.

අපට උන්ගෙ මානව හිමිකම් වැඩක් නැහැ. මානව හිමිකම් කියන්නෙ බටහිර අදහසක්. බටහිරින් සල්ලි ගන්න එන්ජීඕකාරයෝ තමයි ඔය අදහස් පතුරුවන්නෙ.

“ඉස්කෝලවලට කොටි ගහනවලු."

උන් හැම තැනට ම ගහනවා. නො ගහන තැනක් නැහැ. තැපැල් කන්තෝරුවෙත් බැරියර්. උන් ලියුම්වලට පවා ගහනවා.

ගුරුවරියෝ ඔක්කොම තමන්ගෙ ළමයින් අරගන්න ටවුමෙ ලොකු ඉස්කෝලවලට දිව්ව හ. දුවන්නට කලින් පැමිණීම අත්සන් කරන්නට කවුරුවත් අමතක කළේ නැත. නැතිනම් නිවාඩු වැටෙනවනේ. අද ඉස්කෝල වහයි. නිවාඩු වැටුණොත් අපරාදෙ.

ගමේ මිනිස්සුත් බය වුණ හ. ඔවුන් බලා සිටියේ බය වෙන්නට ම ය. සිතියමේ කාටවත් හොයාගන්නට බැරි නන්නාඳුනන කොණ්වල ඉස්කෝල ඉදිරිපිටත් දෙමව්පියෝ ළමයින් ගෙදර ගෙන යාමට ඉල්ලමින් ගේට්ටු ගාව රැස් වුණ හ. 

බය වීම රට ජාතිය වෙනුවෙන් කරන යුතුකමකැයි සිතන්නා වැනි විය. උය-උයා, රෙදි හෝද-හෝද, රූපවාහිනී බල-බල හිටි ගමන් දත් නොමැදි කටවලින් ආරංචිය කිය-කියා, කොණ්ඩා අල්ලා හිස් මුදුනින් බැඳ-බැඳ අම්මලා ඉස්කෝලෙට දිව්ව හ. සමහරු හිටියේ නයිටියට යටින් බ්‍රෙසියර් එකයි, යට සායයි ඇඳගෙන ය.

“ළමයි ටික බලාගන්න. මහත්තයලා ගේට්ටුව ළඟ මුර කරන්න. මං යනවා කලාප කාර්යාලෙට උපදෙස් ගන්න," යි කියූ විදුහල්පතිතුමා යතුරුපැදියේ නැග පිටත්ව ගියේ ය.

අම්මලා ඔක්කොම ගේට්ටුව ළඟ රැස්වෙලා එක සැරේ කතා කළ හ.

“ටවුමෙ ඉස්කෝල ඕකුන්ගෙ අම්මලට වහලා මරන්න ඕන නිමල් අයියා කන්න එපායැ ළමයි අරන් ආවා අපේ මහත්තයා අපට වැඩක් නැහැ හමුදාවෙ අපේ ළමයි එයා කියනවා අපට ඕනැ කන්න ඕනැ මාර වැඩක්නේ ආරක්ෂාව කෝ මේක වේස බල්ලො ලොකු සර් කෝ කියල වැඩක් නැහැ ළමයි කියලා බලන එකක් නැහැ එයා ගිහින් ප්‍රභාකරන් කිව්වලු එයා ඉතින් ඔක්කොටම ඉස්සෙල්ලා මගඅරිනවා සිංහල මිනිස්සුන්ට ඕකව මාරු කරන්න ඕනැ සති දෙකයිලු ඕනැ දෙයක් මතක.................."

“ළමයින්ව අපි බලා ගන්නවා," විනය භාර ගුරුවරයා කීවේ ය. 

“බලාගන්න මිස්ලා කෝ? ඔක්කොම ඔය දිව්වෙ සාරි කඩාගෙන ඒගොල්ලන්ගේ ළමයින් ගන්න ටවුමෙ ඉස්කෝලවලින්," වෙනදා බයාදු පෙනුමක් ඇති කෙට්ටු ගැහැනියක් කීවා ය. තනි තනිව පාසලට ආ විට දෑත් ඉදිරියෙන් අල්ලාගෙන අඹරවමින් මඳක් ඉදිරියට නැමී හිස ඇල කරගෙන කණට ඇසෙන නෑසෙන හඬින් කතා කරන ඇගේ කටහඬ අද එඩිතර ය. ප්‍රකුපිත ය. 

නැවත බරබරය ඇවිලිණි. 

“නිකං ඉඳලා උන්ගෙ ළමයි විතරද පඩි ගන්නවා ළමයි නිවාඩු හැමදාම අපේ ළමයි නිදි කිරනවා ළමයි නෙමෙයි ද පොඩ්ඩ බැරි වුණොත් අපට අපේ ළමයි එනවා අපේ කටේ අතුල්ලන්න අපට ඕනැ කටු බැල්ලියො වගේ මහ එකත් නෑ මෙතන ආරක්ෂාව මොනවා හරි වුණොත් කාලකන්නි මුන්ද ගුරුවරු..............."

දෙකේ පංතියේ ගැහැනු ළමයෙක් අඬාගෙන ගේට්ටුව ළඟට ආවා ය. ඇගේ ගවුම දම් පාට ය. සේදූ රෙදිවල දීප්තිය වැඩි වීමට දමන කුමක්දෝ බාල දියරයක් වැඩියෙන් දමලා ය. එහි තැන් තැන්වල පැල්ලම් ය. ගවුම පොඩි වෙලා ය.

“සර්, අහිංසා මට පැන්සලෙන් ඇන්නා," ළමයා බාහුවේ සීරීමක් පෙන්වමින් කීවා. 

“කෝ උඹේ ටයි එක?" විනය භාර ගුරුවරයා ඇසුවේ ය.  

ළමයා නිරුත්තර ය. ඇය දමා සිටියේ රබර් සෙරෙප්පු ය.

“පලයං පන්තියට," විනය භාර ගුරුවරයා ගුගුළේ ය. බියපත් ළමයා හඬමින් පසු නො බලා ම පන්තියට දිව්වා ය. 

“ඒයි! මෙහෙ වරෙල්ලා!" විනය භාර ගුරුවරයා එහෙ මෙහෙ යමින් පංතිවල කෑගසන කොල්ලන්ට තලමින් සිටි එකොළහේ පන්තියේ ශිෂ්‍ය නායකයින්ට කතා කළේ ය. 

“ඒයි විජිනි, උඹ පලයං අර දෙකේ පන්තියට. ඒකෙ ඉන්න අර ලැයිමෙන් එන කලවං කෙල්ලට ළමයෙක් ගහලා කියනවා, බලපං. ටීච එනකල් උඹ ඒ පංතිය බලා ගනින්!"

ශිෂ්‍ය නායිකාවන් දෙදෙනෙක් අතිනත අල්ලාගෙන ලැසි ගමනෙන් දෙකේ පන්තිය දෙසට ගිය හ. විනය භාර ගුරුවරයා සිගරැට්ටුවක් බීමට කැන්ටිමට ගියේ ය.

ගුරුවරු ගේට්ටුව වසා දමා, මුරට ශිෂ්‍ය නායකයන් තබා පාසල ඇතුළේ පිහිඹියා ගස යටට ගිය හ. ගේට්ටුව ළඟ කං කරච්චලය දිගට ම පැවතිණි. 

භූගෝල විද්‍යාව උගන්වන සිරිවර්ධන මිස්ට ප්‍රශ්නයක් නැත. විශ්‍රාම යන්නට කිට්ටු වයසේ සිටින ඇයට සිටින්නේ පුතෙකු පමණි. ඔහු දැන් වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසරේ ය. තව අවුරුදු කීපයකින් සිය පවුලේ දුක්ඛ දෝමනස්සයන් සියල්ල යුද්ධයෙන් හෙම්බත් වී සිටින ශ්‍රී ලංකාද්වීපයේ දමා විශ්‍රාමික ගුරු යුවල සිය පුතු සමග බටහිර යුරෝපයට, ඇමරිකාවට, කැනඩාවට, ඕස්ට්‍රේලියාවට හෝ නවසීලන්තයට යනු ඇත. සිතියම් පොතෙන් මේ රටවල් ගැන අතැඹුලක් සේ දැන සිටිමුත් ඇය ලංකාවේ දේශසීමාවෙන් ඔබ්බට කිසිදාක පය ගසා නැත. 

“මේ රට හරියන්නෙ නැහැ සර්," ඇය කණ්ඩිය උඩ පිහිටි බුදු මැදුරට නගින පඩි පෙළ අමාරුවෙන් නගින අතර කැන්ටිමට යමින් සිටි විනය භාර ගුරුතුමාට කීවා ය. ඔහු නෑසුණා සේ ගියේ මේ වෙලාවට සිගරැට් උගුරක් නො ඇද්දොත් හාට් ඇටෑක් එකක් හැදෙන්නට පවා ඉඩ ඇති බව සිතමිනි.

“මොන එකකට මේක මෙච්චර උඩින් හැදුවද මන්දා," යි කියමින් සිරිවර්ධන මිස් සිය මාංශාධික සිරුර පඩියෙන් පඩියට ඔසවන කල පහළින් පැමිණි නමයේ පන්තියේ ගැහැනු ළමයින් අතර සිටි එකියකගේ මනසේ තඩි වොල්රසකුගේ රූපයක් ඇඳී මුවගට සිනාවක් නැඟිණි. 

බුදු මැදුරට පිවිසි සිරිවර්ධන මිස් වවුල් ගඳ හා මී ගඳ නිසා නැහැය හකුළුවා ගත්තා ය. 

“ඔන්න බුදුනෙ මල්, මෙන්න මං ගියා කියලා මල් ටික තියලා දුවනවා මිසක මෙතන අස් කරන්න මේ ළමයින්ට උවමනාවක් තියෙනවා යැ," යි කියූ සිරිවර්ධන මිස් සාරි පොටින් මුහුණේ යට අර්ධය වසා ගත්තා ය. 

කොල්ලෙක් කොස්සෙන් මල් ආසනය පිස දමන්නට සැරසුණේ ය. සිරිවර්ධන මිස් බුරා පැන්නා ය. කෙල්ලෝ හිකි හිකි ගෑ හ. කොල්ලා කර තිබුණේ බොරුවකි. ඔහු කිසිවක් නොවූවා සේ බිත්තියේ මකුළු දැල් කැඩුවේ ය. ගැහැනු ළමයි සීරුවෙන් මල් ආසනය පිරිසිදු කළ හ. 

සිරිවර්ධන මිස් අරලිය ගස යටට පා වී ගොස් ජංගම දුරකථනයෙන් පුතාට ඇමතුමක් ගත්තා ය.

“කෑවද පැටියෝ?" 

“ඔය පැටියා මෙයාටත් වඩා අලියෙක්." මකුළු දැල් කඩන කොල්ලා සිරිවර්ධන මිස්ට නෑසෙන ලෙස කීවේ ය. කෙල්ලෝ ද ඇය දෙස බලා මුහුණ සඟවා ගනිමින් දසන් නොම දක්වමින් සිනාසුණ හ. 

ගේට්ටුව අසලට ලංකාදීප පත්තරයක් පැමිණ ඇත. පුළු පුළුවන් අය උඩින්, යටින්, වටෙන් එයට එබිකම් කරලා ය. බැරි අය කම්මුල්වල අත ගසාගෙන අසා සිටිති.  

පාසලක ගේට්ටුව අසල ගැවසුණු මුස්ලිම් මිනිසකුට සිසුන්ගේ මව්පියන් පහර දීම නිසා රෝහල්ගත කර සිටියදී මිය ගොස් ඇත. 

“මැරිලා තියෙන්නෙ හෘදයාබාධයකින්. මිනිස්සු ගහපු නිසා නෙමෙයි." පත්තරය කියවමින් සිටි ත්‍රිරෝද රිය පදවන පියා කීවේ ය. 

“ඔය මිනිහා කරන්නේ ඉස්කෝලවල උත්සවවලට හයිඩ්‍රජන් බැලුන් සපයන එක. අපේ ලොකු පුතාලගේ ඉස්කෝලෙත් ස්පෝට්මීට් එකට හයිඩ්‍රජන් බැලුන් පා කළා. හරි ලස්සනයි," කලා විෂය ධාරාවෙන් උසස් පෙළ සමත් වුණත්, ගුරු පත්වීමක් නො ලැබුණ නිසා ගුරුවරුන් එක්ක තරහා, ඔවුන්ගේ ඉගැන්වීම් ගැන නිතර සදය උපහාසයෙන් කතා කරන දුලානි කීවා ය. “හයිඩ්‍රජන් ඔක්සිජන්වලට වඩා බරින් අඩුයි නේ. අපේ පුතා කරන්නෙ මැත්ස්. කෙමිස්ට්‍රිවලට පන්ති යන්නේ බද්දෙවිතාන සර් ළඟට."

“ඉතින් අපට මොකද?" යි සෙනග අතර සිටි තවත් කවුරුද ගැහැනියක් කීවා ය. දුලානි ඉලක්කයක් නොමැතිව රවා නිහඬ වූවා ය. 

දෙකේ පන්තිය භාර මිස් කැටුව ටවුමේ කඩයක හිමිකරුවකු වන ඇගේ සැමියා යතුරුපැදියෙන් පැමිණියා ය. 

“මොකවත් ප්‍රශ්නයක් නැහැ," යි කියූ ඇය පන්තියට යන්නට පෙර පාසල් වත්තේ පිහිඹියා ගස යට රැස් වී සිටි ගුරු මහත්වරුන් සමග අත පය විහිදුවමින් සෑහෙන වෙලාවක් කතා කරමින් සිටියා ය. ඇගේ සැමියා පිටත්ව යන්නට පෙර ගේට්ටුව අසල සිටි ත්‍රිරෝද රියදුරා ඔහු නවත්වා ගත්තේ ය.

“පොලීසියෙන් නෑ නෑ මොකුත් ප්‍රශ්නයක් ළමයි ගෙනියන්න ප්‍රින්සිපල් වටේටම ගාඩ් එක දුන්නෙ නැහැ ප්‍රිෆෙක්ට්ලා ගේට්ටු ඔක්කොම වහලා ඒක තමයි කාටවත් කරදරයක් අපි කලබල නෑ වුණේ මන්ත්‍රීතුමත් ආවා බොරුවට රේඩියෝ එකේ මරන්න ඕනැ කාලකන්නි මේකෙත් ඉන්නවා දෙමළු ඕකුන්ට උදව් ඉන්නෙ නම් අහිංසකයෝ තම්බිත් එකයි කරන එවුන් එන්ජීඕ බොරුනේ ඒව කොහෙද මාළු කනවා.........."

“මගෙ පුතාට බුදු සරණයි. එළියේ යන්න එපා. ඇතුළෙම ඉන්න," යි කියා සිරිවර්ධන මිස් දුරකථනය විසන්ධි කරන විට ළමයි බුදු මැදුර අස්පස් කර හමාර ය. අලුත් මල් තබා, සුවඳ කූරු දැල්වූ විට මී බෙටි හා වවුල් මුත්‍ර ගඳත් සමන් පිච්ච මල් සුවඳත් මුසුව ගඳක් ද සුවඳක්දැයි කියන්නට බැරි අමුතු වාතාශ්‍රයක් බුදු මැදුරේ රැඳිණි. 

සිරිවර්ධන මිස් ළමයින් සමග ශබ්ද නගා පන්සිල් ගෙන, ගාථා කියා මල්, පහන්, සුවඳ දුම් පිදුවා ය. හදිසියකින් තොරව ශබ්ද නඟා මෛත්‍රී භාවනාව වැඩුවා ය. මකුළු දැල් කැඩූ කොල්ලා ඇයට නො පෙනෙන්නට මදුරුවකු තැලුවේ ය. අසල සිටි කෙල්ල හොරෙන් බලා ඇස්වලින් නක්කලේට හිනා වුණා ය. කොල්ලා යටි තොළ සපා ආකාසට්ඨාච බුම්මට්ටා ගාථාව හයියෙන් කිව්වේ ය. සිරිවර්ධන මිස් ද විමතියෙන් ඇස් කොණින් බැලුවා ය. 

බුදුමැදුරේ වතාවත්වලින් අනතුරුව මකුළු දැල් කැඩූ කොලුවා අද දවසට දෙවෙනි වතාවටත් මුත්‍රා කරන්නට කැසිකිලිය පැත්තේ ගියේ ය. ඔහු දවසට විසි වතාවක්වත් එහි යන්නේ අධ්‍යාපනයෙන් නිදහස භුක්ති විඳින්නට ය. 

සිරිවර්ධන මිස් ඇඟ පත උස මහත නමයෙ පන්තියේ නීලිකා වාරුවට ගනිමින් අමාරුවෙන් පඩි පෙළ බැස්සා ය. නගින එකට වඩා බහින එක අමාරු ය. 

ඇය කෙළින් ම ගියේ ගස යට රැස් වී සිටි ගුරුවරුන් වෙතයි. දෙකේ පන්තියේ මිස් හෙමින් සැරේ පන්තිය දෙසට ගියා ය. 

සිහින් සුළං රැල්ලක් හමා ගියේ ය. කැන්ටිම පැත්තෙන් සිගරැට් සුවඳක් හමා ආවේ ය. පිහිඹියා ගහේ සිඟිති මලක් රැළි වැටුණු මුහුණක් හිමි ගුරු මහතෙකුගේ ඩයිවලින් තද කළු පැහැ ගන්වන ලද කෙස් කළඹේ රැඳුණේ ය. 

“සමූඌඌඌඌලඝාතනයක් කරන්න ඕනැ සර්," සිරිවර්ධන මිස් එතැනට පාවී එමින් කීවා ය. ඇගේ අතේ ගෙදරින් ගෙනත් හිස් කරන ලද මල් වට්ටිය තිබිණි. 

“මොකක්ද මිස් කරන්න ඕනැයි කිව්වෙ?" 

“නෑ මං කිව්වෙ සමූලඝාතනයක් නොකර මේක හරියන්නෙ නැහැ."

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

36 comments:

  1. කෙටිකතාවක් විදියට ආලවට්ටං දාලා ලිව්වට මේක මගේ ඇත්තම අත්දැකීමක්.

    ReplyDelete
    Replies
    1. අත්දැකීමක් වීම ගැන කණගාටුයි. ඔබගේ මේ කථා ශෛලිය නම් ඉතා අනර්ඝයි. තව බ්ලොග් එකක් හරහා වත් ඔබගේ මේ සුපිරි දක්ෂතාවය අපේ යහපතට යොදාගන්නවානම් කියා හිතුණා.

      Delete
    2. https://samanalaviplavaya.wordpress.com/

      Delete
  2. පිස්සුද පැරා, උබ බටහිර එන්ජීඕ කාරයින්ගෙ කතා අහල ඔලුව කුරුවල් කරගෙන..
    මොන යුද්ධෙද අහිංසක දෙමලු මැරුනෙ.. පිරිත්පැං ඉහල වෙඩිතිබ්බ පේ කාලතුවක්කු උන්ඩ වදින්නෙ කොටිංට විතරමයි... අහිංසක එකෙක් මැරුනොත් ඒ උගේ කර්ම ශක්තිය නිසා... ඒව පව් නෑ

    ReplyDelete
  3. උපරිම.... මට අල්ලලා ගියේ අර විනය භාර ගුරුතුමා සිකැරට් එකක් බොන්න ගිය එක...

    අම්මට සිරි ලංකාවේ අජ්ජාපනේට සම්මා සම්බුදු සරණයි.....!!!!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ලෙච්ඡවී නෙවෙයි හරකෝ ලිච්ඡවී

      Delete
    3. ඔය සිගරැට් කෑල්ල මං අතින් දාපු එකක්. මං ටීචිං ගිය අලුත ඉන්ටවල් එකට ගුරු නිවාසෙට ඇවිත් සිගරැට් එකක් බිව්වා. ඒ අවුරුදු 23කට විතර ඉස්සර. දැන්නම් ඉස්කෝල කැන්ටින්වල සිගරැට් බොන්න බැහැ. ඒ වුණාට ගුරුවරු අතර සිගරැට් එකක්, අරක්කු ටිකක් බීලා සැහැල්ලුවෙන් ජීවත් වෙන කට්ටිය සෑහෙන්න ඉන්නවා.

      Delete
    4. කන පැලෙන්න ගහන දොස්තරලත් ඉන්නේ....

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. කරුණාකර පෞද්ගලික අපහාස සඳහා මෙහි කමෙන්ට් නො කරන්න.

      Delete
    7. ඔන්නොහේ හිටපු දෙන් පැරා... මාතලන් වෙනුවෙන්ම කොමෙන්ට් දාන එකෙක්.. ඔක්කොම විස්තර හොයාගෙන ඉවරයි.. ඇමරිකාවේ පාලු ප්‍රාන්තෙක ටොයිලට් හෝදනවා.. ඉතින් ඌට මාර දුකයි අපි ගැන... මෙහෙම ඒවට ඉඩ දුන්නම උන්ගේ මානසික රෝග සුව වෙනවා...

      Delete
    8. මට නං මුගෙ "පුඟුල්" කතාව දැන් තිත්ත වෙලා.

      Delete
    9. This comment has been removed by the author.

      Delete
    10. එයාම තමයි මට කිව්වේ උඹ ඉතා භයානක මානසික රෝගියෙක් කියලා... ඕකට බෙහෙතුත් නෑලූ... උඹ හිතුවා උඹ හෙන පොරක් කියලා... දැන් ගූ වෙලා දඟලනවා.. උබ ගැන කියපු එකාත් කියන්නම් ඕන නම්... ඇමරිකාවේ ගියත් බයියා බයියාමයි.. ගොඩයා ගොඩයාමයි... ලෙඩා ලෙඩාමයි... ඇයි බං උඹ බය වෙලා මගේ පුක හෝදන්නේ..

      Delete
    11. This comment has been removed by the author.

      Delete
    12. This comment has been removed by the author.

      Delete
  4. මේ කතාවේ කියවෙන චරිත බොහොමයක් මම වැලිඔය ප්‍රදේශයේදී දැක තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. මමත් වැලිඔය පැත්තේ පාසලක වැඩ කරලා තියෙනවා. ඒත්, මෙවැනි චරිත මුළු ලංකාවේ ම සුලබයි.

      Delete
  5. දැන් කොටි ප්‍රශ්න නැති උනත් දුෂක පලාත්වල තත්වය අදටත් මේක තමයි මම හිතන්නේ.. උගන්වන්න ඕනෑකම තියන ගුරුවරු එක්කෙනෙක් දෙන්නෙක් අතරේ අනික් සියල්ලෝම පඩියට බුල කෙලින තැනට වැටිලා.. මීට සමගාමී ගුරු චරිත මම කතරගම වැඩ කරද්දී දැකල තිබේ ඇතිවෙන්න..

    ReplyDelete
    Replies
    1. පඬියට බුල කෙළින උන්නම් පැරාගේ ඉස්කොලේනුත් හොයලා දෙන්නමි.දුක පැරා ලංකා ගුරු සංගමයේ ප්‍රාදේශිය නියොජිතය මිස ශිෂ්‍යයින් ගැන නියෝජිතයා නොවාමයි.

      Delete
    2. ගුරු සංගම් විසින් නියෝජනය කරන්නේ ගුරු අයිතිවාසිකම් පමණක් නො වේ. ගුරු සංගම් ශිෂ්‍යයන් වෙනුවෙන් පෙනී සිටි අවස්ථා ඕනෑ තරම් තිබේ.

      Delete
    3. ඒත් ඔබලා සිසිනුගේ ප්‍රධානම අයිති වාසිකම වෙනුවෙන් පෙනිසිටිනවාද?

      Delete
  6. පැරා සුපිරියටම ලියලා තියෙනවා, මම හිතුවෙ කෙටි කතාවක් කියල. අපි ඉස්කෝලෙ යන කාලෙ ඇත්තටම වෙච්ච් දේවල් තමා.

    ReplyDelete
    Replies
    1. මේක කෙටිකතාවක් තමයි. නමුත් සිද්ධි සියල්ල ඇත්ත. බැලුන්කාරයාගේ මරණයත් සිදු වූ දෙයක්. ඇත්ත අමුවෙන් ම ලිව්වා ම රස නැහැ. ඒ නිසා අතින් ගොඩක් කෑලි දැම්මා. සමහර ඒවා අයින් කළා.

      Delete
  7. ඔය වගේමයිනේ පැරා,අර සත්තු මරලා පින්තුර සමාජජාල වල දාපු ඒකාව මරාගෙන කන්න කතාකරන සත්ව අවිහිංසාවාදීන් ඉන්න සංවේදී රටක්නේ මේක.

    ReplyDelete
  8. අර ගංවතුර කතාව තරම් හරි නෑ පැරා මට නං.
    //සමූඌඌඌඌලඝාතනයක් කරන්න ඕනැ සර්," සිරිවර්ධන මිස් එතැනට පාවී එමින් කීවා ය. ඇගේ අතේ ගෙදරින් ගෙනත් හිස් කරන ලද මල් වට්ටිය තිබිණි//
    කොටින්ම මේ වගේ කෑලි ටිකක් 'වැඩියි' වගේ.

    ReplyDelete
    Replies
    1. ඒත් ඉතින් වැඩේ කියන්නෙ ඕක ඔය විදියට ම මේ මට ම කියපු එකනේ.

      Delete
  9. //බය වීම රට ජාතිය වෙනුවෙන් කරන යුතුකමකැයි සිතන්නා වැනි විය.//
    ++++++++++++

    ReplyDelete
  10. පැරා, අපූරුවට ලියූ කෙටි කතාවක්. හුඟ කාලෙකට පස්සෙ හිතට දැනෙන කෙටි කතාවක් කියෙව්වා. හොඳම දේ මටත් ආයෙමත් කෙටි කතා ලියන්න හිතුණා. උත්ප්‍රේරකයක් වුණා, ඔබේ කෙටි කතාව. ස්තුතියි.
    පුෂ්පා රම්ලනී

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පුෂ්පා. ඔයාගේ කතා අපි ඉස්සර කියෙව්වා.

      Delete
    2. ස්තුතියි පුෂ්පා. ඔයාගේ කතා අපි ඉස්සර කියෙව්වා.

      Delete
  11. මටත් ඔය අත්දැකිම තියෙනවා.සෑහෙන්න කටි කරල කරල බෙීරෙන්නම බැරිතැන දවසක් ගියා ගේටිටුවෙී මුරට හැබැයි ඒ ගියෙත් බිරිදගේ කංකරචිචලයෙන් බෙිරෙන්න බැරි හන්ද.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.