2017-01-21

අත් පොරව (කෙටිකතාවකි. අපරාධයකි. ළමයින්ට සුදුසු නැත. සත්‍ය සිද්ධියකි)

ඔහු ත්‍රිරෝද රිය පාරට නො පෙනෙන ලෙස පඳුරු ගොල්ලකට මුවා වන සේ නවතා, ගෙල හරවා පසුපස බලා දඟකාර ලෙස හිනැහුණේ ය.

තරුණ විය පියමං කරමින් සිටියත්, ඔහු තවමත් කඩවසම් ය. නවීන විලාසිතාවකට අනුව කොණ්ඩය පැත්තක් බොහෝ අඩු වන සේ කපා ඇත. එක් කණක කරාබුවකි. 

නගරයේ ත්‍රිරෝද නැවතුම්පළේදී ඔහු දෙස බැලූ මුල් බැල්මෙන් ම එය ඔහු ළඟ තවමත් ඇති බව ඇය දැන ගත්තා ය. උඩ බොත්තම් නො පියවූ කමිසයෙන් ඝන රන් මාලයත් එහි නැව් සුක්කානම් මාල පෙත්තත් පිටට පනින අයුරු ඇය ආසාවෙන් බැලුවා ය. ඔහුගේ අතට ද අලුත් රන් දම්වැලක් එක් වී තිබේ. ඒ අත තරුණ ය. කඩවසම් ය. තලෙලු දකුණු අත්ගොබයේ වැලමිටට උඩින් කමිස අතට වැසෙන සාවිය දක්වා කළු ලොකු පච්ච රටාවකි. 

ඔහු ඇගේ අත ගෙන දෑස් දෙස බලා සුන්දර හිනාවක් පෑවේ ය.

“යමු."

ඔවුහු අතිනත ගෙන අඳුරු තේක්ක කැලයේ ගැඹුරට ම ඇවිදගෙන ගිය හ. එය රාත්‍රී රෑසියන් හඬන, අජීවී, මූසල කැලෑවකි. තමන් ද ඇවිද යන්නේ යන්නේ අවතාරයක් ලෙස නොවේදැයි ඇයට සිතිණි. ඇය නිතැතින් ම ඔහුගේ අත දැඩිව අල්ලා ගත්තා ය.  

වැඩ කර ගොරෝසු වූ, නිය තුඩු කැඩී ගිය, නො මැකෙන කහට නිය කන්නාවල රැඳි ඇගේ අතට වඩා ඔහුගේ තරුණ දීප්තිය තවමත් රැඳුණ අත සිනිඳු ය.ඔහු වැනි කඩවසම් පිරිමින් පවා ආකර්ශනය කර ගන්නට ඇගේ මස් පිරුණු පපුවටත්, පස්සා පැත්තටත් තවමත් හැකි වීම ගැන ඇයට සියුම් ආඩම්බරයක් දැනිණි. 

“මට සල්ලි ටිකක් ඕනැ."

“මං පන්දාහක් දෙන්නම් කිව්වනේ."

“මට ඊට වඩා ලොකු ගාණක් ඕනැ. මං ඉල්ලන්නෙ ණයට."

“සල්ලි නැහැ සුදූ. මං ණයට නෙමෙයි දෙන්නෙ. ඒක මට ආපහු එපා."

ඔහු ඇය ඇද තදින් තුරුළු කරගෙන, කම්මුලට හාද්දක් දී නැවතත් දඟකාර ලෙස ඇගේ ඇස් දෙස බැලුවේ ඔහුට වඩා මිටි ඇගේ හිස එක් ඇඟිල්ලකින් නිකටින් අල්ලා ඔසවමිනි. ඔහුගේ දෙතොල ඇය වෙත පහත් වෙන්නට පොපියයි.

“මං ඇඳුම් ගලවනකල් අහක බලාගන්න.

ඇය ඔහුගෙන් ඉවත් වෙමින් කීවා ය. ආපසු යන්නට ඇඳුම් පරිස්සම් කර ගත යුතු ය.

ඔහු කැමැත්තෙන් ම පඳුරක් අද්දරට ගොස් කලිසමේ සිපරය පාත් කළේ ය. ඔහුගේ අලුත් කොණ්ඩා මෝස්තරය නිසා හිසේ පිටුපස සුළි දෙකක් තිබෙනවා යයි ඇයට සිතිණි. ඔහු සිපරය ඔසවයි.

“පස්ස බලන්න එපා. මං ලෑස්ති නැහැ."

ඔහු සිහින් හඬින් සිනාසුණේ ය.

“ගෑනු ඔහොමමයි."

ඇගේ කටහඬ සැලේ. හද ගැස්ම පපුව පුපුරන තරම් ය. ඇය වෙවුලන අතකින් අත් බෑගයේ සිපරය ඇරියා ය. 

හිසේ සුළි දෙකක් ඇති අයට වතුරෙන් අනතුරු ඇතැයි කියනු ඇය අසා ඇත. ඇගේ නෙතත්, සිතත්, ගතේ ජවයත් සියල්ල යොමු වුණේ ඒ සුළි දෙක මැද අඟල් දෙක තුනක අවකාශයටයි.


-------------





“ලස්සන අත් පොරව," ඇය කීවා ය.

ඔහු “හ්ම්" කීවා මිස වෙනත් කිසිවක් කීවේ නැත.

ඇත්තෙන් ම එය කුඩා, හුරුබුහුටි පොරවකි. කෙතරම් කුඩා ද යත්, ඉතා පහසුවෙන් ඉණෙහි ගසාගෙන ගසකට බඩ ගෑ හැකි ය. මිටත් සමග ම එය ඇගේ අත් බෑගයට වුව දමා ගත හැකි ය. එය අගනා ලෝහයෙන් කළ, කපා කොටා පදම් වූ, දිලිසෙන තලය රැවුල කැපිය හැකි තරම් හොඳින් මුව තැබූ අනගි කුඩා පොරවකි.   

“ඔය පොරවෙන් හොඳට ඔලු පලන්නත් පුළුවන්," ඔහු කීවේ ය. “පලු දෙකට පලන්න පුළුවන්. හරියට පොල් ගෙඩියක් දෙකට පලනවා වගේ."

ගමේදී කොස් ගෙඩි දෙකට පැලීම සඳහා දර පලන පොරව යොදා ගනු ඇය දැක තිබේ.

පොරවකින් පලන ලද ඔලුවක් කෙසේ වනු ඇද්දැයි ඇය කල්පනා කළා ය. කළු පැහැති උකු දියරයක් පිරි කටුව පැලූ අඳුරු පැහැ ලොකු ගෙඩියක් වැනි යමක් ඇගේ සිතේ ඇඳිණි. එය හිසක පිටුපසකැයි ඇය සිතුවා ය. හිසෙහි පිටුපසට පහරක් දුන් විට මිනිසකු පහසුවෙන් මරා දැමිය හැකි බව ඇය අසා තිබේ.

“ඕකෙන් එහෙම ඔලු පලලා තියෙනවා ද?"

“තවම ඕනැ වුණේ නැහැ."

ඇය ඔහු සමග ආවේ නොබෝදා ය. ඔවුන් විවාහක නැත. විවාහය තව දුරටත් ඇයට වැදගත් නීතිමය කටයුත්තක් නො වේ. ඇය නීතියෙන් විවාහ කර ගත් මිනිහා මෙන් ම සෙසු අය ද ඇය දමා ගිය හ. මේ මිනිහා ද යනු ඇත. එහෙත් තවම නැත. ඔවුහු තවම එකට සිටිති.

ඔහුට එය උවමනා ය. ඇයට ද එසේ ය. එය හැර අන් රසක් ජීවිතයේ තිබේදැයි ඇය දන්නේ නැත.

ඔහු ගස් නගියි. අතු කපයි. මහ රූස්ස ගස් පවා කපා බිම හෙළයි. ඇඟේ පතේ අමාරුවට හවසට සීල් අරක්කු හෝ අතමිට හිඟ නම් කසිප්පු හෝ බොයි.

ඇය ද මහ ගසක් වැනි ය. ඔහු අතු නො කපා ම ඇය බිම පෙරළා ගනියි.

“කෙල්ල නිදි නැහැ."

"බලාඉන්න කියපිය."

ඔහු වහා ඇතුළු වෙයි. එහි වෙන සුරතල් නැත. එය දැවැන්ත ය. අත් පොරවේ මිට සේ සවිමත් ය. ඇය තුළ එය ඉදිරියටත්, පසුපසටත් වේගයෙන් යන්නේ ඔහු ගස් කපන විට පොරවට යොදන ජවයෙනි. මුලදී මඳ වේදනාවක් දැනුණ ද, ඉක්මණින් ම තරල ගලාවිත් තෙත් වූ කල ඒ ඉහළ පහළ යාම තරම් සුවයක් තවත් නැත. ඇය නෙතු පියාගෙන හූල්ලන්නී ය.

“පස්ස හැරිය."

ඔහු හිටි හැටියේ දිනෙක කියයි.

“රිදෙනවා."

"පල වේසි යන්න."

එය වේදනාවක් ද සුවයක් ද යන්න ඇය නො දනී.

ගස් කැපූ මිනිසා ටිකකින් කැපූ ගසක් සේ ඇද වැටී තෘප්තියෙන් සුසුම් හෙළා ගොරවන්නට පටන් ගනියි.

ඇය ඇඳුම හරිගස්සාගෙන ළමයා දෙස බලයි. ඇය නිදි ය. නැතිනම් නිදි වාගේ විය හැකි ය. ඇය කොයි මොහොතක හෝ වැඩිවිය පැමිණෙනු ඇත. දියණියගේ ආරක්ෂාව සැපයීම ඇගේ වගකීමයි. මේ ඇගේ කසාද මිනිහාගේ දුවනියක නො වේ. කසාද මිනිහාගේ ළමයින් දෙන්නා ඔහුගේ මව ළඟ ය. ඔහු වස බිව්වේ ය. ඔහු ඇයට හිතින් බොහෝ සේ ආදරය කළේ ය. එහෙත්, සමාජ ජීවිතයේදී මෙන් ම අර වැඩේදී ද ඔහු නෝංජල් ය. ඔහු දැන සිටියේ ඉරිසියා කරන්නට හා කටගොන්නක් බී ආඩාපාලි කියමින් හඬන්නට ය.

“මගෙ එකාව මරං කාපු වේසි!" ළමයින් දෙදෙනාගේ වියදමට කලකින් මුදල් නො දුන් විට කොහෙන් හෝ අංකය සොයාගෙන ඇගේ ජංගම දුරකථනයට කතා කරන ඇය කතාව අවසන් කර මුව ඉවත ගත් විගස කියයි. දුරකථනය විසන්ධි කරන්නේ ඉන් අනතුරුව ය.

නැන්දම්මාට දැන් ඇයට කතා කළ නො හැකි ය. ප්‍ර‍ධාන පාරෙන් ඈත දුරබැහැර හේනක පිහිටි මේ පැල් කොටය අහලක සිග්නල් නැත. සිග්නල් ඇතත්, ජංගම දුරකථනය ආරෝපණය කර ගැනීම සඳහා මේ අහල පහළක විදුලි බලය නැත. ඒ දෙක ම තිබුණත්, ඇය අතේ මුදල් නැත.

හේන් පාළුව හා කුප්පි ලාම්පු කළුවර හොඳ අර වැඩේට විතර ය. කන්නට, බොන්නට මිනිහා ගෙනත් දෙයි. යන්නට අතක් නැත. කරන්නට දෙයක් නැත. ළමයා පාසල් යන්නේ ද නැත. ගියත් ඒකිට ඉගෙන ගන්නට සමර්ථකමකුත් නැත. ඒකිගේ අනාගතය කෙසේ වනු ඇද්ද? ලස්සන නැතත්, ඇඟපත මවගේ ආරෙට ගොස් මෝරා වැඩුණොත් ඇයට කොල්ලකු සොයා ගැනීම එතරම් දුෂ්කර නො වනු ඇත. දැනට නම් ඇය ඇගේ පියා මෙන් කෙට්ටු නසරානි පෙනුමෙන් යුක්ත ය.

“ලොකු වුණාම අළු ගසා දාලා ඒවි," යි ඇය සිතුවා ය.

මෙහෙම ඉඳලා වැඩක් නැත. ඇයට එහෙම ඉඳීම පුරුදුත් නැත. කුලියක් මලියක්, වෙළඳාමක් නැතිනම්, කසිප්පු ටිකක්, ගංජා ටිකක් වුණත් විකුණා ගන්නා හැටි ඇය දනියි. මේ වියළි කලාපයේ ගංජා ඇත. ටිකක් එහෙට මෙහෙට ඇද්දා නම් ගානක් කපා ගත හැකි ය. එහෙත් ඇගේ ත්‍රිරෝද රිය සොච්චම් ගණනකට උගස් තබලා ය. එය බේරා ගත යුතු ය. ඇය දර කොටයක් සේ නිදන ඔහු වැරෙන් සෙලෙව්වා ය.

“මොකද හුත්තියෙ? නිදාගන්න දෙන්නෙ නැද්ද? තොට මොකද? මෙතන කකා ඉන්නවා මිසක් වැඩක් තියෙන එකක් යැ."

"මට සල්ලි ටිකක් ඕනැ."

“සල්ලි?"

"මගෙ ත්‍රීවීල් එක බේර ගන්න ඕනැ."

“හෙට කපන ගහේ තිබිලා වැටුණොත් බොට ගෙනත් දෙන්නම්."

ඔහු අනෙක් පැත්ත හැරී ගොරවන්නට වූයේ ය. ඇත්ත ය. ඔහු ළඟ සල්ලි නැත. ඔහු උපයන්නේ එදිනෙදා කන්නට හා බොන්නට ය. ඊට අමතරව ඔහුට අවශ්‍ය අරක පමණ ය. මීට කලින් ගෑනි ද ඔහු දමා යන්නට ඇත්තේ මේ මෙලෝ රහක් නැති ජීවිතය එපා වෙලා විය හැකි ය. එහෙත්, ඔහු ඒ වැඩේට නම් ඇස්වහක්, කටවහක් නැතුව අති දක්ෂ ය.

“උඹ මාරයි නේ අයියෙ."

ගංජා මිටියක ගනුදෙනුවකදී අහම්බෙන් ටවුමේදී හමු වී තේක්ක කැලේට ගොස් ගල් පොත්තක් උඩ තබාගෙන ඇය සුරලොව ඇරිය පසු ඇය ඔහුට කීවා ය.

“උඹ වරෙන් මා එක්ක යන්න. මට අපේ ගමේ හේනක පැලක් තියෙනවා. මං ගස් කපලා උඹට කන්න දෙන්නම්. අපි හැමදාම කරමු."

ගංජා සමග අසු වී දඩ ගෙවා නිදහස් වී පැමිණීමෙන් පසු ඇය බෙහෙවින් ණය වූවා ය. පොලිසියට, උසාවියට පගා දෙන්නට, ඇප තියන්නට, දඩ ගෙවන්නට වූ ණය ගෙවන්නට ඇය ත්‍රිරෝද රිය සීයට දහයේ පොළියට උගසට තිබ්බේ රුපියල් ලක්ෂයකට ය. දැන් එහි පොළිය ම රුපියල් තිස්දාහක් වෙලා ය. අමාරුවෙන් උපයා ගත් දේ නාස්ති වී යයි. ඇය සිඟන්නියක වේ ද? මේ මිනිහා ඇය පන්නා දැමුවහොත් ඇය දියණියත් සමග කොහි යන්න ද?

මුදල් ඇති තැනක් ඇය දනියි. එය කඹයක් වැනි රන් දම්වැලකි. එය ඇගේ තන මත බරට බරේ වැදී තිබේ. ඒ ඔහු ඇගේ ගෙල සිප ගන්නා විට ය. ඔහු ගෙල දිගේ පහළට, පහළට එන විට නාභියේ, කලවාවල මෙන් ම අන්තිමේදී දණහිසේ ද ඒ ඝන රන් දම වැදී තිබේ. ඔහු කැමති වෙනස් විධියකට ය.

“ගඳ ඇති."

“මගෙ මැනික ළඟ මට මල් සුවඳයි."

ඒවා ඔය වෙලාවට නිකමට වගේ කියන කතා ය. ඒ වුණාට කාට වුණත් සල්ලි සුවඳ ය. ඔහු වැඩේ කර ගන්නට හදන්නේ ආදරේට ය. ආදරේත් හොඳ ය. ඒ වුණාට උගේ වැඩේ කර ගත් පසු ඌට ඉක්මණින් තේක්ක කැළෙන් පිට වී පළා යන්නට ඕනෑ ය. ඇයට මදි ය.

“තව පාරක්." ඇය යදියි.

“අද බෑ."

“හෙට?"

“හැමදාම බෑ. පවුලට ආරංචි වේවි."

“ඉතින් පවුල එක්කම කරගන්න බැරි ද?"

"ඔයා ඒ වගේ නෙමෙයි චූටි. ඔයා වගේ ඒගොල්ලන් දන්නෙ නැහැ."

ඔව් උන් මැනිකෙලා නේ යි ඇය සිතයි.

“අනෙක මං කැමති ඔයා වගේ පිරිච්ච සරීරවලට."

“මට සල්ලි ටිකක් ඕනැ," ඇය ඔහුගේ ඝන රන් මාලය අතගාමින් ඔහුට තුරුල් වෙමින් කියයි.

“කීයක් ද?"

“ටිකක් ලොකු ගාණක්. ණයට. මං බේරනවා."

ගණන කියූ විට ඔහු විකාරදැයි ඇසුවේ ය. එය විකාරයක් නො වේ. ඔය ඝන රන් මාලය දෙයියන් දුන්නේ නැත. ත්‍රිරෝද රියක් හයර් කර කඹ වැනි මාල ද ඇඟිලි පහට මුදු ද දැමිය නො හැකි ය.

සල්ලි තිබෙන්නේ එතැන ය. අන්න ඒ රන් මාලයේ ය. පසුවදා ඇය දුවණිය ද සමග ළඟ ටවුමට ගොස් බැටරි බැස තිබූ දුරකථනය ද ආරෝපණය කරගෙන රීලෝඩයක් ද දමා ගත්තා ය. කෙල්ලට නො තේරෙන්නට ඇය ඔහුට දුරකථන ඇමතුමක් ගත්තා ය.

“දැන් කොහෙද ඉන්නෙ? මාව අමතක නො වුණු එක ලොකු දෙයක්. අමතක වෙන්නෙ කොහොම ද ඉතින්? නේ ද?" ඔහු කියයි. 

“මං ආයෙ බැන්දා. හම්බ වුණාම විස්තර කියන්නම්. මට සල්ලි ටිකක් ඕනැ."

“සල්ලි නැහැ. පොඩි ගානක් නම් දෙන්න පුළුවන්."

“කීයක් ද?"

“පන්දාහක්."

“කමක් නැහැ."

“කවදද හම්බ වෙන්නෙ?"

“අරයට නඩුවක් තියෙනවා ය කිව්වා හෙට. මං ගමේ ගිහින් එන්න එනවා."

“හා. මටත් ආසයි. කාමරේකට යමු. කාලෙකින් නේ."

“ඕනැ නැහැ. අපි තේක්ක කැළේට යමු."

ඇය ගමේ ගොස් එන බව ඔහුට කීවේ රාත්‍රී කර්මය හමාර කර අනෙක් පැත්ත හැරෙන විට ය.

“රෑ නො වී වරෙන්. මං නඩුවට යනවා."

එය මිනීමැරුම් නඩුවක් බව ඇය අසා ඇත. එහෙත් ඇය ඔහුගෙන් ඇසුවේවත්, ඔහු ඇයට කීවේවත් නැත.

“මං හවස් වෙන්න කලියෙන් එනවා. කෙලී ගෙදර."

“ඒකිවත් අරන් පලයන්."

“නෑ. ඒකි තනියෙන් ඉඳියි."

ඔහු හොඳම කමිසය හා සුදු සරම ඇඳ උදෙන් ම උසාවිය බලා පිටත් වූයේ ය. 

ඇය අත් පොරව අත් බෑගයේ දමා ගත්තා ය.

22 comments:

  1. උදෙන් ම කමෙන්ට් තුනක් කපා දැම්මා. හේතුවත් කියන්නම්. මා ලියන්නේ එක් පැත්තකින් මගේ ප්‍රධාන කාර්යය ලිවීම නිසා ය. අනෙක් පැත්තෙන් මා ලියන්නේ සමාජය වෙනස් කිරීම වෙනුවෙන් මා කරන මැදිහත් වීමක් ලෙස ය.

    කලක් මෙහි කමෙන්ට් දමමින් සිටි පුද්ගලයෙක් මෙහි පැමිණ නිර්නාමිකව ඔහුගේ බ්ලොගයේ බොහෝ කමෙන්ට් වැටෙන බව හා මගේ බ්ලොගයේ කමෙන්ට් නැති බව කියමින් විවිධ දිග විකාර ලියයි.

    ඇත්තම කීවොත්, පසුගිය ලිපියේ වැටී ඇති ආකාරයේ කමෙන්ට් පවා ඉදිරියේදී මා විසින් කපා හරින්නට ඉඩ ඇති බව දැනුම් දෙමි.

    අප වැදගත් යයි සිතන යමක් ලියූ හැටියේ ම එහි මුල් කමෙන්ට් කීපය අපහාසාත්මක විකාර ටිකක් ලියා යාමෙන් එම ලිපිය අසාර්ථක කිරීම අරමුණු කර ගත් පුද්ගලයන් පිරිසක් බ්ලොග් අවකාශයේ සැරිසරති.

    අප ලියන්නේ කමෙන්ට් එකතු කර ගන්නට නො වන බව හා ගරු කරන්නේ වැදගත් අදහස්වලට පමණක් බව ද යළි මතක් කරමි. විවේචන ගැටලුවක් නැත. අපහාසයට මින් ඉදිරියට ඉඩ නැති බව කරුණාවෙන් සලකන්න.

    ReplyDelete
    Replies
    1. It is a good decision to remove unnecessary comments para- As I have noticed one person is writing in different styles!!

      Delete
    2. අවසානයේ හෝ පැරා මෙය තේරුම් ගැනීම සතුටට කරුණකි. ඇනෝ ඕපන් තබන්න යැයි කියා කියනා බ්ලොග් ලියන උන් අතරේම සිටිනා පෞර්ෂයක් නැති සමාජයට බිය මන්ද මානසික රෝගීන් කීප දෙනෙක්ගේ ක්‍රියාවලියක් ඕක. උන්ගේ ලෙඩේ දොස්තර කෙනෙක් ගාවට ගිහින් හොඳ කර ගත්තාවේ. ඒත් උන්ගේ රෝගයෙන් බ්ලොග් පෝස්ට් විනාශ කරන්න දීම සමාජයට කරනා විශාල හානියකි.


      Delete
    3. කමෙන්ට්ස් කසාය තම්බන්නද පැරා. වාතයක් නොවී කියවන්න තියෙනවා නම් මදෑ.

      Delete
    4. මමනම් දන්න කියන එවුන්ටත් කියල තියෙන්නේ ඕක ලඟට දත් බලවගන්නවත් යන්න එපා කියල. ඕකුන්ටනෙ ලංකාවේ ගොඩක් එවුන් බුද්ධිමතුන් කියල කියන්නෙ :(

      Delete
  2. කාලෙකින් කියවූ හොඳම කතාවකි. කතාවේ කලවම පට්ට ලෙස කර ඇත.
    - Sujeewa Kokawala (Facebook)

    ReplyDelete
  3. පැරාගේ කාටුන් එකකුත් එක්කම ආවනම් මල් අටයි.

    ReplyDelete
  4. සුපිරි... අමුම අමු කතාවක් ඒ රහෙන්ම කියෙව්වේ කාලෙකින්..

    ReplyDelete
  5. ගස් කැපීම කතාව තුලට උරා ගෙන ඇති තැන් ලස්සනයි.
    උදා- කපා දැමූ ගහක් , පොරවේ මිට

    ReplyDelete
  6. මිනිස්සු වහ බොන්නේ ණය වුනාම කියල බුද්ධිමත්තු කීවට ඇත්ත කාරනේ නම් මේ ලියල තියන එකමයි.

    ReplyDelete
  7. උඹගේ තියෙන ටැලන්ට් එකේ හැටියට නම් මදි... ඒත් අද කාළේ තියෙන මළදාන එක්ක ගත්තාම සෑහෙන ඉදිරියෙන්... ඇත්තටම අපේ කාළකන්නි මේ ඇත්ත ලියන්න තාමත් බයයි. කතාව හොඳම කෑල්ල තියෙන්නේ අවසානයට නොලියපු කොටසේ.. නිර්මාණයක් ර්සවත් වන්නේත්, රසිකයාගේ පරිකල්පන ශක්තිය මතු වන්නේත් ඒ තුල..

    තව සුපිරි කෙටි කතාවක් තිබුනා පැරා දැක්කද දන්නේ නෑ..

    http://carpissuwa.blogspot.com/2017/01/en.html

    ReplyDelete
  8. Best if you mentioned that you got inspired by the real story which was in the new papers several months back, however you have put a nice touch to it

    ReplyDelete
    Replies
    1. ඒ බව මා මාතෘකාවෙහි ම දක්වා තිබේ. කෙටිකතාවක් යනු පුවත්පත් වාර්තාවක් නො වේ. සෑම පුවත්පත් වාර්තාවක් විසින් ම කෙටිකතා නිර්මානය කරන්නේ ද නැත. මෙවැනි සත්‍ය සිදුවීම් කෙටිකතාවලට පාදක වූ පළමු අවස්ථාව ද මෙය නො වේ.

      මෙවැනි නිර්මානාත්මක කාර්යයන් දෙස බැලීමේදී ඔබ විසින් පාවිච්චි කර තිබෙන Best if you mentioned හා however යන වචනවලින් නිරූපණය කරන්නේ නිර්මාණකරණය පිළිබඳ කිසියම් නො දැනුමකි.

      සිදුවීම් කෙටිකතා වෙනවා නම් ලෝකයේ හොඳම කෙටිකතා විය හැක්කේ පත්තර වාර්තා ය. කෙටිකතා යනු යථාර්ථය ප්‍රතිනිර්මානය කරන වෙනම කලා මාධ්‍යයකි.

      Delete
  9. මේ සම්බන්ධ මව්බිම මාධ්‍ය වාර්තාව මාස කීපයකට ඉහතදී මම ඉංග්‍රීසියට පරිවර්තනය කළෙමි. එය කරන විට ම මෙය කෙටිකතාවකට පාදක කර ගත නො හැකි ද යන සිතුවිල්ල මට ඇති විය.

    සිද්ධියෙන් මාස කීපයකට පසු මා මෙය ලිව්වේ එයින් වස්තු බීජය පමණක් රැගෙන ය.

    මෙම කතා ශරීරය, චරිත හා දෙබස් බොහෝ දුරට මන:කල්පිත වේ.

    නිර්මානයක් බිහි වන ආකාරය අධ්‍යයනය කරන්නට කෙනෙකුට මෙම කතාව උපයෝගී කර ගත හැකි ය.

    ලංකාවේ කතාකාරයන්ට නිර්මාන බිහි කරන්නට ඕනෑ තරම් වස්තුබීජ පුවත්පත්වල තිබේ.

    මෙයට පාදක වූ මාධ්‍ය වාර්තාව සොයා ගත්තෙමි. එය පහත සම්බන්ධතාව ඔස්සේ සොයා ගත හැකි ය.

    මුල්ගම කැලෙන් මතු වුණු ඩ්‍රැකියුලා ගෑනියෙක්

    පහත

    ReplyDelete
  10. මම ආසාවෙන් කියවන බ්ලොග් එකක්.ඒත් සමහර කමෙන්ට්ස් දැක්කම වමනෙ යනව.

    ReplyDelete
  11. ඇත්ත කතාවක් පුවත්පත් තුලින් එලියට අරන් කෙටිකතාවක් ලෙස ඉදිරිපත් කිරීම හොඳ වැඩක්. පුවත්පත් වාර්තාවට එහායින් ගොස් ප්‍රති නිර්මානයක් කිරීම ගැන පැරාට තුති!!!!

    ReplyDelete
  12. පැරා, ඩී.එච්.ලෝරන්ස් කෙනෙක් වගේ.උපහාසයකට නොවේ අගැයීමෙන්.

    ReplyDelete
  13. මේ කතාවට සම්බන්ද පුවත දිවයිනෙන් කියෙව්වා මතකයි.

    අගෙයි.

    ReplyDelete
  14. කතාව එක හුස්මට කියෙව්වෙ මාර විදියට දැනිච්ච නිසා. ඒත් අර පත්තර වාර්තාවෙ ලින්ක් එකෙන් ඒක කියෙව්වම එපාවුනා.
    එක්කො ලින්ක් නොදා හිටපන් නැත්තන් කතාව වෙනස් කරල ලියපන්.

    ReplyDelete
    Replies
    1. ඒ ලින්ක් එක දැම්මෙ ඒක රස විඳින්න නෙමෙයි. නිර්මානයක් බිහි වන හැටි ගැන අත්දැකීමක් බෙදාගන්න.

      ලංකාවේ කතා කලාව තියෙන්නෙ ඉතාම පසුගාමී තැනක. ලේඛකයන් ලෙස ටයිටල් ගහගෙන, නවකතා, කෙටිකතා ක්ෂේත්‍රවල අඬුබඬු විහිදුවාගෙන ඉන්න සාහිත්‍ය පොරවල්වලට මම කියන්නෙ වස්තු බීජ නැතුව තටමන්න ඕනැ නැහැ ය කියන එකයි. ඕනැ තරම් වස්තු බීජ පත්තරවල තිබෙනවා. හැබැයි ඉතින් ඒවා එහෙමම දෙසා බාන එක නෙමෙයි සාහිත්‍යය කියන්නේ.

      අශෝක හඳගම තනි තටුවෙන් පියාඹන්න පිටපත ලිව්වෙත් පුවත්පත් වාර්තා පදනම් කරගෙන. හැබැයි ඒක ගැන මට විවේචනයක් තියෙනවා. මම කියන්නේ එයා පුවත්පත් වාර්තා මත ඕනෑවට වඩා යැපුණා. නිර්මානයක් බිහි වෙන්නෙ පුවත්පත් වාර්තාව අතික්‍රමණය කළාමයි. ඒ නිසා තමයි ස්ත්‍රී සමලිංගිකත්වයේ යථාර්ථය අවබෝධ කර ගන්නේ නැතිව පොලිසියට දෙන කටඋත්තරේ වගේ කතාවක් චිත්‍රපටයට නැගුණේ. එතැනදී ඇත්ත ප්‍රබන්ධය කරන්නේ කටඋත්තර දීපු ගැහැනියයි. හඳගම ඒ ප්‍රබන්ධයට රැවටෙනවා. යථාර්ථය මගහැරෙනවා.

      මේ වගේ කතා ගොඩක වස්තුබීජ අහපු, දැකපු, කියවපු දේවල තිබෙනවා. ජීවත් වෙන්න මොනවා හරි කරන්න වෙලා තිබෙන නිසා ලියාගන්න වෙලාවක් නැහැ. ඉදිරියේදි බලමු.

      කෙටිකතා පොතක් ගහලා පිටපත් 500ක් විකුණා ගන්න අවුරුද්දක් විතර යනවා. මේ කෙටිකතාව පැය 24න් ඒ වගේ කීප ගුණයක් කියෙව්වා. මං හිතන්නෙ කෙටිකතා, කවි වගේ ඒවා පොත් විදියට අච්චු ගහන එක තේරුමක් නැහැ. විකුණන්න බැහැ. වෙන ක්‍රම හොයන්න ඕනැ.

      අවුල තියෙන්නෙ ලංකාවෙ සාහිත්‍ය මාෆියාව කෙටිකතා හෝ කවි විදියට සලකන්නේ පොත්වල අච්චු ගහපුවා විතරක් වීමයි.

      හැබැයි අරගලය තියෙන්නෙත් ඒවාට එරෙහි වීම තුළ ම තමයි.

      Delete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.