2017-03-28

ක්‍රීඩා පාසලක නේවාසිකාගාරයක කතාවක්

මෙම ලිපිය සඳහා පාදක වන්නේ ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රීඩා පාසලකින් අප වෙත යොමු කරන ලද දීර්ඝ ලිපියකි. එහි ඇති කරුණු අඩු වැඩි වශයෙන් සියලු ක්‍රීඩා පාසල්වලට ද, සියලු පාසල් නේවාසිකාගාරවලට ද, සියලු පාසල්වලට ද, සියලු ගුරුවර ගුරුවරියන්ට ද අදාළ ය. මෙම ලිපිය කියවන්නැයි අප ඔබගෙන් ඉල්ලා සිටින්නේ සුවිශේෂ හේතුවක් නිසා ය. අධ්‍යාපනය සම්බන්ධයෙන් සිසු දරු දැරියන්ගේ දෘෂ්ටි කෝණයෙන් සිදු වන විග්‍රහ ඉතා විරල ය. මෙහි ඇති අදහස් අව්‍යාජ සිසු අදහසක් ලෙස සැලකිය හැකි ය. 

මෙම ලිපියේ පූර්විකාව මෙතැනින් කියවන්න

සර්, මම,විද්‍යාලයට ආවේ ගොඩක් බලාපොරොත්තු ඇතිවයි. මාව මෙම විදුහලට යොමු කලේ අපේ කලින් ඉස්කෝලේ මැඩම්. අපේ මැඩමුත් ඉගෙන ගෙන තිබුණේ, ඒ විද්‍යාලයේ. ඒ නිසා මටත් ලොකු විශ්වාසයක් තිබුණා විද්‍යාලය පිළිබඳ. ඒ නිසා මාත් කලින් කිව්ව විදියට එහි ආවේ ගොඩක් බලාපොරොත්තු ඇතිව.

එහි එන්න මුලින් ම කරන්න තිබුණේ, ඒ සඳහා ඉල්ලූම් පත‍්‍රයක් යොමු කරන එක. කලින් ඉස්කෝලේ මැඩම්ගේ උපදෙස් අනුව ඉල්ලූම්පතක් යොමු කළාට පසු ව, මාව සම්මුඛ පරික්ෂණයක් සඳහා කැඳවනු ලැබුවා. ඉන් මා හොඳින් සමත් වුණා. ඒ නිසා මීට වසර හතරකට පෙර මා, විද්‍යාලයට ඇතුලත් වුණා. එසේ ඇතුලත් වී මා එහි නේවාසිකාගාරයේ නවාතැන් ගත්තා. අදටත් නේවාසිකාගාරයේ ඉන්නේ. සර්, මාත් සමඟ තවත් සහෝදර සහෝදරියෝ සැලකිය යුතු ප‍්‍රමාණයක් අලූතෙන් නේවාසිකාගරයට ආවා. අපි එනකොට තවත් ගොඩක් ළමයි නේවාසිකාගාරයේ නැවතී සිටියා. නවකයින් වන අපි හැමෝම හිටියේ ඉතා ම සතුටෙන්. අප පැමිණි මුල් දින කීපය අලූත් අත්දැකීම් බොහෝමයකින් සමන්විත වුණා. බොහෝමයක් ඒවා ඉතාම කටුක ඒවා. නමුත් අපි ඒවා ඉතා ම සතුටෙන් විඳ දරා ගත්තා. අපේ අනාගත යහපත ගැන හිතලා. නමුත් ටිකින් ටික අපට මෙම පීඩනය දරාගැනීම අපහසු වුණා. ඒ සමඟ ම අපට දැනුණා මෙම පීඩාකාරී ක‍්‍රියා මඟින් අපේ ඉදිරිගමනට යහපතක් නොවන බව. එය හිංසාවක් පමණක් බව අපට තේරුණා.

සර්, අපේ පුහුණුව ගොඩක් අමාරුයි. දිනපතා උදේ පහට නැගිටින්න ඕන. ඉතා ම අපහසු ක‍්‍රියාකාරකම් ගොඩක් පුහුණුවේ කියෙනවා. උදේ පහයි තිහේ සිට හත පමණ වෙනකල් පුහුණු වෙනවා. පසු ව ඇඟ හෝදගෙන හතයි තිහ වෙනකොට ලැහැස්ති වෙලා ඉස්කෝලේ යන්නත් ඕනේ. ගොඩක් දවස්වලට හරියට කන්නත් නැහැ. මහන්සියත් බඩගින්නත් ඉවසගන්න බැහැ. ඉස්කෝලේ ගිය වෙලේ ඉඳලා නිදිමත. යමුනා මැඩම් එන්න ඉස්සල්ලා නේවාසිකාගාරයෙන් එළියට එන්න ඕන. නැත්නම් ඉවරයි.

සමහර දවස්වල කරාමවල වතුර එන්නේ නැහැ. එතකොට අපි හරි ම අමාරුවක වැටෙන්නේ. ඒවා අමාරු වුණත් අපි කොහොම හරි ඒවා විඳ දරා ගත්තා. එක පැත්තකින් යම්කිසි වින්දනයකුත් ඒකේ තිබුණා. එත් සර්, අපිට දරාගන්න බැරි තවත් ගොඩක් දේ නේවාසිකාගාරයේ සිදුවෙනවා. හැමදාම අඩු ම තරමින් ළමයි තිස්දෙනෙක්වත් අඬනවා, එක එක හේතු මත. මමයි තව කීපදෙනෙකුයි එකතුවෙලා සර්ලට මේ කියන්න යන්නේ ඒවා. අපි මේ කරුණු කියන්නේ කාටවත් කරදරයක් කරන්න නොවෙයි. අපිට එහෙම අදහසක් නැහැ. කාටත් අපි වෛර කරන්නෙත් නැහැ. නමුත් අපි විඳපු, තව තවත් විඳින මේ කරදරවල සීමාවක් තියෙන්න ඕන. අවසානයක් තියෙන්න ඕන.

නේවාසිකාගාරවල සිදුවන මේ කරදර නිසා ගොඩක් ළමයි නේවාසිකාගාරය අතහැර ගියා. යන්න ඉන්න අයත් ගොඩයි. හෙට ඉඳලා, කැමති කෙනෙක් යන්න කියලා කිව්වොත් කවුරුත් නේවාසිකාගාරයේ ඉතිරි වෙන එකක් නැහැ. ඒ තරමට එපා වෙලා තියෙන්නේ. කිසිකෙනෙක් සතුටෙන් නොවෙයි ඉන්නේ. අපි මේකේ ඉන්නේ, කරන්න දෙයක් නැතිකමට. මොනවා කරන්න ද ඉවසගෙන ඉන්නවා. ගොඩක් දෙනා හැමදාම අඬනවා මේ දුක විඳින්න බැරිව. හැම දේම සීමාවක් තිබෙනවා. කවදාහරි දවසක, බොහෝ විට ලඟදීම, අපේ ළමයෙකුට මොකක් හරි අනතුරක් වෙන්න පුළුවන්. එතකොට ඒක දරාගන්න වෙන්නේ, අපි කාගේ හරි දුප්පත් අහිංසක අම්මෙකුට තාත්තෙකුට. වරද පැටවෙන්නේත් අපේ පැත්තට. අපේ මැඩම්ලා අනතුරට පත් වෙන ළමයාට විරුද්ධව ලස්සනට වැරදි ගොන්නක් හදල තියෙයි.

සර්, සර් බලනවා ඇති, සර්ලා නොදන්න මේ තරමට නේවාසිකාගාරවල සිදුවන කරදර මොනවාද කියලා. අපට තේරෙන විදියට සර්ලා මේවා දැනගෙන ඉන්නේ. නමුත් මොන හේතුවක් නිසා හරි සර්ලා ඒකට උත්තර හොයන්නේ නැහැ. ඉස්කෝලේ ප‍්‍රශ්නවලට මැදිහත් වන කිසිකෙනෙක් නේවාසිකාගාරය දිහා බලන්නේ නැහැ. අනේ සර්, අපිට මේවා තවත් දරාගන්න බැහැ. ඒ නිසා සර්ලා දන්න, ඒත් නොදන්නවා වගේ ඉන්න කාරණා පුළුවන් තරම් අපි කියන්නම්.

නමුත් අපි දන්නවා මේවාට උත්තර නැති බව. මේක අපි කරන්නේ කියලා දැනගත්තොත් නේවාසිකාගාරයේ තියා ඉස්කෝලේවත් ඉන්න ලැබෙන්නේ නැහැ. මෙච්චර කල් අපි දුක්මහන්සියෙන් ගත්ත එක සහතිකයක්වත් ලැබෙන එකක් නැහැ. ඒවා ඔක්කොම යමුනා මැඩම් ලඟ තියෙන්නේ. අපිට අල්ලන්නවත් ආසාවට බලන්නවත් දෙන්නේ නැහැ. මීට ඉස්සල්ලා කරදර ඉවසගන්න බැරීම තැන, ඒවාට එරෙහිව කථා කරපු අයියලාට අක්කලාට වෙච්ච දේවල් අපි දැකලා තියෙනවා. අන්තිමේට එයාලට මෙහෙන් යන්න වුණේ, හිස් අතින්. දුක් මහන්සියෙන් ලබා ගත්ත කී‍්‍රඩා සහතිකත් කිසිවක් නැතිව. නින්දා අපහාසත් විඳලා. නැවත ඒ අය හිටපු පරණ ඉස්කෝලෙටවත් යන්න බැරි තත්ත්වයක් ඇති කරගෙන.

ගැහැණු ළමයින්ගේ නේවාසිකාගාරය


සර්, මේ විද්‍යාලය හරි ම ලස්සනයි. අපේ නේවාසිකාගාරය තියෙන්නේ පිට්ටනිය ඉස්සරමයි. අපි ආපු මුල් දවස් දෙක තුනක් යනකල් ටිකක් සහනයක් තිබුණා. ඊට පස්සේ අක්කලාගේ යට ඇඳුම් පවා හෝදන්න වුණා. අක්කලා කීපදෙනෙක් ඉන්නවා මැඩම්ලට කේලම් කියන. ඒ අයට නේවාසිකාගාරය ඇතුලේ ගොඩක් නිදහස. අපි පස්සේ දැනගත්තේ ඒ අය සාමාන්‍ය පෙළ විභාගෙත් අසමත් අය කියලා. ඒගොල්ලෝ ගෙවල්වලට කියලා තියෙන්නේ උසස් පෙළ කරනවා කියලා. නමුත් සාමාන්‍ය පෙළ විභාගෙවත් සමත් නැහැ.

ඉස්කෝලෙට පෙන්නන්නෙත් උසස් පෙළ කරනවා කියලා. අනෙක් අක්කලා නම් කියන්නේ එයාලට නේවාසිකාගාරයේ ඉන්නත් බැහැ ඉස්කෝලේ වෙනුවෙන් ජාතික තරඟවලට දුවන්නත් බැහැ කියලා. නමුත් ඒගොල්ලෝ ඒ දෙකම කරනවා. කිසි ප‍්‍රශ්නයක් නැහැ. මැඩම්ලා ඒ අයව තියා ගන්නේ අපව පාලනය කරන්න.

මොකද මැඩම්ලා ගොඩක් වෙලාවට නේවාසිකාගාරයේ නැහැනේ. දැන් නම් අර අලුතෙන් ආපු මිස්ලාගෙන් එකනෙකු ඉන්නවා. ඒ අයට මේ තත්ත්වය පාලනය කරන්න බැහැ. මොකද මැඩම්ලාගේ නියෝගනේ. අර අක්කලා කරන්නේ. ඒ අය තමයි අපෙන් වැඩ ගන්නේ. අනෙක් අක්කලාගෙන් කරදර නැහැ. මැඩම්ලාට නැති වුණාම මැඩම්ලාට කේලම් කියන අක්කලා අපිට හරියට වද දෙනවා. ළමයින්ට නොගැළපෙන දේ කරන්න කියනවා. අපේ සල්ලි හොරකම් කරනවා. අලුත් නංගිලාගේ සල්ලි බලෙන් ගන්නවා. බොරු දේවල් කියලා සල්ලි එකතු කරනවා. පසුව දාට, ඒ අක්කලා අපට කරදර කරනවා කියලා, මැඩම්ලාට කිව්වත් වැඩක් නැහැ. මැඩම්ලා පිළිගන්නෙ නැහැ. මැඩම්ලා පිළිගන්නේ, ඒ අක්කලා කියන දේ. මැඩම්ලට කියන්න යන අයට වෙන්නේ කන්න කෑමත් නැති වෙන එක විතරයි.

සර්, අපේ නේවාසිකාගාරය භාරව ඉන්නේ යමුනා මැඩම් සහ ඉවෝන් මැඩම්. අලුතෙන් ආවා සීලරත්න කියලා මැඩම් කෙනෙක්. අපි හැමෝම සතුටු වුණා, ඒ මැඩම් එනවාට අපේ ආදි ශිෂ්‍යාවක් නිසා. අප්පෝ ඒ මැඩම් ඔක්කෝටම හපන්. පුංචි වුණාට හරි ම නපුරුයි. තවත් ඉන්නවා, අමරකෝන් සර්. මුළු ක‍්‍රීඩා පාසැලේ ම ක‍්‍රීඩා භාර සුසන්ත සර්. සුසන්ත සර් ගොඩක් වෙලාවට එන්නේ සෙනසුරාදා සහ ඉරිදා දවස්වල. සමහර දා ට සතියේ දවස්වල සවසත් එනවා. එතකොට පුහුණුව ගොඩක් අමාරුයි. ඒ වගේ ම පොඩ්ඩ වැරදුනොත් ගුටි. හරියට අපේ අම්මලා තාත්තලා පාවාදීලා බනිනවා. ඉස්කෝලේ සර්ලා මැඩම්ලා එහෙම අම්මලා තාත්තලා මතක් කරලා බනින්නේ නැහැනේ සර්.

අම්මලා ලඟ නැති අපි, ඒ වෙලාවට හරියට වේදනාවට පත්වෙනවා. සුසන්ත සර් අපට පුහුණු වෙනකොට කොහොමත් ගහනවා. ඒත් එක දවසක් සුසන්ත සර්, අක්කලාට හොඳටම ගැහුවා. එදා අක්කලාට තිබුණේ පාරේ දුවන්න. කවුදෝ සර්ට කියලා අක්කලා පාරේ අැවිද්දා කියලා. සුසන්ත සර් පොල්ලක් අරගෙන ඒ අයට ගැහුවා හොඳට ම. අක්කලාට ඇවිදින්න තියා ඉඳගෙන ඉන්නත් බැරිවුණා එදා. සුසන්ත සර් හරියට කේලාම් අහනවා. ඊට පස්සේ අපෙන් අහන්නේ නැති ව අපට හරියට ගහනවා. එතකොට අපිට ජීවිතෙත් එපා වෙනවා.

සර්, සෙනසුරාදාට සහ ඉරිදාට සුසන්ත සර්ගෙන් පුහුණු වෙන්න පිට ඉස්කෝලවල ළමයි එනවා. එහෙම ගොඩක් අය එන්නේ වාහනවල. ඒ අය ගොඩක් සල්ලි තියෙන අය වෙන්න ඇති. ලස්සනට එනවා. සුසන්ත සර් ඒ අයට අපේ පිට්ටනියේ පුහුණුවීම් කරනවා. අපිට පුහුණු වෙන්න තියෙන ක‍්‍රීඩා උපකරණත් දෙනවා, ඒ අයට පුහුණු වෙන්න. සුසන්ත සර්, එහෙම පිටින් ලස්සනට එන ළමයින්ට ආදරෙන් කතා කරනවා. අපිට එතකොට සුසන්ත සර් එක්ක තරහකුත් ඇතිවෙනවා. මොකද අපිට එහෙම කතා කරන්නේ නැහැනේ. අපේ අක්කලා කියන්නේ ඒ අයට සුසන්ත සර් පුහුණු කරන්නේ සල්ලිවලට කියලා. අක්කලා කියනවා සුසන්ත සර්ට අපේ ආදි ශිෂ්‍ය සංගමයෙනුත් සල්ලි දෙනවාලූ. අපට උගන්වනවාට. සුසන්ත සර් අපටත් පුහුණුවීම් කරනවා. නමුත් අර අයට වගේ ආදරෙන් කරුණාවෙන් අපිටත් කතා කරනවා නම් මොන තරම් හොඳද කියලා අපි නිතර ම කතා වෙනවා. එත් ඒක හීනයක් විතරයි.

යමුනා මැඩම් නම් සර්, හරි ම සැරයි. බනින කොට අහගෙන ඉන්න බැරි තරමට නරක වචන කියනවා. මැඩම් ගොඩක් ලස්සනයිනේ සර්. ඒ වගේ ම ලස්සනට අඳිනවත්නේ. හැබැයි බනින්නේ අන්තිම නරක වචන කියලා. මුලින් ම අපි හිතුවේ, ඇත්තටම මේ ඉන්නේ යමුනා මැඩම්ම ද කියලා. ඒ තරමටම අපි පුදුම වුණා මෙතරම් ලස්සන කෙනෙකුට මෙච්චර කුණුහරුප කියන්න පුළුවන් ද කියලා. දවසක් අපේ ඉස්කෝලේ ස්වාමින්වාහන්සේත් පාවාදීලා අක්කා කෙනෙකුට බැන්නා. 

නමුත් සර්, යමුනා මැඩම්ට කේලාම් කියන අක්කලාට නම් කරදරයක් නැහැ. එක දවසක් අක්කලා කීපදෙනෙක් යමුනා මැඩම්ගේ ගෙදර එක්කර ගෙන ගියා. අපි පස්සේ දැනගත්තේ ඒකට හේතුව. ඒ යමුනා මැඩම්ගේ දුව වැඩිවියට පත් වූණු නිසාලූ. එක්කර ගෙන ගිය අක්කලා ඒ නංගිගේ තනියටයි ඉඳලා තියෙන්නේ. එහෙම ගිය අක්කලා කිව්වා උත්සව දවසේ ගෙදර වැඩ කරන්නත් වුණා කියලා. ඒ අක්කලා දවස් කීපයක් එහේ ඉඳලයි ආවේ. ඒ වගේ ම වැඩක් සුසන්ත සර්ගේ නැයෙකුගේ මලගෙදරකත් වුණා අස්ගිරිය කියන පැත්තේ. අපේ නේවාසිකාගාරයේ අයියලා කීපදෙනෙක් දවස් කීපයක් ම ඒ ගෙදර වැඩ කරලා තියෙනවා. ඉවෝන් මැඩම්ට දරුවා ලැබෙන්න ඉන්නකොට ඉස්කෝලෙ දී ඔක්කෝම වැඩ කළේ අපේ අක්කලා නංගිලා. තව දරුවෙක් ඉවෝන් මැඩම් ලඟ හිටියා එයාව බලාගත්තෙත්, පස්සේ ඉවෝන් මැඩම්ගේ දරුවා නේවාසිකාගාරයේ දී බලාගන්න‍ෙත් අපි. මීට ටික කාලයකට ඉස්සල්ලා අපේ අම්මලා තාත්තලා ඇවිත් මෙහෙ නේවාසිකාගාරවල ශ‍්‍රමදානයක් තිබුණා. එදා යමුනා මැඩම්, මැඩම්ලාගේ ගෙවල් පැත්තේ සමිතියක ටිකට් වගයක් ගෙනත් අපේ අම්මලාට බලෙන් ම වාගේ විකුණුවා. අම්මලාට ගෙදර යන්නත් සල්ලි මදි වුණා කිව්වා ඒක නිසා. ඒක දැනගත්තේ අපි නිවාඩුවට ගෙදර ගියාම.

සර්, නිහාල් සර් කියලා හිටියා අපේ ඉස්කෝලේ නියෝජ්‍ය විදුහල්පති කෙනෙක්. ඒ සර් කාලයක් අපේ නේවාසිකාගාරයට කෑම දෙන එක භාරව හිටියා. පස්සේ ඒ සර් අයින් වුණා. එහෙම අයින් වුණ දවස්වල අපේ මැඩම්ලා සර්ලා හිටියේ හරි ම සතුටෙන්. මැඩම්ලා අපිට කිව්වේ, දැන් අපේ ළමයින්ට කරදරයක් නැති ව කන්න දෙන්න පුළුවන් කියල. නමුත් සිද්ධ වුණේ වෙනත් දෙයක්. තුන්වේල බඩපිරෙන්න කාලා නැහැ. නිහාල් සර් අයින් වුණ දවස්වලම අපේ මැඩම්ලා සර්ලා, අපිවත් එකතු කරගෙන හොස්ටල් නයිට් එක සංවිධානය කරන්න පටන් ගත්තා. අපි නොහිතපු දෙයක් සිද්ධ වුණා. හොස්ටල් නයිට් එකට සල්ලි ඉස්කෝලෙන් නොදෙන බව අපේ මැඩම්ලා කීවා. ඒක නිසා අපිට කන්න තියෙන සල්ලි ඉතිරි කර ගන්න ඕනෑලූ. ඉස්කෝලෙන් සල්ලි දෙන එක නැවතුනේ නිහාල් සර් නිසාලූ. ඉතින් සතියක් විතර අපේ කෑම අන්තිම නරක අතට හැරුනා. වෙනදාත් හොඳ කෑම ලැබුණේ නැහැ. හැබැයි නිහාල් සර්ගේ කාලේ කොහොම හරි තුන්වේල කෑවා. ඒක, උයන අය අදත් මතක් කරනවා.

නමුත් මේ දවස්වල අපේ කෑම වේල අන්තිමටම නරක් වුණා. එක දවසක් දවල්ට කන්න තිබුණේ වටිටක්කා විතරයි. එහෙම කාලා පිට්ටනිය වටේ රවුමක්වත් යන්න බැහැ සර්. ඉතින් කට්ටියම පිට්ටනියට යන්න අදිමදි කලා. ඉවෝන් මැඩම්ටයි යමුනා මැඩම්ටයි හොඳට ම තරහා ගිහින් අපි කෙල්ලෝ ඔක්කෝටම කොස්සක් කැඩෙනකල් ගැහැව්වා. හොස්ටල් නයිට් එක කරන්නේ අපිට නොවෙයි තොපිට. ඒකේ ඇවිත් කාලා යන්නේ තෝපේ අප්පලා කියලා, යමුනා මැඩම් අපි හැමොට ම කැත විදියට බැන්නා. හොස්ටල් නයිට් එකට අපි හැම කෙනාම ගෙදරිනුත් රුපියල් 1000 ට වැඩියෙන් දුන්නා. පස්සේ අපේ අම්මලා තාත්තලා ඇවිත් හොස්ටල් නයිට් එකේ කනකොට අපි කෙල්ලෝ ඔක්කොම එක්කනාට එක්කනා හොරෙන් ඇඬුවා, සර්, යමුනා මැඩම් අපේ අම්මලාට කියපු කතා මතක්වෙලා. මීට ඉස්සල්ලාත් හොස්ටල් නයිට් තිබුණා. පසුවත් හොස්ටල් නයිට් තිබුණා.

සර්, අපේ මැඩම්ලා සර්ලා තවත් වැඩක් කරනවා. සමහර දවස්වලට අපේ ඉස්කෝලේ මැඩම්ලා සර්ලාගේ නම් කියලා අපිට කියනවා, ඒ අය එක්ක කතා කරන්න එපා කියලා. අපිට පන්තියේ උගන්වන මැඩම්ලාට සර්ලාට කතා නොකර ඉන්නේ කොහොම ද සර්. අපේ මැඩම්ලා කියන එක, අපි අහනවා ද නැති ද බලන්නේ අර කේලාම් කියන අක්කලා අයියලා.

නේවාසිකාගාරයේ පිරිමි ළමයින්ටත් එහෙම කතා කරන්න එපා කියනවා. එපා කියපු මැඩම්ලා එක්කයි සර්ලා එක්කයි කතා කරනවාද කියලාත් බලනවා. බැරිවෙලා හරි අහුවුනොත් එදාට කෑමත් නැහැ සර්. අපිට නම් එක වේලක් හරි දෙකක් හරි නැති වෙන්නේ. පිරිමි ළමයින්ට ඊට වඩා වැඩියි. අපිට වඩා ගොඩක් දරුණුයි පිරිමි ළමයිගේ කරදර.

මේ ලඟදී අපේ මැඩම්ලා සර්ලා අපිට කිව්වා, ඉස්කෝලේ කිසි ම ගුරුවරයෙක් එක්ක කතා කරන්න එපා කියලා. කීපදෙනෙකුගේ නම් කියලා, ඒ අයට විතරක් කතා කරන්න කීවා. පස්සේ අක්කලා කිව්වා ඒකට හේතුව ගුරුවරු කිසිකෙනෙක් පාලිත සර්ගේ මගුල් ගෙදර ගියෙ නැතිලූ. ඒ නිසා තමයි අපිට කතා කරන්න එපා කිව්වේ. අපි මේ විඳින කරදරය ඉස්කෝලේ මැඩම්ලා සර්ලා දන්නේ නැහැ. දන්නෙම නැහැ කියලා අපි හිතන්නෙත් නැහැ. ඒත් ඒ අයත් අපිට බනිනවා, අපි මහ පන්ඩිතයි කතා කරන්නෙත් නැහැ අහන එකට උත්තර දෙන්නෙත් නැහැ ඉගෙන ගන්නේත් නැහැ කියලා. නමුත් සර්, ඒ මැඩම්ලා දන්නේ නැහැ අපි කතා කරොත් රෑට කන්නත් නැහැ කියලා. අපිට එපා කියපු දෙයක් කරොත් එදාට කන්නත් නැහැ, ගුටිත් කන්න වෙනවා. ඉතින් අපි ඉස්කෝලේ මැඩම්ලා සර්ලාගෙනුත් බැනුම් අහලා ඉවසගෙන ඉන්නවා. සමහර කේලම් කියන අක්කලා අයියලා අපේ කාගෙන් හරි පලිගන්න ඕනෙ වුනොත් මැඩම්ලාට බොරු කියනවා. එතකොට වරද කළත් නැතත් දඬුවම ලැබෙනවා. යමුනා මැඩම්ගෙන් ඉවෝන් මැඩම්ගෙන් පාලිත සර්ගෙන් ගුටි කාපු බැනුම් අහපු අපිට ඉස්කෝලේ මැඩම්ලා සර්ලාගේ දඬුවම් දැනෙන්නෙත් නැහැ සර්. පිරිමි ළමයි කියන්නේ පාලිත සර්ගෙන් ගුටි කන අපිට අනෙක් සර්ලගෙ ගුටි දැනෙන්නෙත් නැහැ කියලයි.

සර්, ටේ‍්‍රනින් ඉවර වෙලා, සමහර දවස්වලට ඇඟ හෝදගන්න වතුරත් නැහැ. එහෙම දවස්වලට අපි යනවා ළඟපාත ලිං හොයාගෙන. එහෙම යන වෙලාවට, කලින් ම නංගිලාට නාන්න කියලා අපි වතුවලට පැනලා අල බතල හාරගෙන කනවා. ඉතින් වටපිටාවේ මිනිස්සු අපට බනිනවා. නමුත් යමුනා මැඩම් තරම් සැරට එගොල්ලෝ බනින්නේ නැති නිසා අපට ගානක් නැහැ. තවත් සමහර දා ට පහල තියෙන සොරොව්ව ලඟට යනවා නාන්න. ඉතින් ඇඟ හෝදගෙන නැවත නේවාසිකාගාරයට එනකොට රෑ වෙලා. පස්සේ මහන්සියටම නිදිමතයි. බාගෙට කාලා ඉන්න නිසා බඩත් දනවා. තවත් සමහර දා ට නාන්න ගිහින් එනකොට අහල පහල වතුවලින් කොල ජාති කඩාගෙන පොල් ගෙඩියකුත් අහුලගෙන ඇවිත් මැඩම්ට වැඳලා වැඳලා තෙල් ටිකකුත් ඉල්ලගෙන උයාගෙන කනවා. ඒ ඔක්කොම කරලා පොත් ටික අරගෙන පාඩම් කරන්න ගියාට වැඩක් නැහැ. මේසේ උඩම නින්ද යනවා. ඉතින් විභාගවල දී ලකුණු නැහැ. ආයෙත් ගුටි කන්න ඕනේ. ලකුණු අඩු වුණා ම ගහන්නේ පාලිත සර්. අපි හැමෝට ම හොඳටම රිදෙනවා සර්. අච්චර මහන්සිවෙලා කොහොමද සර් පාඩම් කරන්න පණ තියෙන්නේ. ලකුණු අඩු විෂයන්වලට ඉස්කෝලේ සමහර හොඳ මැඩම්ලාට සර්ලාට කියලා ලකුණු කීපයක් ඉල්ල ගන්නවා. ගුටි කන එකෙන් බේරෙන්න. ඊට පස්සේ ගුටි කන එකෙන් බේරුණා ම උදව් කරපු මැඩම්ලට අපි පිං දෙනවා.

(මතු සම්බන්ධයි)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

9 comments:

  1. අතිශයෝක්තියෙන් ලියලා වගේ. හමුදා පුහුනුවකදී වත් ඔහොම 'හැම පැත්තෙන්ම' කරදර කරන්නේ නෑ. මේක මිට වඩා විධිමත් විදියකට හොයල බලන්න පුළුවන් නම් හොඳයි වගේ.

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය සම්බන්ධයෙන් මටත් ඒ විවේචනය තිබෙනවා. ඒත්, මෙය අපට එවූ අය මෙතරම් කරුණු සවිස්තරව ලියද්දී අපට එය ප්‍රතික්ෂේප කරන්නට බැහැ. ඒ ගැන නිසි සොයා බැලීමක් කළ යුතු බව ඇත්ත.

      පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ අත්දැකීම් ප්‍රමාණයක් මටත් තිබෙනවා. ඒවාත් ඉතා කෘරයි.

      ක්‍රීඩාවේ නමින් ළමයින්ගේ ජීවිත මතින් දැවැන්ත ප්‍රචණ්ඩත්වයක් මුදා හැරෙමින් තිබෙන බව බොරුවක් නෙමෙයි.

      Delete
    2. අපේ හිතවත් බ්ලොග්කරු නිස්මා (නිස්මන් රණසිංහ) මේ දවස්වල ඉන්නේ ක්‍රීඩා ඇමති තුමා ළඟ නේද? නිස්මා ට පුලුවන්වෙයි මේක ඉදිරියට ගෙනියන්න. පාසැල් නිසා අධ්‍යාපන ඇමැතිතුමාටත් හවුල් වෙන්න වෙයි.

      Delete
    3. This is definitely Walala A. Ratnayake Central College

      Delete
  2. ඉස්කෝලෙ කොල්ලො ටිකට ගෙවල්වලට කියල හරි ඔය පාලිත සර් කියන එකාට හොද පොරියල් එකක් දෙන්න බැරිද අතක් පයක් කැඩෙන්නම.. එතකොට අනික් ගුරුවරු බයට හරි හැදෙයි

    ReplyDelete
  3. සිනමා නිළි සබීතා පෙරේරාගේ සැමියා වන උපාලි ජයසිංහට අයත් බව කියන රාජගිරිය ප්‍රදේශයේ පිහිටා ඇති අති නවීන ගොඩනැගිල්ලක් කෘෂිකර්ම අමාත්‍යංශයේ භාවිතයට මාසිකව ලක්ෂ 245 ක කුලී පදනමින් ලබාගෙන කිසිදු ප්‍රයෝජනයක් නොගෙන මාස 11 ක් තිස්සේ නිරපරාදේ අගුළු දමා තිබීමෙන් මහජන මුදල් කෝටි 27 කට ආසන්න නාස්තියක් සිදු කිරීම සම්බන්ධයෙන් පෙරේදා පාර්ලිමේන්තුවේදී කරුණු අනාවරණය විය.

    හිතවත්කම පදනම් කරගෙන සිදු කර තිබෙන බව කියන මෙම ගොඩනැගිලි ගනුදෙනුව සම්බන්ධයෙන් මින් ඉහත විවිධ ආකාරයට මාධ්‍ය වාර්තා මගින් කරුණු අනාවරණයවී තිබුණ නමුත් නිල වශයෙන් රජයේ බලධාරීන් කිසිවෙකු පැහැදිලි කිරීමක් සිදුකර තිබුනේ නැත.

    පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇසූ පැනයකට පිළිතුරු ලෙස ඇමති ගයන්ත මේ ගැන පාර්ලිමේන්තුවේදී කරුණු හෙළි කරන ලදි.

    මෙම ගොඩනැගිල්ල වෙනුවෙන් මාසිකව රුපියල් කෝටි දෙකහමාරට අාසන්න මුදලක් (ලක්ෂ 245) ඩීපී ජයසිංහ සමාගමට ගෙවා ඇති බව එහිදී ඇමතිවරයා පිළිගත් අතර එම මුදල් ඇයවැයෙන් වෙන් කර ඇති ආකාරය නිවැරදි බව පවසා සිටියේ අයවැයෙන් කෝටි 150 කට ආසන්න මාසික කුලී විවිධ අමාත්‍යංශ වලට ගෙවන බව පැහැදිලි කරමිනි.

    කෙසේ වෙතත් මෙම මුදල් නාස්තිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක පාර්ලිමේන්තුවේ එම අවස්ථාවේ නොසිටි අතර පාර්ලිමේන්තුවේ සිටි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ කියා සිටියේ තමා මේ ප්‍රශ්නය ඇමතිවරයාට යොමු කරන බව පමණි.

    2015 ඔක්තෝබර් මාසයේ වැඩ නිම කරන ලද මහල් 10 කින් යුතු අති නවීන පහසුකම් සහිත රාජගිරියේ පාර්ලිමේන්තු පාරේ පිහිටි මෙම අලංකාර ගොඩනැගිල්ල විවෘත කරන ලද්දේ ජනපති මෛත්‍රිපාල සිරිසේන අතිනි. වර්ග අඩි ලක්ෂයක පමණ ඉඩපහසුකම් ඇති මෙහි වාහන 100 කට වඩා නවතා තබන්නට හැකි රථ ගාලක්ද තිබෙන බව කියැවේ. ඩීපී ජයසිංහ සමාගම මෙම ගොඩනැගිල්ල රජයේ අමාත්‍යංශයක් සඳහා දරන්නට අමාරු මාසික කුලියකට ලබාදීම අනුමත වූයේ කෙසේද යන්න ගැන පසුව ගැටලු මතු විය.

    2016 ජූලි මස සන්ඩේ ලීඩර් පුවත්පත මගින් හෙළිදරව් කර තිබෙන ආකාරයට මෙම ගොඩනැගිල්ල බද්දට ගැනීමට කෘෂිකර්ම අමාත්‍යංශය රජය අනුමත ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව සිදු කර ඇති අතර විගණන පරීක්ෂණ අනුව එය ගැටලු මතු කරන්නකි. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස දන්වා තිබුනේ මේ සඳහා අගමැතිවරයාගේ අනුමැතිය ලබාගන්නට මෙම හිමිකරුවන් කටයුතු කර තිබුණ බවකි.

    දුමින්ද දිසානායක ඇමතිතුමත් හිරේට දාමූ තව අවුරුදු 10 යකථ් එලියට එන්න බැරිවෙන්න , මහජන මුදල් අවබවිතයට
    කෝ මේ අපේ FCID එක?

    ReplyDelete
    Replies
    1. ඔතන සිද්ධිය මේකයි. බත්තරමුල්ලේ තියෙන කෘෂිකර්ම අමාත්‍යංශ ගොඩනැගිල්ල පාර්ලිමේන්තු කාරක සභා වෙනුවෙන් දෙන්න කියලා එහෙන් අයින් වෙන්න කියලාලු. එතකොට ඔය ගොඩනැගිල්ල ‍තෝර ගෙන තියෙනවා මොකද මේකේ කුලිය සෙත්සිරිපායට වඩා අඩුයි කියලා. මේක අගමැති අනුමත කරා කියනවා, මහ බැංකුව ගාවන්න හදනවා, ඒත් මේක කැබිනට් එකෙන්ලු අනුමත වුනේ. (කැබිනට් එකේ ජනාධිපතිත් ඉන්නවා). හැබැයි ප්‍රශ්නේ මේකයි. කුලියට දෙන්නේ ගොඩනැගිල්ල විතරයි. ඒකට කාර්යාල අරන් යන්න නම් එකේ බිම කාපට් කරලා කරන්න ඕන. මේ සමාගමටම ඒක කරන්න කියලා ඊට පස්සේ කුලියට ගත්තා නම් ඔය ප්‍රශ්නේ වෙන්නේ නෑ. ඒත් දැන් මේ සේරම ඒ කියන්නේ අරහෙම කරන්න තිබ්බා මෙහෙම කරන්න තිබ්බා කියන සේරම පස්සේ නිවිහැනහිල්ලේ (විගණකවරු කරන්නේ) ලිපිගොනු බල බල. එතන තිබිච්ච සැබෑ තත්ත්වය මොකක්ද කියලා ඇමති පාර්ලිමේන්තුවට කියන්න ඕන.

      Delete
  4. හරි දරුණු තත්වයක් නේ?
    පහරදීම්, අමානුශික සලකීම්!
    ලිංගික අතවරත් වෙනවා වගෙයි.
    ඉතිං මේ ගැන පොලිසියට පැමිණිළි කරන්නේ නැද්ද? මේක අධ්‍යාපන අමාත්‍යාංශයට වඩා පොලිස් අපාරාධ කාරණයක්!

    ReplyDelete
  5. මොන මගුලක්ද මේ ......මහ ලොකු ක්‍රීඩාව..........අර බලු ගුරුවරු නීතිය ට අල්ලලා දෙන්න ඕනේ......

    තාමත් මේ සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග අරන් නැද්ද.......

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.