2017-06-09

ලංකාවේ ජනතාව මත කඩාපාත් වන ලොකුම ආපදාව රජයයි


(2017 ජුනි 11 රාවය පුවත්පතට ලියන ලද ලිපියකි) ආපදා කළමනාකරණ අමාත්‍යාංශය 2016 වසරේදී වැය කර තිබෙන්නේ එම අමාත්‍යාංශයට වෙන් කරන ලද ප්‍රාග්ධන වියදම්වලින් 8%ක් පමණක් බව පසුගිය ඉරිදා සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත සිය මුල් පුවතින් වාර්තා කළේ ය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සහ ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ දෙපාර්තමේන්තුව අයත් වන්නේ ඇමති අනුර යාපා යටතේ තිබෙන ආපදා කළමනාකරණ අමාත්‍යාංශයටයි.

ප්‍රයෝජනයට ගෙන නැති මෙම මුදල් ව්‍යාපෘති, පර්යේෂණ හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා යොදා ගත හැකිව තිබුණු බව අදාළ වාර්තාවේ දැක්වේ.

මෙය  ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ පමණක් නොව සමස්ත රජයේ සේවයේ ම තත්වයයි. හැම රජයේ කාර්යාලයක් ම නිලධාරීන්ගෙන් පිරී ඉතිරී යද්දී පවා රජයෙන් වෙන් කරන මුදල් පවා වැය කර ගත නො හැකිව ආපසු හරවා යැවීම රජයේ සේවයේ සාමාන්‍ය තත්වයකි. 

මීට අමතරව ජාත්‍යන්තර සංවිධාන ආදිය විසින් පිරිනමනු ලබන විදේශ අරමුදල් ද රජයට ලොකු කරදරයක් වී තිබේ. හේතුව එම මුදල් වියදම් කරන්නට සිදු වීමයි. මේ ගැන ඔබට පුදුමත් හිතෙනවා ඇති.

රජයේ මුදල් වියදම් කිරීමට නිලධාරීන් උනන්දු වන්නේ එයින් තමන්ට කොමිස්, විදේශ සංචාර, වාහන ප්‍ර‍තිලාභ, දීමනා, සුපිරි ආහාර ආදිය ලැබේ නම් ය. නැතිනම්, ඒ වෙනුවෙන් කරදර වීමට ඔවුන් කැමති නැත. 

“මේවා කළොත් අපට එෆ්සීඅයිඩී යන්න වෙයි,“ වැනි තර්ක මතු කරන්නට හේතුව එයයි. මේ කිසිවෙක් වැඩ නො කර සිටීම නිසා එෆ්සීඅයිඩී යන්නට වේ යයි බිය වන්නේ නැත.

අප කලක සිට ම පවසන කරුණක් වන්නේ දේශපාලකයන්ගේ සිට පහළට විවිධ ස්ථරවල මධ්‍යම පංතිකයන්ට සුරක්ෂිත හා පහසු රැකියා සම්පාදනය කරන මාධ්‍යයක් පමණක් බවට පත් වී තිබෙන රජය ලාංකික පීඩිතයන්ගේ ජීවිත කාලකණ්ණිබවේ ගිල්වන ප්‍ර‍ධානතම සූරාකන්නා  බවයි. ලංකාවේ දැවැන්ත රජයේ සේවය සම්බන්ධයෙන් අපගේ මූලික තර්කය වන්නේ එමගින් කරන මූලික කාර්යය දේශපාලනකයන්ට, රජයේ නිලධාරීන්ට හා සේවකයන්ට රැකියා, දීමනා, වරප්‍ර‍සාද සැපයීම බවයි. මහජන සුබසාධනය පාවිච්චි කරන්නේ එය සාධාරණීකරණය කර ගන්නට ය. දුප්පත් ජනයා වෙනුවෙන් යයි කියමින් කරන කිසිවක් ඇත්තෙන් ම එහෙම ඒවා නො වේ. දුප්පත්කම යනු සියලු තුවාල සඳහා කෝකටත් තෛලයකි.

අප දකින පරිදි රජයක් විසින් කළ යුතුව තිබෙන්නේ ප්‍ර‍තිපත්ති සම්පාදනය, නියාමනය හා සමාජයේ සිටින මූලික අවශ්‍යතා අත්පත් කර ගැනීම ඉතා දුෂ්කර කොටස් නගා සිටුවීම සඳහා කටයුතු කිරීමයි. 

රජය යනු හුදෙක් රැකියා ලබා දීම සඳහා පවත්වාගෙන යන තැනක් නො විය යුතු ය. එසේම, රජය ආර්ථිකයට, දේශපාලනයට හා සමාජයට මැදිහත් විය යුත්තේ මූලිකව ම නියාමනය සඳහා පමණි. 

මෙවැනි දැවැන්ත රජයන්ගෙන් ඒවා නඩත්තු කරන වැඩ කරන ජනයාට සිදු වන යහපතක් නැත. 

ලාභය හා පාරිභෝජනවාදය ජීවන අපේක්ෂා බවට පත් වන ධනේශ්වර චින්තන රාමුවක් තුළ රජය ශක්තිමත් කිරීම යනු හුදෙක් ම කම්කරුවා සූරා කන අලස මධ්‍යම පංතියක් නිර්මානය කිරීම පමණක් බවට ලංකාව ලොව හොඳම උදාහරණයකි. 

දිළින්දා, කම්කරුවා, පීඩිතයා නමින් සූරාකෑමෙහි යෙදෙන මධ්‍යම පංතික ආධිපත්‍යයෙන් යුත් ලංකාවේ රජය රැක ගන්නා තවත් ප්‍ර‍ධාන ශක්තියක් වන්නේ ලංකාවේ වාමාංශික දේශපාලනයයි. ලංකාව වැනි රටවල වාමාංශය පදනම් වන්නේ කම්කරුවන් මත නො වේ. ඔවුන් පදනම් වන්නේ මධ්‍යම පංතියේ පහළ ස්ථරය හා ග්‍රාමීය දිළින්දන් මත ය. මෙම ස්ථර බොහෝ දුරට රජයෙන් හා රජයේ සහනාධාර මත හෝ යැපෙන බලවේග වන අතර කම්කරුවන්ට සිදු වී තිබෙන්නේ ඒ වෙනුවෙන් රජයට මුදල් සොයා දීම සඳහා වැඩ කිරීමටයි. රජය විසින් සපයනු ලබන සුබසාධන සේවාවන්ගේ ද වැඩි අයිතිය මෙම පංතිය විසින් සිය බලය පාවිච්චි කර කම්කරුවන්ගෙන් පැහැර ගනු ලැබේ. උදාහරණයක් ලෙස, මේ වන විට ලංකාවේ සියලු හොඳ රජයේ පාසල්වල ද විශ්වවිද්‍යාලවල ද ඉඩකඩ පැහැරගෙන තිබෙන්නේ මෙම පංතිය විසිනි. සරසවි සිසුන්ගේ දෙමාපියන් උද්ඝෝෂණය කරන පිංතූරවල බස් කොන්දොස්තරලා, කසල ශෝධකයන්, මේසන් බාස්ලා, ගෘහ සේවිකාවන්, මැද පෙරදිග ශ්‍ර‍මිකයන්, ඇඟලුම් කම්කරුවන්, වතු කම්කරුවන් වැනි අය දකින්නට නො ලැබෙන්නේ ඇයි ද යන්න සිතා බලන්න. වෛද්‍ය විද්‍යාල සිසුන්ගේ මව්පියන් නියෝජනය කරන්නට ආඩම්බරෙන් ඉදිරියට එන්නේ විශේෂඥ වෛද්‍යවරු ය. එහෙත්, කියන්නේ රජයේ වෛද්‍ය විද්‍යාල නැතිනම් කම්කරුවන්ගේ දරුවන් අනාථ බව ය. එය ඇත්තකි. එහෙත්, රජයේ විශ්වවිද්‍යාලවලට ඒ දරුවන් නො තේරෙන්නේ ඇයි? ඔවුන්ගේ අවස්ථාව පැහැර ගැනීම ආරම්භ වන්නේ පළමු ශ්‍රේණියට ඇතුළත් වද්දී ම ය.

ලංකාවේ වාමාංශික ව්‍යාපාරය රාජ්‍ය බලය විෂයෙහි කෙතරම් දුබල වුවත්, රාජ්‍ය හා සමාජ චින්තනය විෂයෙහි ඔවුහු අති ප්‍ර‍බල ය. සරලව ගතහොත්, ලංකාවේ සමාජ චින්තනය වාමාංශික ය. 

ලක්ෂ 14.5ක් වන රජයේ සේවය විශ්‍රාමිකයන් ද සමග ලක්ෂ 20කි. රටේ ජනගහණයෙන් දහයෙන් පංගුවක් පමණ රජයේ සේවකයෝ ය. මෙම දැවැන්ත රජයෙහි කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් වැඩ කරන ජනතාව කරනු ලබන සෑම ප්‍රශ්න කිරීමකදී ම වාමාංශික ව්‍යාපාරයේ සාමාන්‍ය චර්යාව වන්නේ සියලු දෝෂ දේශපාලකයන් මත තැබීමයි. දේහපාලකයන් දූෂිත බව හා අකාර්යක්ෂම බව ඇත්තකි. එහෙත්, දේශපාලකයන් ගණන සංඛ්‍යාවෙන් උපරිම 500ක් පමණි. රජයේ සේවය ලක්ෂ 14.5ක් පමණ වේ. 

අනෙක් පැත්තෙන්, දේශපාලකයන් මෙතරම් බලවත් වී තිබෙන්නේ ඇයි ද යන්න ද අප යළි සිතා බැලිය යුතු ය. ඔවුන් බලවත් වී තිබෙන්නේ අන් කිසිවක් නිසා නොව රජය නිසා ය. රජය ශක්තිමත් වන තරමට දේශපාලකයා තව තවත් ශක්තිමත් වේ. අහක යන නයි අල්ලා රෙද්ද පල්ලේ දමාගෙන ඉන් පසු කනෝ, කනෝ යයි කෑ ගැසීම තේරුමක් නැත. 

විසඳුම මෙයයි. රජය හකුළුවන්නැයි හෝ පුළුල් නො කරන්නැයි හෝ අපි නො කියමු. උදාහරණයක් ලෙස කිසිදු රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වසා නො දැමිය යුතු ය. එසේ ම, රාජ්‍ය විශ්වවිද්‍යාලවලට බඳවා ගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව තවත් වැඩි කළ යුතු ය. එ් සමග ම රජයේ සේවයේ කාර්යක්ෂමතාව ගැන උපරිම අවධානය යොමු කළ යුතු ය. දේශපාලකයාට මුවා වී හොර කෙටීමට රජයේ සේවකයාට දී තිබෙන අවස්ථාව අවසන් කළ යුතු ය. දේශපාලකයා මෙන් ම රජයේ සේවකයා ද මහජන මුදල් සම්බන්ධයෙන් වග විය යුතු තත්වයට පත් කළ යුතු ය. 

අපි නැවතත් මුලින් සඳහන් කරන ලද දත්තයට ආපසු යමු. භාණ්ඩාගාරය විසින් වෙන් කරන ලද මුදලින් 92%ක් වැය නො කර ආපසු යැවීම සම්බන්ධයෙන් වගකිව යුතු ආපදා කළමනාකරණ ඇමතිවරයාගේ සිට සියලුම විධායක ශ්‍රේණිවල නිලධාරීන් ආපදා කළමනාකරණයෙහි ශ්‍රී ලාංකික අසමර්ථභාවය සම්බන්ධයෙන් වග විය යුතු ය. ඔවුන්ට එරෙහිව විනය හා නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු ය. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

12 comments:

  1. කිසිවෙකු කිසිවෙකුට වගකීමක් නැති වීමයි මූලික ප්‍රශ්නය. එසේ වගකිව යුතු නම් අද මේ වෙන කොට ජෝන් අමරතුංග ඉල්ලා අස්වෙලා හෝ අස් කරලා!

    ReplyDelete
  2. ඔබ කියන දේවල් වල සත්‍යයක් තිබෙනවා. මේ නිළධාරී පැලැන්තිය ඇත්තටම රටට බරක්. පසුගිය රජයේ තුල හොරාකෑම නීත්‍යානුකූලවුන පසුබිම තුල මේ අයත් ඌරන් මෙන් වැඩුනා

    ReplyDelete
  3. Government is the problem - දැන් පැරා නිකන් රේගන් කාලේ රිපබ්ලිකන් පාක්ෂිකයෙක් වගේනේ - හැබැයි ඕක පුදුම වෙන්න දෙයකුත් නෙවේ - පහු කාලෙක නියෝකොන් රිපබ්ලිකන් පාක්ෂිකයන් වුනේ හිටපු රැඩිකල් සමාජවාදීන්

    ReplyDelete
    Replies
    1. රේගන් රිපබ්ලිකන්ලා කියන කතාව හරි... රජය ජනතාවට බරක් තමා

      Delete
  4. පැරා මේක කොච්චර කිව්වත් මෙතනින් එහාට අඟලක් හෙලවෙන්න සූදානම් නෑ නේද​?
    ඒ කියන්නෙ ලංකාවෙ ප්‍රශ්නෙ තමයි වම කියලම පටන් ගමුකො ඔයා ඔක්කොම වැරදියි අපි තව එකක් හදමු කියල වමක්ම හදන්නනෙ කතා කරන්නෙ.

    ReplyDelete
  5. හෑ, දැන් ඇපෘවලුත් ඕනෙද​

    ReplyDelete
  6. සමහර අමාත්‍යාංශ වලට වසරකට වෙන් කරන මුදල් වසර පුරාවටම එම අමාත්‍යාංශයට ලැබෙන්නේ නෑලු. එම නිසා වෙන් කරපු මුදල වගේම ලැබුණ මුදලත් සඳහන් කරන්න වටිනවා.

    ReplyDelete
  7. Its worth reading this:
    http://www.dmc.gov.lk/attchments/Corporate%20Plan/document.pdf

    ReplyDelete
  8. ඔතන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. වෙන් කරන මුදලයි වියදම් කරන මුදලයි සැසඳුවාට ඒ වෙන් කරන මුදල සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ නෑ. ඒ වගේම රජයේ තියෙන ප්‍රසම්පාදන හා වෙනත් රෙගුලාසි එක්ක වැඩක් කරන්න ගොඩක් කල් ගත වෙනවා. ඒ වගේම සමගාමීව වැඩ කරන්නත් අමාරුයි. මේකට හොඳම නිදසුන අර කෘෂිකර්ම අමාත්‍යංශයේ ගොඩනැගිල්ල කුලියට ගත්ත එක. ඒ ගොඩනැගිල්ල කුලියට ගද්දි ඒකේ පාටිෂන් කරලා නෑ. ලිෆ්ට් හදලා නෑ. දැන් විගණකාධිපති ලියන්නේ කුලී ගෙවනවා, පාවිච්චි කරන්නේ නෑ කියලනේ. බැරි වෙලා හරි කුලියට ගන්න කලින්ම පාටිෂන් කරන්න, ලිෆ්ට් හදන්න ටෙන්ඩර් ගෙන්නුවා නම් එයා ලියන්නේ කුලියට ගන්න කලින් ඇයි එහෙම කරේ කියලා. ඔය මොකුත් නොකර හිටියා නම් කාටවත් අවුලක් නෑනේ.

    ReplyDelete
    Replies
    1. රජය ගොඩනැගිල්ල කුලියට ගන්නෙ රෙඩි ටු ඔකියුෆයි-ගත්ත ගමන් පදින්චිවෙන්න නෙ...ටෙන්ඩර් කන්ඩිෂන් වල නැද්ද ඕකෙ ලිෆ්ට් වැසිකිලි අරව මේව තියෙන්න ඕනෙ කියල. ඔන්න අන්තිම ඩෙකරේෂන් ටික නම් ගත්තට පස්සෙ පුලුවන්........බිත්ති හතරයි වහලෙයි විතරක් තියන එකක් ගන්නෙම වන්ගුවක් ගහන්න බලාගෙන....

      පැරා, වියදම් කරන්න බැරි තරම් රජයේ මුදල් තියන අමාත්‍යා0ශ වලට මේ ක්‍රමෙත් මරු....සල්ලි වියදම් කරන්න

      Delete
    2. එහෙම නෑ. මොකද අද ගොඩක් තැන් වල ගොඩනැගිලි හදන්නේ ශාලා විදිහට. කුලියට ගන්න කෙනා ඒකේ පාටිෂන් කරගෙන කාපට් කරගෙන හදා ගන්න ඕන. හැබැයි මෙතනදි මේ ලිෆ්ට් එකේ ප්‍රශ්නේ වගේ ඒවට කුලිය අඩු කර ගන්න තිබ්බා.

      Delete
  9. රජය ගොඩනැගිල්ලක් කුලියට ගන්නෙ රෙඩි ටු ඔකියුෆයි-ගත්ත ගමන් පදින්චිවෙන්න නෙ...ටෙන්ඩර් කන්ඩිෂන් වල නැද්ද ඕකෙ ලිෆ්ට් වැසිකිලි අරව මේව තියෙන්න ඕනෙ කියල. ඔන්න අන්තිම ඩෙකරේෂන් ටික නම් ගත්තට පස්සෙ පුලුවන්........බිත්ති හතරයි වහලෙයි විතරක් තියන එකක් ගන්නෙම වන්ගුවක් ගහන්න බලාගෙන....

    පැරා, වියදම් කරන්න බැරි තරම් රජයේ මුදල් තියන අමාත්‍යා0ශ වලට ඉහත සඳහන් ක්‍රමෙත් මරු....සල්ලි වියදම් කරන්න

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.