2017-09-01

උත්සව ධනවාදය හරහා පාරිභෝජනවාදය අපේ ජීවිත ගිලගන්නා හැටි

Photo: Daily Mail
ධනවාදයේ මූලික ම නරකක් වන්නේ පාරිභෝජනවාදයයි. සරලව කිව්වොත් පාරිභෝජනවාදය කියන්නෙ පරිභෝජනය වෙනුවෙන් පරිභෝජනය කිරීම වැනි දෙයක්. ඒ කියන්නෙ ජීවිතයේ මූලික අරමුණ පරිභෝජනය ලෙස සැලකීම. 

පරිභෝජනයේ හා පාරිභෝජනවාදයේ වෙනස හඳුනා ගැනීම තරමක් සංකීර්ණයි. මිනිසාට හොඳින් ජීවත් වීම සඳහා පරිභෝජනය කරන්නට සිදු වෙනවා. හැබැයි, පරිභෝජනය කළ යුත්තෙ වගකීමෙන්. පරිභෝජනය කියන්නෙ තනියෙන් තමන් කැමති දෙයක් තමන්ට ඕනැ විදියට ‘මයි කාර් - මයි පැට්‍රල්' විදියට කිරීමේ නිදහස නෙමෙයි. පරිභෝජනය කියන්නෙ සමාජය ගැන, පරිසරය ගැන, සොබාදහම ගැන සංවේදීව කළ යුතු වැඩක්. වගකීමක් සහිත පුරවැසියෙක් කියන්නෙ බුද්ධිමත් පාරිභෝගිකයෙක්.

පාරිභෝජනවාදය විසින් කරන්නේ මිනිසා පරිභෝජනය වෙනුවෙන් පරිභෝජනය කරන, තේරුමක්, වගකීමක් නැති, ආත්මාර්ථකාමී මෝඩයකු බවට පත් කිරීම. එවැන්නන් පරිභෝජනය කරන්නෙ තමන්ට ඕනැ නිසා නෙමෙයි. වෙනත් අය කියන නිසා. 

පාරිභෝජනවාදයේ හොඳ සංකේත දෙකක් තමයි කොකා කෝලා සහ පීට්සා. කොකා කෝලා කියන්නෙ තනිකර ම ප්‍රචාරණය මත මනසේ නිර්මානය වී තිබෙන පානයක්. ඒ හැර එහි කිසිම හරයක් නැහැ. කොකා කෝලා විරෝධීන් ඒ ගැන කියන ඇණ මුරිච්චි ගලවන්නට පුළුවන්, ටොයිලට් හෝදන්නට පුළුවන්කමක් හෝ එහි තිබෙනවා ද යන්න සැක සහිතයි. එහි තිබෙන්නෙ වතුරවලින් අධික ලාභ ලැබීමේ උපායක් විතරයි. කොකා කෝලා විරෝධයත් එක්තරා විදියකට ප්‍රචාරය ම තමයි.

පීට්සා කියන්නෙත් මහ ලොකු රස කෑමක් නෙමෙයි. ඒවා කන්නෙ ප්‍ර‍ර්ශනයට හා විලාසිතාවට. ඒවා කන ගමන් ෆොටෝ අරන් ෆේස්බුක් දාන්න. නැතිනම්, ඩිලිවරි එකෙන් හරි, ඩ්‍රෝන් එකෙන් හරි ඒක ගෙනත් දෙනකොට අල්ලපු ගෙදර අයට පේන්න. අපි ඊ්යෙ පීට්සා කෑවා, හරි ෂෝක් අනේ කියල පහුවෙනිදට ඔෆිස් ගිහින් කියන්න.

පාරිභෝජනවාදය හුදු භාණ්ඩ වන්දනාව පමණක් නො වේ. උන්නතිකාමය ද පාරිභෝජනවාදය සමග දැඩිව බැඳී තිබෙනවා.

පාරිභෝජනවාදයත් සමග හඳුනා ගත යුතු තවත් ලක්ෂණයක් වන්නේ සමාජයේ අනෙකා පරයා කැපී පෙනීමේ ආසාවයි. පාරිභෝජනවාදය සමාජවාදය සමග ගැටෙන ප්‍රධාන දේශ සීමාව මෙය වේ.

වර්තමාන ජීවිතයේ පරිභෝජනවාදය විහිදෙන දිශානති කිහිපයක් හඳුනා ගන්නට තමයි පහත දැක්වෙන ලැයිස්තුවෙන් උත්සාහ කරන්නෙ. මේ හැම පරිභෝජනයක් ම මිනිසුන්ට අවශ්‍යයි. එහෙත්, ඒවා පාරිභෝජනවාදයන් බවට පත් වන්නේ ඒ වෙනුවෙන් දැඩි උන්නතිකාමයකින් හා තෘෂ්ණාවකින් යුතුව කටයුතු කිරීම සමගයි.

  • භාණ්ඩ හා සේවා අධික ලෙස මිළ දී ගැනීම හා පරිභෝජනය
  • පාරිභෝජනය ගැන නිතර සිතමින්, සාකච්ඡා කරමින්, එය ප්‍රවර්ධනය කිරීම
  • අවශ්‍යතා අනුව පරිභෝජනය කිරීම වෙනුවට භාණ්ඩ අනුව අවශ්‍යතා නිර්මානය කර ගැනීම
  • අධික ලෙස දැනුම ප්‍රමාණාත්මකව එක්රැස් කිරීම හා එය කැපී පෙනීමට හා අනෙකා යටපත් කිරීමට යොදා ගැනීම
  • අධික ලෙස ධනය හා දේපල රැස් කිරීම
  • අධික බල තණ්හාව
  • අධික කාම තෘෂ්ණාව

මේ ඔස්සේ බැලූ විට අධික පාරිභෝජනවාදය හා ඍජුව හා වක්‍රව සම්බන්ධ පැතිකඩ කීපයක් මෙසේ  අවිධිමත් ලෙස සලකුණු කළ හැකියි.


  • අධික ජංගම දුරකථන ලෝලය
  • සමාජ මාධ්‍ය විනෝද උන්මාදය
  • සෙල්ෆි පිස්සුව
  • ට්‍රිප් යාමේ, පිටරට යාමේ අධික ආශාව හෙවත් සංචරණ තෘෂ්ණාව
  • දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තමන් ද නො කා නො බී අධික ලෙස ධනය හා දේපල රැස් කිරීම
  • අධ්‍යාපන සහතික තෘෂ්ණාව
  • තමන්ට මගහැරුණු සිහින දරුවන්ගෙන් සැබෑ කර ගන්නට යාම
  • ටියුෂන්
  • පාසල්වාදය
  • ජාතිවාදය
  • ආගම්වාදය
  • බිග්මැච්, ට්‍රකිං හා කඨින පෙරහර
  • මංගල්‍යෝත්සව
  • අවමංගල්‍යෝත්සව
  • දාන පිංකම්
  • උපන් දින සාද
  • දන්සැල්
  • අවුරුදු උත්සව
  • පාසල් ස්පෝට්මීට්
  • දේශපාලන රැස්වීම්
  • පොත් දොරට වැඩීම්
  • කැන්ටිමෙන් කෑමට හා සුඛෝපභෝගී වාහනවල යාමට පාර්ලිමේන්තු යාම
  • අධික ලෙස මත්පැන් බීම
  • කම් සැපෙහි අධික ලොල්කම
  • ටෙලිනාට්‍ය
  • වැඳීම
  • සංගීත සංදර්ශන
මේ ලැයිස්තුවේ තිබෙන කහ පාටින් හයිලයිට් කරපු අවස්ථා සමග උත්සව ධනවාදය දැඩිව බැඳී තිබෙනවා. මේ වන විට රජය, රාජ්‍ය නොවන සංවිධාන, අන්තර් රාජ්‍ය සංවිධාන, අලෙවිකරණ සමාගම් ආදිය අධික වශයෙන් මෙවැනි උත්සව පැවැත්වීම කරනවා. 

මේ උත්සව වෙනුවෙන් ම වෙනම ඉවන්ට් මැනේජ්මන්ට් සමාගම් තිබෙනවා. ඇමතිලා තමන්ගෙ චක්ගෝලයන්ගෙ ඉවන්ට් මැනේජ්මන්ට් කොම්පැනිවලට තමයි උත්සව පැවැත්වීම භාර දෙන්නෙ. ඇතැම් විට චක්ගෝලයන්ගෙ කොම්පැනි නමට විතරයි. උන් උත්සව සංවිධානය ඇත්ත ඉවන්ට් මැනේජ්මන්ට් කොම්පැනිවලට උප කොන්ත්‍රාත්තු දෙනවා ගානක් තියාගෙන. අමාත්‍යාංශවලට වෙන් වෙන මුදල්වලින් වැඩි ප්‍රමාණයක් වැය වෙන්නෙ මේ උත්සව වෙනුවෙන්.

රාජ්‍ය නොවන සංවිධාන සහ අන්තර් රාජ්‍ය සංවිධාන එහෙමත් කරන්නෙ ඒ වැඩේම තමයි. ලංකාවෙ මානව හිමිකම් ආරක්ෂා කරන්න, සාමය ගොඩනගන්න, දුප්පත්කම නැති කරන්න එහෙම ලෝකයෙන් ලැබෙන ආධාරවලින් වැඩි ප්‍රමාණයක් වියදම් වෙන්නෙ ඩිජිටල් බැනර්, ස්ටේජ් සෙටප්, හෝටල් බිල්, සැන්විචස්, පැටිස්, කට්ලට්, තේ , කෝපි, වතුර බෝතල්, අත පිහින කඩදාසි ආදිය වෙනුවෙන්. 


මීට අමතරව, නැට්ටුවෝ, පොටෝකාරයෝ, භාෂා පරිවර්තකයෝ, ජෝකර්ලා, වීදි නාට්ටිකාරයෝ වගේ තව පිරිසකුත් ජීවත් වෙන්නෙ උත්සව ධනවාදයෙ පිහිටෙන්. 

උත්සව ධනවාදය බිම් මට්ටමට එනකොට මංගල උත්සව, අවමංගල උත්සව, කොටහළු පාටි, උපන් දින උත්සව, දාන, කඨින පිංකම් ආදිය සම්බන්ධව පොටෝ ඇල්ලිලි, වීඩියෝ කෙරිලි, බෙර, නැටුම්, අෂ්ඨක, ඇඳුම් ඇන්දීම, ෆේෂල්, මල්, කේක්, මත්පැන්, පුටු, ටෙන්ට්, කොඩි, ලයිට් ආදිය විතරක් නෙමෙයි දැන් දැන් රූපවාහිනියෙන් බණ කීම් ආදිය දක්වාත් පාරිභෝජනවාදී උත්සව ධනවාදය විහිදෙනවා. 

පාරිභෝජනවාදී උත්සව ධනවාදයේ පහළ මට්ටමේදී උත්සව පැවැත්වීම වෙනුවෙන් මිනිසුන් ණය වෙනවා. එයින් ලබන සතුටට වඩා ණය නිසා ලබන දුක හා ඒ නාස්ති වූ මුදල උපයන්නට වෙන මහන්සිය නිසා සිදු වන කරදරය වැඩි වෙන්නට පුළුවන්. 

මේකෙ අනෙක් පැත්ත තමයි, රටේ උත්සව ධනවාදය. ඒක නිසා රජය ණය වෙනවා. ඒ බර ජනතාව පිට පැටවෙනවා. මානව හිමිකම් තත්වය වර්ධනය කරන්න, සාමය ඇති කරන්න, දුප්පත්කම දුරලන්න සහ තවත් බොහෝ හොඳ අරමුණු වෙනුවෙන් වෙන් වෙන මුදල්වලින් සැන්විචස්, කට්ලට්, පැටිස්, කේක්, ෆ්‍රයිඩ් රයිස් කාලා මධ්‍යම පන්තිකයන් දියවැඩියා, අධි රුධිර පීඩන, කොලෙස්ටරෝල් ආදිය හදා ගන්නවා. 


උත්සව ධනවාදය පිටුදැකීම පාරිභෝජනවාදයට එරෙහි අරගලයේ හා සමාජවාදී ජීවින විලාසයක් වෙනුවෙන් කරන අරගලයේ අත්‍යවශ්‍ය පියවරක්. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

19 comments:

  1. උත්සවමේනියාව හරි මොකක්‍ හරි නැතුව ධනවාදයක් විදියට කියන්නෙ ඇයි

    ReplyDelete
    Replies
    1. මෙතන සරල මේනියාවකට වඩා සමස්ත සමාජයම වසාගෙන පැතිරෙන ආර්ථික, සමාජ, දේශපාලනික, ආකල්පමය හා සංස්කෘතික සාධකයක් තියෙනවා. ඒ නිසායි මා මෙය උත්සව ධනවාදය ලෙස හඳුන්වන්නේ.

      Delete
  2. මේ ඔස්සේ බැලූ විට අධික පාරිභෝජනවාදය හා ඍජුව හා වක්‍රව සම්බන්ධ පැතිකඩ කීපයක් මෙසේ අවිධිමත් ලෙස සලකුණු කළ හැකියි.
    Missing things.. Back to School , OB party , Burger king , Coffee bean, anti SITAM :)

    ReplyDelete
    Replies
    1. ඇයි තව නෙලුම් යාය සම්මාන උළෙල . බ්ලොග් වසන්තයේ රත්නපුරේ සාදය .....
      මේ කියන ඒවා පල වෙයිද මන්දා

      කකුළුවා හරහට නැතිව කෙලින් යන්න ට්‍රයි කරන නිසා

      Delete
  3. අධික පරිභෝජනවාදය නිලධාරිවාදය සමගත් මනාවට සම්බන්ධයි කියලයි මට හිතෙන්නෙ.සුළු සිද්ධියකදී පවා විශාල මුදල් නාස්තියක් කරන සාදවල් දකින්නට තියෙනවා.සමාජයක් විදියට සාදාරණයැයි සිතය හැකි සාදයන්ට වඩා අසාධාරණ ලෙස රටේ මුදල් විනාශ කරන සාද වැඩියි.ඒ සියල්ල රටේ ඉහල පැලැන්තියට විතරයි.කම්කරුවාට සිදු වෙන්නේ ඒ සියල්ල සිදු කිරීමට දර දිය ඇද ඒ සියලු වියහියදම්හි ණය බර තම කරපිට පටවා ගැනීමටය.

    ReplyDelete
  4. අඩෝ අජිත් පැරකුම්..! බොහෝම ස්තූතියි මේ සටහනට. මේ මාතෘකාව ගැන පැරා කලින් ලිව්ව සටහන් තියේ නම් ඒවායේ ලින්ක් විනාඩි පහක් ගත කරල හොයල මෙතන අලවන්න පුළුවන් නම් ඒක මට වචනයෙන් කියන්න බැරි තරම් උදව්වක්.

    ReplyDelete
  5. තමන්ගේ මුදලින් පීට්සා, කොලාකෝලා නෙමෙයි මොනව කෑවත් කෝටියක් වියදම් කරල උත්සව තිබ්බත් ඒක පුද්ගල අයිතිය... (උත්සවයේදී පරිසරයට හානි කරනවානම් ඒක වැරදියි )... එහෙම නැතිව පැරාට (හෝ වෙන කාටහෝ ) හිතෙන විදිහට "උබලාගේ පරිභෝජනයේ සීමාව මෙතනයි " කියල සීමා කරන්න කාටවත් අයිතියක් නෑ... අනෙක කොකාකෝලා පැරාට (සහ මට ) හරයක් නැති පානයක් උනාට තව කෙනෙක්ගේ ආශාවක් වෙන්න පුලුවන්...

    ReplyDelete
  6. සමාජවාදී ජීවිතයකට y සහෝදරයාගෙන් අදහස් කීපයක් (මා කලින් ලියූ ලිපියක්)

    සමාජවාදය වෙනුවෙන් අරගල කරන ජීවිතයක් ගෙවන්න අපි කාටත් පුළුවන්. ඒ සඳහා ඕනැ තරම් විධි තිබෙනවා. මම කීපයක් විතරක් සඳහන් කරන්නම්. මේවාත් අර y සහෝදරයාගේ සමාජවාදී ජීවිතය තුළ තිබෙන ඒවා.

    හැමෝ ම කරන්නන් වාලේ කරන හුඟක් දේ අපට නො කර ඉන්න පුළුවන්. ඒකට අවශ්‍ය වන්නේ ආත්ම ශක්තිය හා බිය නැතිකමයි.

    අපි මොකට ද මේ රාජපක්ෂලා හා උන්ගේ ඇම්බැට්ටයන් ගණන් ගන්නේ? උන් අපේ ජීවිතවලට සම්බන්ධ බව ඇත්ත. ඒත්, ඒ සම්බන්ධය ඇති වන්නේ අප සූරාකෑමෙන් හා අපේ අනාගතය අඳුරු කිරීමෙන්. උන් හරියට කොකු පණුවෝ, පටි පණුවෝ වගෙයි. කවුරුද පණුවන්ට ආදර ගෞරව කරන්න යන්නේ? ඒත් දැන් සමාජය කරන්නේ ඒකනේ. ඉතින් ඒක නො කරන ඉන්න එක කොයි තරම් සුළු දෙයක් ද?

    මේ වගේ හාල් පාරුවන් වීරයන් ලෙස සලකන්න එපා. උන් මරණෙට, මඟුලට ගෙන්න ගන්න එපා. බලෙන් ආවත්, ලොකුවට පිළි ගන්න එපා. උන් එන උත්සව ආදිය බලන්න යනවා නම් වාර්තාකාර කුතුහලයෙන් විතරක් යන්න. කීයටවත් උන්ට ඡන්දෙ දෙන්න එපා කියන එක කියන්න ඕනැ නැහැනේ.

    උන්ව විතරක් නොවෙයි, උන්ගේ ඉඳුල් කන, උන්ගේ පස්සා ලෙවන එවුන්වත් අවඥාවෙන් සලකන්න. අත්හළ නො හැකි මිනිස්සු ඒ දේ කරනවා නම් උන්ට උන්ගේ ආතල් එක ගන්න ඉඩ දෙන්න. හැබැයි, උන්ට ගරු කරන්න එපා.

    සමාජවාදී ජීවිතයක තවත් ලක්ෂණයක් කර ගත හැකි දෙයක් තමයි, මේ පාරිභෝජනවාදී රැල්ලට ගොදුරු නො වීම. රැල්ල විසින් ප්‍රවර්ධනය කරනු ලබන ජීවිතවලට අනුගත නො වීම. අනුන්ට පෙන්නන්න ගෙවල් හදන්න එපා. අනුන්ට පේන්න, පරිහරණය නො කරන බඩුවලින් ගේ පුරවා ගන්න එපා. අනුන්ට පේන්න කාර් ගන්න එපා. භාණ්ඩ මිළ දී ගන්න ණය වෙලා දුක් විඳින්න එපා. භාණ්ඩ හා සේවා පරිහරණය ජීවිතය නො වෙයි. ජීවිතය පහසු කර ගන්න භාණ්ඩ හා සේවා මිළ දී ගන්න. ඒත්, ජීවිතය අලස කර ගන්න භාණ්ඩ මිළ දී ගන්න එපා. භාණ්ඩ පරිහරණය කරන්න. ඒත්, වන්දනා කරන්න එපා.

    අපි හොඳ හෝටල්වලින් කන්න ම අවශ්‍ය නැහැ. හොඳ බීම වර්ග බීලා තිබෙන්න ම ඕනැ නැහැ. හොඳම ඇඳුම් ඇඳලා තිබෙන්න ඕනැම නැහැ. ලංකාවේ හෝ පිටරට ‍හෝ හැමෝ ම යන හැම තැන ම බලන්න ඕනෑත් නැහැ. එහෙම ගිහින් ෆේස්බුක්වල ඡායාරූප දාගන්න බැරි එක ගැන කණගාටු වෙන්න ඕනැත් නැහැ. උදාහරණෙකට y සහෝදරයා කවදාවත් කතරගම ගිහින් නැහැ. අද කාලෙ කතරගම නො ගිහින් ඉන්න සෑහෙන ධෛර්යයක් තිබෙන්න ඕනැ. මොකද, වාමාංශික සහෝදරවරු වුණත් වාහනයක් ගත්තාම කතරගම යනවානේ.

    අනෙක බටහිර මිනුම් දඬුවලින් ජීවිතය මනිමින්, කෙසේ හෝ පිටරකට සංක්‍රමණය වීම හෝ නාගරික ජීවිතය සොයා යාම හෝ ජීවිතයේ අරමුණ කර ගන්න එපා. තමන් ජීවත් වන තැන සමාජ වටපිටාව ගොඩනඟා ගන්න උත්සාහ කරන්න.

    පාරිභෝජනවාදය හා උන්නතිකාමය ප්‍රතික්ෂේප කරලා සරළ ජීවිතයකට හුරු වෙන්න. ඒක සමාජවාදී ජීවිතයක මූලික ලක්ෂණයක්.

    පාරිභෝජනවාදය උපරිමයෙන් ක්‍රියාත්මක වන තැනක් තමයි, පවුල කියන විෂය. සමහරු නිවැරදි සියලු දේ දන්නවා. ඒත්, බිරිඳ කියන නිසා කරනවා. එතැන ම බිරිඳ පාවා දීලායි පටන් ගන්නේ. හුඟක් අයගේ විකල්ප ජීවිත කිසිවක් දරුවන්ට උරුම කර දී නැහැ. ඒ වෙනුවට දරුවන්ට පුංචි කාලේ සිට ම හුරු කරන්නේ තමන්ට සැබෑ කර ගන්නට බැරි වූ කුමක් හෝ ආත්මාර්ථකාමී සිහිනයක් පසුපස යන්නටයි. දරුවන්ට ඔවුන්ගේ ජීවිතයක් හිමි කර ගන්නට මග පෙන්වන්න. ඒත්, ඔවුන්ගේ ජීවිතය මත ආධිපත්‍යය පතුරුවන්න එපා. මේ දේ කරන්න පුළුවන් නම්, ඔබේ ජීවිතය සෑහෙන්න සමාජවාදී වෙනවා.

    සමාජවාදී වෙන්න පුළුවන් තවත් ආකාරයක් තමයි, අනුකාරකවාදී නො වී නිදහස් චින්තකයකු වන එක. මනසේ සියලු දොරටු විවෘත කරගෙන ඉන්න එක. ජීවිතය හා ලෝකය යහපත් අන්දමින් වෙනස් කර ගන්න පුළුවන් දර්ශනයන්ට හා අත්දැකීම්වලට විවෘත වෙන එක.

    ඔලුවේ තිබෙන වාදයන්, ධූරාවලි හා රාමු බොහොමයක් බිමින් තිබ්බා ම අපි කවුරුත් සමාන වෙනවා. ඉස්සරහින් යන, පස්සෙන් යන අය නැති වුණා ම සමානාත්මතාව තමන්ගේ දෙපතුල් ළඟින් ම පටන් ගන්නවා.

    සමාජවාදය ගොඩනැ‍ඟෙන්නේ මහේක්ෂ ව්‍යාපෘතිවලින් ම නොවෙයි. ලෝකයේ මීට කලින් කරන ලද සමාජවාදී අත්හදා බැලීම් අසාර්ථක වෙන්න එක් හේතුවක් තමයි, ඒවා තුළ ජීවිතය හා සම්බන්ධ ක්ෂුද්‍ර ව්‍යාපෘති නො තිබීම. විප්ලවය වෙනකල් බලා නො ඉඳ තමන්ට කරන්න පුළුවන් මට්ටමේ දෙයක් තෝරා ගන්න. ඒ හා සමාන දේ කරන වෙනත් මිනිසුන් එක්ක එකතු වෙන්න.මිනිසුන්ගේ හොඳත් එක්ක වැඩ කරන්න. නරක අමතක කරන්න. මහන්සි වෙලා වැඩ කරන්න. ඔව්, මනස වගේම සිරුරත්. එතන තමයි, නිරෝගීකම තිබෙන්නේ.

    කලින් කිව්වා වගේ මේ සියලු දේ y සහෝදරයා තම ජීවිතයෙන් අත්හදා බලන දේවල්. මේ දේවල් කරන්න පොත් ගොඩක් කියවලා තිබෙන්න ඕනැ නැහැ.

    ReplyDelete
    Replies
    1. ජීවිත වෙනස් කරන ලියවිලි. ස්තූතියි අජිත්.

      Delete
    2. ජීවිතය වෙනස් කරන ලියවිලි කියන වචන හතර මට මෙතෙක් ලැබුණ හොඳම සම්මානයයි. ස්තුතියි.

      Delete
    3. මගේ ගෞරවය ඔබට අජිත් අයියෙ

      Delete
  7. Not very different to celebrity humanitarianism : http://www.oefse.at/fileadmin/content/Downloads/Veranstaltungen/Tagungsdokus/documentation.pdf

    ReplyDelete
  8. සිරාවටම පැරා අංකල්....ඔය දේශපාලන මගුල් නෙවේ මේවා තුළින් ජීවිතේට යමක් ලැබෙනවා. අලුතින් හිතන්ඩ යමක්...අලුත් ජීවන දර්ශනයක්...
    ජේමිස් බණ්ඩා කිව්වා වගේම ලාබාල අපිට මතු ජීවිතය හැඩගස්සගන්ඩ දෙයක් දෙනවට බොහොම පින්...

    බටර් ගානවා නෙවෙයි...ඇත්තටම දැණුනු දේ කිව්වේ...ඉදිරියටත් මෙවන් ලිපි බලාපොරොත්තු වෙනව...වැඩිහිටියෙක් වෙන පැරා අංකල්ගෙන්...

    ReplyDelete
  9. Very good article.
    Dear Mr Jayasinghe
    After reading nice article written by Leelanada Wickremasine(on this week Silumina online edition, "Vivara" Pg 42)I watched the film about child with Dylexia. It is very nice film. Have you seen before.


    The film explores the life and imagination of Ishaan, an 8-year-old dyslexic child. Although he excels in art, his poor academic performance leads his parents to send him to a boarding school. Ishaan's new art teacher suspects that he is dyslexic and helps him to overcome his disability. The film made its theatrical debut in India on 21 December 2007, and UTV Home Entertainment released a DVD for Indian audiences in 2008. Disney's later release of the international edition DVD marked the first purchase of distribution rights for an Indian film by a global company.

    Taare Zameen Par has received numerous awards, including the Filmfare Award for Best Film for 2008 and the 2008 National Film Award for Best Film on Family Welfare. It was India's official entry for the 2009 Academy Awards Best Foreign Film, but did not progress to the short-list.
    link http://www.dailymotion.com/video/x2l8skt

    Thanka J Ovitige Kadawatha

    ReplyDelete
  10. 2500 years ago an enlightened royal intellectual called Gauthama Buddha of a Himalayan kingdom giving up all materials- consuming very few essentials- has preached the very same concept with two Pali words; 'BAHUBHANDIKATHAAVA' and 'ALPECHCHATHAAVA'.The first one means the trend or desire of consumption of multi materials, while the latter means saturation of self with moderate,few and essential items or things.Very simple!

    ReplyDelete
  11. වටින ලියවිල්ලක් පැරා..පුලුවන් නම් මෙන්න මෙහෙම ලිපි ටිකක් දිගටම ලියාගෙන යන්න.එකා එකා හරි හිතන විදිහ වෙනස් කරන් සරල ජීවිතයක් ගෙවන්න ගත්තොත් අඩුගානේ ලංකාවේ ඉන්න විශාද රෝගීන් ටික හරි අඩුවේවී..

    ReplyDelete
  12. Good post Parakum sir. We must utility do with very good disiplene too.

    ReplyDelete
  13. පැරා,
    ධනවාදයේ කොන්ද දෙකට මැද්දෙන් කඩන්න නම් පාරිහෝජනවාදයට එරෙහිව කොන්දේසි විරහිත සටනක් දෙන්න ඕනේ කියලා උඹ කරන යෝජනාවට මගේ සහෝදරාත්මක සුබ පැතුම්!!

    ධනවාදය කියන්නෙම බං සියල්ලම අවශෝෂණය කර ගත හැකි අරුම පුදුම මකරාක්ෂයෙක්. එනම් ධනවාදයට ජවය සහ ගතිකත්වය සපයන උපායමාර්ග මෙන්ම ඊට ප්‍රතිපක්ෂ සටන් උපක්‍රම පවා එකම රේඛාවක රඳවා තබා ගැනීමට ඊට හැකියි.

    එහෙත් ධනවාදයේ නියම මර්මස්ථානය නම් අධිනිශ්පාදනය බව මාක්ස්ම කියා තිබෙනවා.
    මින් එළඹිය හැකි නිගමනය නම් පාරිහෝජනවාදයට එරෙහි වීම අද දවසේ සමාජවාදය යනුයි.
    +CP

    ප/ලි

    එහෙත් මට නම් පාරිහෝජනවාදය යටතේ උඹ වර්ගීකරණය කරන අධික කාමාස්වාදයට ලොල් වීම සහ ලිංගික තෘප්තිය සොයා යාම සීමා කිරීම සමඟ නම් මම උඹ හා එකඟ වන්නේ නැහැ .

    ReplyDelete
    Replies
    1. මට මතක් වෙන්නෙ "දෙව්ලොව යනකම්" වගේ නමක් තිබ්බ නාට්‍යක්.

      ඒකෙ හිටිය බූරුවා කවදාවත් "දෙව්ලොව" ගියේ නෑ. චීනෙ ඉන්න බූරුවො ගියෙත් නෑ, රුසියාවෙ බූරුවො ගියෙත් නෑ, කියුබාවෙ බූරුවො ගියෙත් නෑ, කොරියාවෙ බූරුවො ගියෙත් නෑ.

      ජාතිවාදය හැරුනාම, නියම මකරාක්ෂයො මතුවෙන්න උදව්වුනේ සමාජවාදයයි.

      අහල තියන විදිහට මාක්ස් කිව්වෙ, සමාජවාදයට පාර වැටී ඇත්තේ ධනවාදය හරහා කියල නේද? මට හිතෙන්නෙ , හෙමින් නමුත් , ඒ දෙය සිදුවෙමින් පවතිනවා කියලයි.උදා: අද තියෙන්නෙ මාක්ස්ගෙ කාලෙ තිබ්බ ධනවාදය නෙමෙයි.

      දේශපාලන ද්වේෂය අයින් කලොත්, පැරාගෙ ලිපියෙ අදහස් නරක නෑ. බොරු සෝබන නැතුව, සරල විදිහට ජීවත් වෙයල්ලා කියලනෙ කියන්නෙ.

      අවුල මේකයි පැරා. ඔය කතාව , ඔයිට කලින් කී දෙනෙක් කිව්වද? කෝ. ඇහැව්වයෑ?

      Delete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.